ශල්‍ය කර්ම හතළිස් දහසද ඉක්මවා වාර්තා පිහිටුවා අවුරුදු සියය ලබන්නට මාසයකට පෙර අවසන් ගමන් ගිය කීර්තිධර ඇන්තනිස් දොස්තර මහත්මයා

පෙබරවාරි 21, 2020

ආචාර්ය ආනන්ද ගුරුගේ පඬිවරයාණන්ගේ ඉංගී‍්‍රසි නවකථාවක් දොරට වඩින ලද අවස්ථාවේ රැස්වීම පැවැත්වීගෙන යද්දී වේදිකාවේ සිට ප්‍රකට වෛද්‍ය පී. ආර්. ඇන්තනිස් මහතා එතුමාට රහසෙන් මෙන් කීවේ ‘මටත් කථාවක් කරන්න ඕනෑ’ කියාය.

එයට අවසරය ලැබිණ. මේ වන විට තමා අනූනව වැනි වියේ සිටියද සෞඛ්‍ය සම්පන්න බවින් සිටි ඇන්තනීස් දොස්තර මහතා සිය කතාව පටන් ගත්තේය.

“මම සිංහල ඉගෙන ගත්තේ පස්වැනි පන්තියට පමණයි. ඒත් පියාගේ ඇසුරින් පැරණි සිංහල කාව්‍ය ග්‍රන්ථ ඉගෙන ගන්නටත් මට හැකි වුණා.” යනුවෙන් පටන් ගෙන පැරණි කාව්‍ය ග්‍රන්ථයක කවිදෙකක්ද කියා සිය කතාව කරගෙන යද්දී සභාවෙහි සිටි සැමටම එතුමා ගැන සෑහෙන පැහැදීමක් හැඟීමක් ඇතිවූ බව පෙනිණි.

‘මේක පටිගත කරගන්න තරම් වටිනා කතාවක්’ යනුවෙන් එහිදී වේදිකාවේ සිටි ගුරුගේ මහතාගේ කනට කර කී ඡායාරූප ශිල්පියා මේ දොස්තර කථාවේ ඡායාරූපයක්ද ගත්තේය. දොස්තර මහතා විනාඩි හත අටක්ම තිස්සේ කළ කථාව ගැන කවුරුත් පාහේ එක්තරා සතුටු ප්‍රබෝධයකට පත්ව සිටි බව පෙනුණි. මේ සිද්ධිය වූයේ වර්ෂ 2010 අගෝස්තු මාසයේ දිනයකදීය. එයින් හරියටම මාස හතරකට පසු දෙසැම්බර් 19 වැනිදා දොස්තර පී.ආර්. ඇන්තනීස් මැතිතුමා අභාවප්‍රාප්ත වී යැයි පුවත්පත්වලින් ලෝවාසී ජනතාවට දැනගන්ට ලැබුණි. ඒ ගැන විමසිලිමත් වූ පිරිසට දැනගන්ට ලැබුනේ තවත් එක මාසයක් ජීවත් වූවා නම් එතුමාට සිය ජීවිතයේ ශත සංවත්සරය (1901 ජනවාරි 21- 2010 දෙසැම්බර් 17 පසු කරන්නට තිබුණුු බවය.

අගනුවර ආශි‍්‍රත ගොතටුවේ අයි.ඩී.එච්. හන්දිය ප්‍රදේශයේ භුමිතෙල් කරත්ත වලින් බෙදාහැරීමේ ව්‍යාපාරියකුව සිටි මාගරිස් ඇන්තනීට හා එංගල්තිනාට ළමයින් දහසය දෙනෙකු සිටියහ. එයින් හය දෙනෙකු කුඩා කලම මියගිය හෙයින් ඉතිරි පිරිමි හා ගැහැනු දරුවන් දහ දෙනා හදා වඩා ගෙන පෝෂණය කර ලොකු මහත් කරන්නටද ඔවුන් තම ව්‍යාපාරය වන භූමිතෙල් කරත්ත මනා පිටිවහලක්ද විය. ඒ සමඟම තිබූ කිරිහරක් පට්ටියක්ද වත්තේ තිබූ කොස් ,දෙල්, අල බතල හා එළවළුවලින්ද පවුලේ කටයුතු නිසි ලෙස කරගෙන යාමට ඔවුන්ට අවස්ථාව සැලසිණි.

ප්‍රථමයෙන් මිලාගිරියේ සිංහල පාසලෙනුත් දෙවනුව බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයෙන්ද තම වැඩිමහල් පුතුන් දෙදෙනාට උසස් අධ්‍යාපනයක් ලබාදීමට පියා කටයුතු යෙදූ නමුත් ඔවුන්ගේ ඉංගී‍්‍රසි දැනුම මදි බව දුටු පීතර විදුහල්පතිතුමා මාස තුනක් ඇතුලත ඉංගී‍්‍රසි අධ්‍යාපනය දියුණුකර නොගතහොත් විදුහලෙන් නෙරපා දමන බවට කොන්දේසියක්ද පනවන ලදී.

