පංච මහා පුරුෂ යෝග ඔබටත් තිබෙනවාද?

මැයි 3, 2024

ජන්ම පත්‍රයක් බැලීමේදී අපට ග්‍රහ යෝග බොහෝ ගණනක් දක්නට ලැබුණත් එම ග්‍රහ යෝගවලින් වඩාත්ම සුබ ප්‍රතිඵල ලැබිය හැක්කේ පංච මහා පුරුෂ යෝගවලිනි.

පංච මහා පුරුෂ යෝග, ග්‍රහයින් දිග්බල වීමේ යෝග, ධර්මකර්මාධිපති යෝග, විපරීත යෝග, ගජකේෂරී යෝග, මාලිකා යෝග, පරිවර්තන යෝග, අමාත්‍ය යෝග ආදී බොහෝ යෝග කේන්ද්‍රගතව තිබුණත් ප්‍රධාන ග්‍රහයන් පස්දෙනකුගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගය බොහෝ විට එම ග්‍රහයාගේ මහ දශාව අතුරු දශාව යෙදුණු කල සුබ ප්‍රතිඵල ලබා දේ.

ඡ්‍යොතිෂයේදී පංච මහා පුරුෂ යෝගවලට හිමිවනුයේ ඉතා වැදගත් ස්ථානයකි. පංච මහා පුරුෂ යෝග කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් පස්දෙනාගෙන් යෙදෙන අතර මේ යෝගවලින් ශ්‍රේෂ්ඨ පුරුෂයින් මෙලොවට බිහිවීම සිදු වේ.

කුජගෙන් රුචක යෝගයද බුධගෙන් භද්‍ර යෝගයද ගුරුගෙන් ගුරු හංස යෝගයද ශනිගෙන් සස යෝගය ද උදා වේ. කුජ ග්‍රහයා මකර, කුම්භ, වෘශ්චික යන රාශියේ උච්චව ස්වක්ෂේත්‍රව තිබීම රුචක යෝගය ලෙසද බුධ, කන්‍යා, මිථුන යන රාශිවල උච්ච ස්වක්ෂේත්‍ර වීමද ගුරු කටකය, මීන, ධනු යන රාශිවල උච්ච ස්වක්ෂේත්‍ර වීමද සිකුරු, මීන වෘෂභ, තුලා, යන රාශිවල උච්ච ස්වක්ෂේත්‍ර වීමද සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා තුලා, මකර, කුම්භ රාශිවල ස්වක්ෂේත්‍ර වීමද පංච මහා පුරුෂ යෝග ඇතිවීමට හේතු වේ.

කුජ ග්‍රහයා ගේ දොර ලැබීම්වලටද පොළොවෙන් ලැබෙන සම්පත්වලටද හේතු වන අතර එම යෝග යෙදුණූ අයට එවන් ලැබීම් ඇති වන්නේ පෙර කරන ලද කුසලයන් නිසාය.

කුජ ග්‍රහයාගෙන් රුචක යෝගය යෙදී එම ග්‍රහයාට පාප දෘෂ්ටියක් හෝ පාප ග්‍රහ සංයෝගයක් ලැබීමෙන් ජන්මියාගේ අයහපත් ලක්ෂණ විද්‍යමාන වන මංකොල්ලකරුවන්, සමාජ දූෂකයන් දුෂ්ට පාලකයන් වැනි අය බිහිවීමට හේතු යෙදේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත්වූ පළමු කාන්තාව වන අතර එතුමියගේ කේන්ද්‍රයේ 10 වැන්නේ කුජගෙන් රුචක යෝගය යෙදී තිබිණි.

බුධ ග්‍රහයා 1,4,7,10 යන ස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව පිහිටීම භද්‍ර යෝගය වේ.

කන්‍යාවේ උපන් අයගේ ලග්නයේ දහවැන්නේ බුධ යෙදීම ධනු ලග්නයේ උපන් අයගේ 7 වැන්නේ 10 වැන්නේ බුධ සිටීම, මීන ලග්නයෙන් උපන් අයගේ 4 වැන්නේ 7 වැන්නේ බුධ යෙදීම භද්‍ර යෝගය වේ.

භද්‍ර යෝගයෙන් උපන් අය බුද්ධිමත් අය වෙති. ශිල්ප ශාස්ත්‍ර කීපයක් උගත් අය වෙති.

කලා ශිල්පවලට ද දක්ෂතා ඇති අය භද්‍ර යෝගයෙන් උපදී. ලග්නයේ බුධ සිටීම කථිකත්වය ඇති කරන අතර, හතර වැන්නේ බුධ සිටීම සැප සම්පත් ලැබීමට හේතු වේ.

