බුලත් වෙළෙන්දා ධන කුවේරයකු කළ ජප මන්තරය

මැයි 3, 2024

 

එදා හිමිදිරි පාන්දර කොන්ඩදෙණියේ සීලරතන නායක හිමියන් සුපුරුදු පරිදි පන්සල් භූමිය අතු පතු ගා බෝමළුව ඇමද, උදෑසන වත් පිළිවෙත් සිදු කර අවසන් වූවා පමණි.

සුදු සරමක් කමිසයකින් හැඳ පැළඳ ආ අයකු පන්සලේ ගේට්ටුවට හයියෙන් තට්ටු කරන්නට විය. “ඩිංගිරි බණ්ඩෝ, කවුද හාදයෙක් උදෙන්ම ඇවිදින් ගේට්ටුවට තඩි බානවා.”

“කවුරු වුණත් කමක් නැහැ ගේට්ටුව ඇරල මෙහාට එක්කන් එනවකෝ.”

දේව මන්දිරය අභියස සිටි හිමි කළ අණ එපරිදිම පිළිපැදිණි.

“අවසරයි” අපේ හාමුදුරුවනේ ඊයේ රෑ Night mail දුම්රියෙන් (රාත්‍රි තැපැල් දුම්රියෙන්) මහව දුම්රිය ස්ථානයට ඇවිදින්. මහව සිට පයින්ම පන්සල හොයාගෙන ආවේ ඔබ වහන්සේ මුණ ගැහෙන්නයි.”

එහෙනම් දුර බැහැරක ඉඳල එන්න ඇති නේද?

“ඔව් හාමුදුරුවනේ අවිස්සාවේල්ල ඉඳලයි ආවේ.”

“පයින් ආපු මහන්සිය යන්නත් එක්ක අර අලුතෙන් හදාපු නාන කාමරයෙන් නාගෙන ගිමන් නිවාගෙන බුද්ධ මන්දිරයත්, බෝධියත් වන්දනාමාන කරගෙන එන්න කෝ.”

ඩිංගිරි බණ්ඩෝ මේ මහත්තයට උදේට මොනව හරි සප්පායම් වෙන්න හදල දෙන්න. හිමි අණ එලෙසින්ම පිලිපැදිණි.

ඡ්‍යොතිෂ්‍යය , හස්තරේඛා, ශාන්ති කර්ම, ආයුර්වේදය පිළිබඳ මනා දැනුමෙන් පිරිපුන් කොන්ඩදෙණිය නායක හිමියන් ආගන්තුක මනුෂ්‍යාගේ දෑත් හොඳින් පරීක්ෂා කරන්නට විය. ඔහු ලබා දුන් බුලත් හුරුල්ලේ හයවැනි කොළය පිටුපස නාරටි සංඛ්‍යාව ගණින්නට විය. ඔහුගේ අතේ දෛව රේඛාවත්, ජීවන රේඛාවත් බලගතු ආකාරයෙන් එකට සම්බන්ධ වී තිබුණි. ධන රේඛාව ඍජුව ඉහළට පිහිටීමද නිරීක්ෂණය කළේය. මහාධනවතකු වීමේ පෙරනිමිති අත්ල තුළින් හිමියන්ට විද්‍යමාන විය.

ස්වකීය ආත්මශක්තිය තුළින් දියුණු පවුුණු විය හැකි වාසනාවන්ත පුද්ගලයකු වන බව හිමියන්ට පෙනෙන්නට විය. ඒ කෙසේ වෙතත් බලගතු ග්‍රහදෝෂ කිහිපයකින් එම වාසනාව ඇහිරී ගොස් තිබිණි.

‘හාමුදුරුවනේ... මම බුලත්තට්ටුවක් දාගෙන බුලත් විකුණන එකයි දැනට කරන්නේ ඒකෙන් ලැබෙන ආදායම මදි දරුවන්ට කන්න, බොන්න දෙන්න. නිවාඩු දවස්වල කුලියක් මලියක් කරන්නත් යනවා.

ඇලහැර පැත්තෙ මට අයිති පුංචි ඉඩමක් තියෙනවා ඒකෙ පතලක්වත් දාන්න හිතෙනවා.

ඒවා සාර්ථක වෙන්න හොඳ ගුරුකමක්වත් කරලා දෙන්න හාමුදුරුවනේ”

“මේ අත අනුව ඔහේට පිරිමි ළමයි 7 දෙනෙක්වත් ඉන්න ඕනි. පිරිමි දරුපල පිහිටලා තියෙනවා.”

“හරිනෙ අපේ හාමුදුරුවනේ. මට කොල්ලොම හත් දෙනෙක් ඉන්නවා.”

“හොඳයි අපි දේව මන්දිරය ඇතුළටම යමු” හිමියන් සහ ආගන්තුක මහත්මා දේව මන්දිරයට ප්‍රවිශ්ට වීමත් සමඟම දේව පිළිමවලට ඉදිරියෙන් දැල්වුණූ පහන් එක්වරම ඒකාලෝක වී කෙමෙන් ප්‍රභාශ්වර වන්නට විය.