එම මාස තුන ඇතුළත නියමිත ලෙස ඉංගී‍්‍රසි භාෂාවේ කඩඉමක් පැනගත් ඔවුන් දෙදෙනා ඉන්පසුව පීතර විදුහලේ ඉහළටම ඉගෙන ගත්තේ සෙසු දරුවන්ද මවිතයට පත් කරවමිනි.

එවකට ඔවුන්ට පාඩම් කරන්නට විදුලිබලය තිබුණේ නැත. භූමිතෙල් කුප්ප ිලාම්පුවේ එළියෙන් අයිය මලෝ දෙදෙනා හරි හරියට පාඩම් කරමින් තම පියාගේ ප්‍රාර්ථනාවලට අනුකූලවම බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලේ ඉහළටම ඉගෙන ගත්හ. ඉංගී‍්‍රසි භාෂාවෙන් පන්තියේ ඉහළම ලකුණු ලබා ගනිමින් ත්‍යාග දිනාගත්තේද ඇන්තනීස්ය. ඔහු හැකි ඉක්මණින් තම දක්ෂතා දක්වමින් විදුහලෙහි දීප්තිමත් ශිෂ්‍යයකු බවට පත්වන්නට වැඩි කලක් ගත නොවීය.

අය්ය මලෝ දෙදෙනාම එකාවන්ව දක්ෂතා දක්වමින් ඉතා දක්ෂ ලෙසින් එකවරම වෛද්‍ය විද්‍යාලයට තේරී පත්විය. මෙය ඔවුන්ගේ පියාගේ අතිශය සතුටට හේතුවිය. එහෙයින් ඔහු ඊට ත්‍යාගයක් ලෙස දෙදෙනාටම රැලේ බයිසිකල් දෙකක් තෑගි කළේය.

වර්ෂ 1930 දී වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වූ ඇන්තනීස් වර්ෂ 1936 දී දොස්තර මහත්මයෙකු ලෙස සමත්ව වෛද්‍ය විද්‍යාලයෙන් පිටවිය. එහි සිටි හැම වසරකම දැක්වූ දක්ෂතාවයට රන් පදක්කම බැගින් දිනා ගැනීමට ඇන්තනීස් සමත්විය. “ ර්‍ථපඪඤඥ ධට ර්ඥඤඪජචත ර්‍ථපධටඥඵඵඪධද නම් වූ රන්පදක්කම ලංකා වෛද්‍ය සභාව මගින් ලබා ගත් එකම වෛද්‍ය සිසුවා වූයේද ඇන්තනීස්ය. එසේම බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලෙන් බිහිවූ ප්‍රථම ශල්‍ය වෛද්‍යවරයාද ඔහු විය.

කොළඹ මහ රෝහලේ නේවාසික වෛද්‍යවරයකු ලෙසට ඇන්තනීස් මහතාට මුල් පත්වීම ලැබුණි. එහිදී එහි ප්‍රධානියාව සිටි දොස්තර ඒ . එම්. ද සිල්වා මහතා මෙම තරුණ දොස්තරගේ දක්ෂතාව මැනවින් තේරුම් ගෙන ඔහුට ගුරු උපදේශ ලබාදුන්නේ නොපැකිලවය. ඒවා සියල්ලම මැනවින් පිටිවහලක් කරගත් ඇන්තනීස් දොස්තර මහතා සුළු කාලයක් ඇතුළත ඉංගී‍්‍රසි වෛද්‍ය වෙදකමෙහි මහත්වූ හාස්කම් දැක්වුවෙක් බවටද පත්විය.

ශල්‍ය කර්මවලදී දොස්තර ඇන්තනීස් මනාව පිහිටවූ තවත් එක් ක්‍රමයක් නම් එවන් අවස්ථාවලදී ශල්‍ය උපකරණ සමඟම දෑතම එක ලෙසට ක්‍රියාත්මක කිරීමේ හැකියාවයි. එම හැකියාව පිහිටන්නේ ලක්ෂ ගණනකට එක් අයකුට පමණක් වූ බැවින් එයද විධිමත් ලෙස මනා ලෙස සිය වෛද්‍ය කාර්යය හැසිරෙමින් පී.ආර්. ඇන්තනිස් දොස්තර මහතා ජන්මයෙන්ම ලද දායාදයක් වූ බව පෙනිණ.