භද්‍ර යෝගය පිහිටි ප්‍රචලිත කෙනෙක් වන අනගාරික ධර්මපාලතුමා අද වන විටත් අපගේ මතකයෙන් ඈත් නොවී සිටීම භද්‍ර යෝගයේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

මිථුන ලග්නයෙන් උපන් එතුමාගේ කේන්ද්‍රයේ 4 වැන්නේ බුධ ග්‍රහයා ස්ථානගත වීම භද්‍ර යෝගය ලැබීමට හේතු වේ. ගුරුගෙන් යෙදුණු හංස යෝගය 1,4,7,10 උච්චව ස්වක්ෂේත්‍රව යෙදීම හංස යෝගය ලෙස හැඳින්වේ. මේ යෝගය යෙදුණු විට සමාජයට වැඩදායක අය බිහි වේ. අත්තුඩාවේ රාහුල හිමිපාණන්ගේ කේන්ද්‍රයේ ගුරුගෙන් හංස යෝගය යෙදී ඇත. උන්වහන්සේ මනාව වැඩුණු ශරීරයක් ඇතිව උපත ලබා ඇත. රට ජාතිය වෙනුවෙන් ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර, රෝහණ සංඝ සභාවේ මහා නායක පදවිය ඉසිලීය.

සිකුරු ග්‍රහයාගෙන් මාලවී යෝගය යෙදෙන්නේ 1,4,7,10 යෙදුණු විටයි.

මාලවී යෝගය යෙදුණු අයට සැප සම්පත් ලබන්නට වාසනාව ඇත. මේ යෝගයෙන් උපන් අය කලාවේ දක්ෂතා ඇති දක්ෂ නිර්මාණශීලි අය වේ. මෙවන් අය පියකරුව ඇඳ පැලඳ සිටීමට කැමති අය වෙති.

ජනපි‍්‍රය නිළියක් වන මාලිනි ෆොන්සේකා මහත්මියගේ ලග්නයේද මේ මාලවී යෝගය පිහිටා ඇත. මිථුන ලග්නයෙන් උපන් එතුමියගේ කේන්ද්‍රයේ සිකුරු 10 වැන්නේ තිබීම මාලවී යෝගය ලැබීමට හේතු වේ. අන්තර්ජාතික සම්මාන ලැබූ සම්මානලාභි නිළියක වූ එතුමිය චිත්‍රපට නිෂ්පාදකවරියක්ද වූවාය.

ඩී.බී. ජයතිලක මහතාද මාලවී යෝගය ඇතිව උපන් කෙනෙකි. ප්‍රසන්න පෙනුමක් ඇති පාලි, ඉංගී‍්‍රසි, සිංහල භාෂා පිළිබඳ නිපුණත්වයක් ඇත්තෙක් විය.

පැරැණි ග්‍රන්ථ සංස්කරණය කළ පුරෝගාමී තැනැත්තෙක් විය. උපාධිධාරි උගත් බුද්ධිමතෙක් විය.

සෙනසුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව 1,4,7,10 යෙදීම සස යෝගය ලෙස හැඳින්වේ.

සෙනසුරු ග්‍රහ ලොව සිටින අසුබම ග්‍රහයා වුවත් සෙනසුරු බලවත් වීම ඉතාමත් හොඳ යෝගයකි.

එම යෝගය මේෂ ලග්නයේ හත්වැන්නේ සෙනසුරු පිහිටා තිබීම හා සෙනසුරු 10 වැන්නේ තිබීම සස යෝගය වේ. කටක ලග්නයේ හතර වැන්නේද සිංහ ලග්නයේ 7 වැන්නේ ද තුලා ලග්න හිමියන්ගේ 1,4 යන ස්ථානවල සෙනසුරු සිටීමද මකර ලග්න හිමියන්ගේ 1,10 යන ස්ථානවල සෙනසුරු සිටීමද කුම්භ ලග්නයේ ලග්නයේද සෙනසුරු යෙදීම සස යෝගය වේ. සස යෝගය පිරිවර බලය ලැබීමට හේතු වනු ඇත.

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජන්ම කේන්ද්‍රයේ සෙනසුරු බලවත් වී සස යෝගය යෙදීම ධෛර්ය සම්පන්නව ඉදිරියට යාමට හේතු වන අතර, එය පොදු ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට හේතු වේ.

දේශපාලනයටද පිවිසීමට මේ සස යෝගය හේතු වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.