“මේ ලක්ෂ්මී මෑණියන් ගෙයි, විෂ්ණු දෙවියන්ගෙයි දේව ප්‍රතිමාවල දෑස් දිහාම බලාගෙන වැඳගන්න මහත්තයා.”

“ඩිංගිරි බණ්ඩෝ”, ඔය පුහුල අරන් එනවා” බණ්ඩා රැගෙන ආ අළු පුහුල හිමියන් තම උදරයේ මත තබා ගෙන බලගතු මන්ත්‍ර ජප කරන්නට පටන් ගති. හිමියන්ගේ හඬ වේගවත් වන්නට විය.

කලින් හිමියන් ලබාදුන් උපදෙස් පරිදි ආවතේව කරු මන්ත්‍ර සජ්ඣායනා කළ පිරිත් පැන් කළය හිමියන් හිස මතට වත් කළේය. ශාන්තිකර්මය නිමා විය.

“හරි සියලු දෝෂ අහවරයි.මහත්තයාගේ මෙතෙක් කල් තිබුණු සියලු දුක් ගැහැට දැන් නිමයි.”

හෙට උදේට මහත්තයා බ්‍රහ්ම හෝරාවෙන් හිමිදිරි පාන්දරම නැගිටල සමන් දෙවියන්ට බාරයක් වෙලා ගෙදර කිසිවකුට නොකියා අලහැර මහත්තයාගේ ඉඩමට යන්න. මහත්තයට භූමියෙන් විශාල ධනස්කන්ධයක් ලැබෙනවා සිකුරුයි. ඔබතුමාට පෙර පින් තිබෙන බවක් පෙනෙනවා. කවදා හරි මුළු පළාතම මහත්තයා පිටුපසින් ඒවි.”

සතුටු කඳුළු වගුරවමින් හිමි දෙපා නමැද ඒ ආගන්තුක මහතා ඉක්මන් ගමනින් පියවර මැන්නේ හැන්දෑ කොරේ කොළඹ බලා යන දුම්කෝච්චිය අල්ලා ගැනීමේ රිසියෙනි.

මාස කිහිපයක් ගත විය. ඔහු නැවතත් කොන්ඩදෙණිය පන්සලට පැමිණියේ නවීන මාදිලියේ කේම්බ්‍රිජ් වර්ගයේ කාරයකිනි. කොන්ඩදෙණිය සීලරතන නායක හිමියන්ට ගමන් පහසුව පිණිස මෝටර් රථයක්ද පිරිනමන ලදී.

කොන්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් නායක හිමිපාණන් වන කොන්ඩදෙණියේ පොඩිහාමුදුරුවන් නමින් ප්‍රචලිත ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවීමට ලංකාවේ සහ විදේශයන්හි සේවයේ නියුතුව සිටි තැන්පත් මනා පෞරුෂයකින් හෙබි මහත්මයෙක් පැමිණියේය.

ඔහුගේ අභිප්‍රාය වූයේ අනුරුද්ධ හිමියන් ලවා ශාන්ති කර්මයක් හා බලගතු යන්ත්‍රයක් පැලඳ තම ආඪ්‍ය වර්ධනය කර ගැනීමයි. ගෙවී ගිය කොරෝනා වසංගතය සමඟ තම ආර්ථික තත්වය පහළ වැටීම නිසා එය නැවත ඉතා කෙටි කලකින් දියුණුවට පමුණුවා ගැනීමට අවශ්‍ය විය. රත්රනින් සෑදු සුරයක්, රන්පතක්ද ගෙන දහස්වර ජීවම් කළ ඉතා බලගතු මන්ත්‍ර උපයෝගී කර රන්පතේ මන්ත්‍රය ලියා ඇද සුරයක බහා සිංහ තෙල් බිඳුවක්ද සමඟ එය සෝසා මහත්ම යාගේ ගෙල පළඳවන ලදී. සෙත් ශාන්තියද නිසි ලෙසම ඉටු කෙරිණි.

මෙතෙක් අවහිරව තිබූ ආර්ථික මාර්ග, ධන ඉපයීමේ ක්‍රමවේදය ඉන්පසු ඉතා කෙටි කාලයක් තුළ ඉටු විය. විදේශීය රටක මොහු අද ධනවත් පුද්ගලයකු බවට පත්විය. කෘතවේදී වූ ඒ මහත්මා කොන්ඩදෙණිය පන්සලේ අභිවෘද්ධියද අමතක නොකළේය.

මෑතකදී කොන්ඩදෙණිය රජමහා විහාරයට සපැමිණි සෝසා මහත්මා විසින් අනුරුද්ධ නායක හිමියන් ආරම්භ කළ මව්පිය ගුණ සෑය ඉදිකිරීමට විශාල ධන පරිත්‍යාග කෙරිණි. එම චෛත්‍යය ඉදිකිරීම් කටයුතු මේ දිනවල ලහි ලහියේම සිදුවන ආකාරය මම ද දෑසින් දුටිමි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.