එකල පැවති සමාජ මට්ටම අනුව රටේ ඉහළ පෙළේ දොස්තර කෙනෙකුට හෝ අධිනීතිඥයෙකුට හෝ තමන්ගේ දියණියක් විවාහ කර දීමේ අවස්ථාව ලබා ගන්නට පොර කෑ ධනපතියන් අතර වූ කෝටිපති ව්‍යාපාරික කිතුල්ගල එම්.ඒ.පෙරේරා මහතාගේ එකම දියණිය වූ රූබි පෙරේරාගේ අත ගන්නට කීර්තිධර දොස්තර මහතකු වූ පී.ආර්.ඇන්තනීස් මහතාට හැකිවිය. ඒ අනුව වර්ෂ 1943 ජනවාරි 21 වැනිදා ඔවුහු විවාහ පත්වූහ. ඇන්තනීස් මහතාගේ දෙවැනි මනමාලයා වූයේ එකල ප්‍රකට පුවත්පත් කලාවේදියකුවූ එන්මන්ඩ් වික්‍රමසිංහ මහතාය.

ඉන්පසුවද තමන්ගේ දක්ෂතා නිසා වෛද්‍යවරයකු ලෙස තව තවත් කීර්තියට පත්වූ දොස්තර ඇන්තනීස් මහතා දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව එංගලන්තය බලා ගොස් එහිදී එෆ්.ආර්.සී. එස් (ජ්.අ.ඛ්.ඉ) වෛද්‍ය උපාධිය ඉහළින්ම සමත්ව පෙරළා තම මව්රටට පැමිණ රටේ පළාත් කීපයකම සේවය කළේය.

ජාත්‍යන්තර සම්මාන ලැබූ ඉහළම ඡායාරූප ශිල්පියකුවූ ලාල් ඇන්තනීස් නම් තම එකම පුතා ඉපදුනේද එම යුගයේදීය. අනතුරුව යළිත් අගනුවර මහා රෝග්‍යාශාලාවේ එතුමා ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වී සිටි අවස්ථාව ඉතා ගෞරවනීය ලෙස සැළකිය හැකිය.

මේ අතර එතුමාට දුරකතන පණිවුඩයක් ලැබුණේ වර්ෂ 1959 සැප්තැම්බර් 25 දා උදේ දහයට පමණය. කතා කළේ රත්වත්තේය.

මගේ සහෝදරයාට වෙඩි තියලා “එයින් නිකුත්විය.

මොන රත්වත්තේට ද? ඇන්තනීස් මහතා විමසුවේය.

රත්වත්තේ කෙනෙකුට නොවේ, අගමැතිතුමාට වෙඩි තියලා. ඉක්මණින්ම එතුමාව රෝහලට ගෙනෙන්නම්” යැයි දුරකතනයෙන් කියැවිණ.

ස්වල්ප වේලාවකින් දොස්තර ඇන්තනීස් මහතාට දක්නට ලැබුණේ ඇඳ සිටි ආරියසිංහල ඇඳුම පුරා ලේ තැවරුණ අගමැති බණ්ඩාරනායක මහතාය. නමුත් එතුමාට සිහිකල්පනාව තිබුණ බව දොස්තර ඇන්තනීස් මහතාට පෙනීගියේය. වෙඩි වැදුණ අගමැතිවරයා රෝහලට ගෙන එන බව කල්තියා දැනුම්දී තිබුණ නිසා වෛද්‍යවරු එයට සූදානම්ව සිටියහ. රෝගියා ගෙනෙන ලද නමුත් එතුමාට පියවි සිහිය තිබුණි.

“මොකෝ වුණෙ” ඇන්තනීස් දොස්තර මහතා විමසීය. “

“හාමුදුරු කෙනෙක් සිවුර තුළින් කළු බඩුවක් එළියට ගත්තා දැක්කා. වෙඩි පිට වෙඩි වැදුණා. මොනාව වුණාද කියලා මට හිතන්න බැරිතරම්” යැයි එතුමෝ දොස්තර ඇන්තනීස් මහතාට පිළිතුරු දුන්නේය.

වැඩිය කථා කරන්න එපා. දැන් ඉක්මණින් එක්ස්රේ ඡායාරූපයක් ගන්න ඕනෑ” යි කී දොස්තර මහතා ඊට කටයුතු සැලසුවේය. අර මිනිහා මට ඉස්සරහිනුත් පස්සෙනුත් මට වෙඩි තිබ්බා. දැන් තවත් වෙඩිල්ලක් තියන්නද හදන්නේ” යැයි මේ අනතුරුදායක අවස්ථාවේද,එසේ කී බණ්ඩාරනායක අගමැතිතුමා එක්ස්රේ ගැනීම සඳහා සූදානම් වූයේය. මෙම සිද්ධිය දොස්තර ඇන්තනීස් මහතා යෙදුනු අතිශය අනුවේදනීය අවස්ථාවක්ද විය. එතුමා සෙසු වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව ශල්‍ය කර්මයේ කටයුතු වහ වහා ක්‍රියාත්මක කරන්නට වග බලා ගත්තේය. නමුත් අගමැතිතුමාගේ හෘද ස්පන්දනයද වරෙක නතර විය. වහාම හෘදය මසාජ් කිරීමෙන් අනතුරුව යළිත් අගමැති බණ්ඩාරනායක මහතාට පණ ලැබුණ නමුත් කරන ලද ශල්‍ය කර්මය බොහෝදුරට සාර්ථකව තිබියදීත් ශරීර අභ්‍යන්තරයට ලේ ගලා යාමෙන් පසු පසුදින උදේ 7.10 ට අගමැතිතුමෝ සදහටම දෙනෙත් පියා ගත්හ.

