මහල් නිවාසවල වාස්තු හැසිරීම්

ඔක්තෝබර් 20, 2023

නිවාස ඉදිකිරීම සඳහා ඇති ඉඩකඩම් සීමාසහිත වීමත් සමඟ වැඩියෙන් මහල් නිවාස ඉදිකිරීමට සිදුවීම වර්තමාන අවශ්‍යතාවක් බවට පත් වී තිබේ. එසේම ආධ්‍යාත්මික හා වෙනත් සුවිශේෂ අවශ්‍යතාවන් අනුවද පැරැණි මහල් ඉදිකිරීම් ගොඩනැඟීම සිදුවිය.

මේ තත්ත්වයන් මැනැවින් විග්‍රහ කර ගැනීම අවශ්‍යතාවක් වන්නේ මහලින් මහලට සුවිශේෂ වූ ශක්ති ක්‍රියාවලියක් පවත්නා බව අද වන විට තහවුරුව පවත්නා බැවිනි. මේ තත්ත්වයන් මැනැවින් වටහා ගැනීමට නම් අප අපට පරිසරයේ පවත්නා මනුෂ්‍යයා ප්‍රමුඛ සියලු ජීව අජීව දේ කෙරෙහි බලපාන ශක්ති විශේෂ පිළිබඳව දැන සිටීම අවශ්‍ය වේ.

අප ජීවත් වන පොළොව වටා පවත්නා ශක්තිමය වලාවක් පවත්නා බවත් ඒ ශක්තිමය වලාව ඇතුළත පොළොවේ කරකැවීම (භ්‍රමණය) හා ඉරු වටා පොළොවේ ගමන් කිරීම (පරිභ්‍රමණය) නිසා පෙර කී ශක්ති වලාවේ ස්පර්ශවීම පාථිවි වාසියකුට ශක්ති ධාරාවක් ලෙස බලපානු ලැබීම විවිධ අවස්ථාවන්හිදී අප වෙත ශක්ති ධාරාවක් ගලා ඒමක් ලෙස විග්‍රහ කිරීමේ වරදක් නොමැත. කෙසේ හෝ වේවා මෙසේ අප වෙත සාක්ෂාත් වශයෙන් ගලා එන මෙකී ශක්තිය අන්තරීක්ෂක ශක්තිය ලෙස හඳුන්වා දිය හැකියි.

අන්තරීක්ෂක ශක්තිය පොළොවේ වැදීමත් සමඟ පොළොව විසින් එකී ශක්තියෙන් කොටසින් කොටස උරා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොළොවට දරාගත හැකි උපරිම ශක්ති ප්‍රමාණයට පොළොව පත් වී ඇත්තේ ද වසර දහස් ගණනකට පෙර ය. එයින් පසුවද පොළොව වෙත අන්තරීක්ෂ ශක්තිය ගලා ඒමට අවසන්ව නොමැත. එසේ තවදුරටත් (සාපේක්ෂව) ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවට උරා ගන්නා ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පොළොවෙන් ඉවතට නිකුත් කිරීමට ඒ අනුව පොළොවට සිදුවේ. මෙසේ පොළොවෙන් ඉවතා ගලා එන ශක්ති විශේෂය අප විසින් භූ (Earth) ශක්තිය ලෙස හඳුන්වා දිය හැකියි..

මෙයට අමතරව පොළොව අභ්‍යන්තරයේ පවත්නා විවිධ ශක්තිමය හා ද්‍රව්‍යමය විපර්යාසයන් අනුවද භූ ව්‍යාධි (Geopathic stress) තත්ත්වයන්ද ගොඩනැඟෙන බවත්, ඒවා තවදුරටත් නිශ්චිත කොට විග්‍රහ කිරීම අනුව හාට්ස්මාන් රේඛා ආදී රේඛාවන් සහිත විවිධ මනුෂ්‍යයාට අහිතකර කලාපද හඳුනාගෙන තිබේ.

අපගේ පාලනයෙන් තොර තවත් ශක්ති විශේෂයක් ලෙස පොළොවේ උතුරත් දකුණත් යා කෙරෙන රේඛාවන් ඔස්සේ පවත්නා චුම්භක (Magnetic) ශක්තියක්ද පවත්නා බව අපි විධිමත් අධ්‍යාපනය ඔස්සේ මේ වන විට දැන උගෙන ඇත්තෙමු.

මේ අනුව සමස්තයක් වශයෙන් අන්තරීක්ෂ, භූ චුම්භක යන ශක්ති විශේෂයන් හා ව්‍යාධි ක්‍රියාවලීන් මැනැවින් නිරීක්ෂණය කරමින් සිදු කෙරෙන විග්‍රහයන් හා කළමනාකරණ භාවිතයන් අනුව නූතන වාස්තු විද්‍යාව නිර්මාණය වී තිබේ.