එය දොස්තර ඇන්තනීස් මහතා මුහුණ දුන් අතිශය අනුවේදනීය ශල්‍ය කර්මයද විය. පසුව සමහරුන් කීවේ එවන් වෙඩි පහර හතරකින් පහකින් කුඩුකර දමන ලද අගමැති සිරුර මෙතෙක් වේලා පැය ගණනක්ම පණ නළ රදවා ගන්නා ලද්දේ දොස්තර ඇන්තනීස් මහතාගේ දක්ෂතාවය නිසාම බවය.

දොස්තර ඇන්තනීස් මහතාට මෙරටින් පමණක් නොව පිටරටවලින්ද ගෞරව සම්මාන නාමයන් පිරි නැමුණි. ජපන් රජය විදේශිකයකුට තම රටින් ප්‍රදානය කරන ඉහළම සම්මානය ලබා දුන්නේ දොස්තර ඇන්තනීස් මහතාටය. ලංකාවේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ප්‍රථම දේශමාන්‍ය සම්මානය පිරිනැමුවේද එතුමාටය. ඇන්තනීස් පවුලේ එක් ඥාති පිරිසක් කතෝලික ලබ්ධිකයන් වූහ. ඇන්තනිස් මහතා බෞද්ධාගමිකයෙකි. එනමුත් අවසන් කාලයේ එතුමාගේ පියා එක් දිනක සිය දරු මුනුබුරන් සියලු දෙනාම මහ ගෙදරට කැඳවා ඔවුන්ගේද සහභාගිත්වයෙන් සාංඝික දානයක් පිරිනමන ලදී. දානයෙන් පසුව මහ සඟරුවන ආපසු වැඩමු කළ පසු පවුලේ සියලු දෙනාම ආහාර අනුභවයෙන් පසුව ඇන්තනීස් දොස්තර මහතාගේ පියා තම හාන්සි පුටුවේ ඇලවුණේය. අන්තිමේදී දූ දරු මුනුබරු මිනිපිරියන් එතුමන්ගෙන් සමුගන්නට සිතා හාන්සි පුටුව වෙත ගොස් එතුමාට කථා කළද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් ඔවුහු කලබලයට පත්වූහ. කරුනු කවරේදැයි විමසා සොයාබලද්දී එතුමා ගිහිල්ලාය. ඒ සෙයියාවෙන්ම අවසන් හුස්ම හෙළා පරලොව ගිහිල්ලාය.

ඒ බව දැනගත් ඔවුහු එක් අතකින් එතුමා එසේ පිනක් කර ගැනීමෙන් අනතුරුව නිවී සැනසිල්ලේ ඉවත්ව ගිය බව දැන ධර්ම සංවේගයෙන් යුතුව සතුටටද පත්වූහ. “කාටත් ධර්මානුකූල ජීවිතයක් ගත කොට එසේ අවසන් හුස්ම හෙළන්නට ලැබීම ආදර්ශමත් එකක් බව“ දොස්තර පුතා කිහිප විටකදීම කීවේ එයද ආදර්ශයට ගන්නට බලාගෙනය.

මෙසේවූ කීර්තිධර ජීවිතයක් ගත කළ දොස්තර පී. ආර්. ඇන්තනීස් මැතිතුමෝ වර්ෂ 2010 දෙසැම්බර් 17 වැනිදා අභාවප්‍රාප්ත වූයේද නිවී සැනසිල්ලේය. කොළඹ නගර සභාව පෙනෙන තෙක් මානයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ තිබෙන එතුමාගේ නිවසේ තාප්පයේ තවමත් පී.ආර්. ඇන්තනීස් නාම පුවරුව තිබෙන්නේ ඒ දකින අයට ඒ නාමය යළි යළිත් මතකයට පාර කියන්නට මෙනි. ඇත්ත වශයෙන්ම තම කාලයත් සේවාවත් අපේ රටේ ජනතාව අතර යශෝ කීර්තියෙන් ප්‍රචලිත කරවූ ඇන්තනීස් දොස්තර මහතා වැනි අය අපේ ජාතියට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකිනි

 

කස්තුරි ලියයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.