මනුෂ්‍යාගේ භෞතික ශරීරයට ඔබ්බෙන් තවත් ශක්තිමය ශරීරයක් පවත්න බවත් එම ශක්ති ශරීරය පෙරළා භෞතික ශරීරයට බලපාන බවත් එසේම පෙර කී ශක්තීන් (අන්තරීක්ෂා, භූ චුම්භක ආදී) මෙකී මානව ශක්ති ශරීරයට බලපාන බවත් අවසානයේ දැන සිටීම වැදගත් වේ. ඒ අනුව මනුෂ්‍ය ශක්ති ශරීරයේ ඉහළ කොටස්වලට අන්තරීක්ෂ ශක්තිය වැඩිවශයෙන් හා භූ ශක්තිය අඩු වශයෙන්ද ශක්ති ශරීරයේ පහළ කොටස්වල අන්තරීක්ෂ ශක්තිය අඩු වශයෙන් හා භූ ශක්තිය වැඩි වශයෙන්ද බලපාන බව මැනැවින් වටහා ගැනීම අවශ්‍ය වේ. එසේම ශක්ති ශරීරයේ ඉහළ කොටස් අධ්‍යාත්මික, අධ්‍යාපනික, ආගමික ආදී ක්ෂේත්‍රයන් උදෙසාත් පහළ කොටස් ලෞකික ක්ෂේත්‍රයන් උදෙසාත් ශක්ති ශරීරයේ මැද කොටස් භාවමය (Emotional)  දේ උදෙසාත් බලපනා බවද හඳුනාගෙන තිබේ.

මෙවන් දීර්ඝ පූර්විකාවන් නොමැතිව පහළ මහල්වල ජීවත් වන්නන්ගේ ලෞකික අරමුණුවල ප්‍රමුඛත්වය හා ඉහළ මහල්වල ජීවත් වන්නන්ගේ ආධ්‍යාත්මික අරමුණුවල නැමියාව වටහාදිය නොහැකියි. මේ තත්ත්වය හේතුකොට ගෙන පොදුවේ ලෞකික ජීවිත ගත කරන ජනයා කෙරෙහි ඉහළ මහල්වල පවත්නා අඩු ප්‍රමුඛත්වය යම් පමණනින් හෝ තුලනය වන්නේ තවමත් ගමනාගමනය ආදියේ පවත්නා භෞමීය (පොළොව මතින් වන) ආශ්‍රය හේතුකොට ගෙනයි.

මෙහිදී විශාල මහල් පවත්නා බටහිර ලෝකයේ ලෞකික අභිලාෂයන් ප්‍රමුඛ වීම විග්‍රහ කරගත නොහැකි සංකීර්ණ අදහසක්ද මතු වන බවද අප වටහා ගත යුත්තේ ඒ සඳහා එකී සමාජවල පවත්නා ඓතිහාසික හා දාර්ශනික තත්ත්වයන්ද පදනම් කොට ගනිමිනි.

කෙසේ හෝ වේවා අපේ රට වැනි ආධ්‍යාත්මික නැඹුරුවක් සහිත දාර්ශනික මූලයන් ඓතිහාසික ගොඩනැගී ඇති රටක නිදහසේ විවේකී ජීවන රටාවකට හුරු වූ ජනතාවක් මහල් නිවාසගතවීමෙන් ලෞකික අරමුණ ජයගත නොහැකි තැනකට ඇද වැටීම වළකා ගැනීමට ක්‍රියා මාර්ග පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ.

එහිදී අපගේ ඉහළ මහල් නිවැසියකුගේ ශක්ති ශරීරය බලගන්වා ගැනීමට නම් මහල් නිවාසයේ ඉහළම අවකාශය පැතලි වහලයන් (Roof Top) සහිතව නිර්මාණය කළ යුතු වේ. එසේම ඒවායේ නිරිත දිශාව හැකිතාක් භෞතික වශයෙන් හෝ භෞතික නොවන (Vedsvae) පිරමීඩ හෝ වෙනත් කෘත්‍රිම ආකාරයකින් ශක්තිය පිටතට යෑම වළක්වා ගත යුතු වේ. පැතැලි වහළක් නොමැතිව ඉහළ මහල සකසන්නේ නම් නිවරද පිරමීඩාකාර හැඩයකින් එය සපුරා නිර්මාණය කළ යුතු වේ. එසේම එවැනි හැඩයන් නිර්මාණය කිරීමේ දී යකඩ භාවිතය හැකිතාක් අවම කර ගත යුතු වේ.

සෑම ඉහළ මහලකම සුදු හෝ ළා පැහැති ආලේපයක් යෙදීම හා සැකිලිමය (Structural)  වශයෙන් ඉදිකිරීමේ කොන්ක්‍රීට්වල යකඩ භාවිතය ශක්තිමය හැසිරීම්වලට අඩුම බාධාවක් සහිතව කළ යුතු වේ. එය අපගේ පාලනයෙන් තොර පොදු නිවාසවලදී ඒ ඒ මහල්වල පොළොව භූ ශක්තිය වඩවාලිය හැකි දැව වැනි ද්‍රව්‍යයකින් නිමා කර ගැනීමද සිදුකළ හැකියි. කොන්ක්‍රීට් සැකිල්ල මත දැවයෙන් කළ ලෑලි ඇල්ලීම සුවදායක බව මෙන්ම ශක්තිය රඳවා ගැනීම උපරිම කිරීමෙන් භූ ශක්තිය බලවත් කර ගැනීමට අති මහත් සහායක් සලසනු ඇත. එසේ නොවූ විට සංකීර්ණ වූ වර්තමාන සමාජ වටපිටාව අනුව ආධ්‍යාත්මික පිරිහීමත්, පෙර කී ශක්තිමය පිරිහීමත් මත මහල් නිවැසියන්ගේ ජීවිත සමස්ත වශයෙන් අසාර්ථකත්වය වැලඳ ගැනීම වැළැක්වීම අපහසුවිය හැකියි.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.