එකම දේශීය මහා දෙවියන් වූ සුමන සමන් දෙවියෝ

මැයි 10, 2024

බුදුන් වහන්සේ ජීවමානව දැක බණ අසා සෝවාන් මඟට පැමිණි මහා සුමන සමන් දෙවියෝ සබරගමුව කලාපයට අධිපතිය. රාමාගේ සොහොයුරු ලක්ෂ්මන් හා “සිද්ධි කුමරියගේ” වැඩිමහල් පුතු ලෙස සලකන මහ සුමන බුද්ධිමත්, දැකුම්කලු දෙවියෙකි.

බුදුන් වහන්සේ මහියංගනයට වැඩි විටදී සිය සහෝදරිය වූ මහ ලොකු අම්මා කුමරිය සමඟ එහි ගොස් බණ අසා සෝවාන් පලයට පත් විය. බුදුන් වහන්සේගෙන් ලත් කේශධාතු නිධන් කර මහියංගනයේ චෛත්‍යයක් ඉදි කළේ ය.

සුමන සමන් දෙවියන්ගේ ඇරැයුම පරිදි බුදු හිමියන් තුන්වැනි වර ලක් බිමට වැඩම කර සමන්ගිරි කන්දේ ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ සේක. ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත් එකම දේශීය මහා දෙවියන් ය. රත්නපුර, නිවිතිගල, මහියංගනය, අලුත් නුවර දේවාල ඉදිකර ඇත්තේ මේ දෙවියන්ටය. ලංකාව ආරක්ෂා කරන මහාදේවතාවාද සමන් දෙවියන් ය. කිරිපලු නුග රුක රැගෙන ආ දේවතාවා ද වන්නේ ය. පර්වත වන්දනාවේ ආදිතම දෙවියාද සමන් දෙවියන් ය. කෝට්ටේ යුගයේ දී සීතාවක සමයේ කීර්තිය පැතිර ගියේ ය. සිව් වරම් දේව සංකල්පයේ සිටින සේක. සමන් දෙවියන් පිළිබඳ සැවුල් සංදේශ කතුවරයා මෙසේ ලියා තිබේ.

වෙසෙස් නිදොස් රතැඟිලි පෙත්තෙන් තෙවුන

අපිස් තවුස් හස් කැන්නින් නෙත් සෙවුන

මුනි සරණ සියපත මුදුනත පැලඳි හැම සඳ

සරණ බරණ කළ තෙවලා දහම් කඳ

සුමන සුරිඳු සුරරජු සිරිපද නැමඳ

සමන් දෙවියන් ගැන පුරාවිදුදරයින් විවිධ මත දරයි. ඒ අවලෝකිතේෂ්වරයන් යැයි සෙනරත් පරණවිතාන මහතාගේ මතයකි.

සමන් දෙවිඳු බල අපි සිහි කෙරු වා

සමනොළ මුදුනට අපි නැංගෙම් වා

මෙන්න උතුම් පා වැඳ පින් දෙන වා

මෙවන් පිනෙන් ඔබ නිවන් දකිනවා

 

ලක්දිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට විශේෂ ආදරයකට ලක් වූ බුදුන් වහන්සේට ඉමහත් ගෞරවයක් දක්වන ලද දේව ආත්මයකි. සුමන සමන් දෙවියන් වෙන් වශයෙන් දැක්විය හැක්කේ අනික් සෑම දෙවියකු මෙන් යගදා, මුගුරු, අසිපත් ආදී විවිධ අන්දමේ ආයුධ සහිතව වැඩ නොසිටි බවකි. හැඩැති රූමත් දෙවියෙකි. වාහනය සුදු ඇතාය. නෙළුම් මලක් සුරතින් ගෙන ඇත.

සෞම දෙවියෙකි. සැමටම පිහිට වන්නේ ය. සීල අධිගමයේ සරණ ගිය දෙවියෙක් බවට ප්‍රසිද්ධයි. තෙරුවන් නමදී. පන්සිල් රකී. සකල ලංකාවාසීන්ට විවිධ ආගම් අදහන සැමටම දේවාශිර්වාදය කරන්නේ ය.

මිහිගුණ චෛත්‍යය සත්රියනක් උසද, විසි එක් රියනක් වටකුරුවද පිහිටන සේ දාගැබක් නිමවන ලදී. මහියංගන විහාරයේ දින 5 පුරා පැවැත්වෙන පෙරහර අවසානයේ වැද්දන් ඇඟේ මී පැණි තවරාගෙන ඒ මත කපු පුළුන් අලවාගෙන දිග රිටි අහසට ඔසවමින් හූ කියමින් රඟ දක්වන්නේ බුදුන් වහන්සේ යක්ෂ දමනයට වැඩ සිටි අවස්ථාවේදී එයට බාධා කළ අයුරු ය.

සමන් දෙවියන් යක්ෂ හා වැදි ගෝත්‍රිකයින්ට නායකත්වය දෙන්නේ ය. වැදි ජනයාද සමන් දෙවියන්ට පුද පූජා පවත්වති. සුමන සමන් දෙවියන්ට බිසවක හා දේව දරුවෙකු සිටියේ ය. සමන් දේවාලයේ සනනසක දැක්වේ.

කට වරද්දා ගැනීමෙන් සමන්ගිර තරණය කිරීමට නොහැකිය. සිරිපා වන්දනාවේ දී නල්ලතන්නියෙන් දිය නා ගෙන පවිත්‍රව බැතිබරව සිරිපා කරුණා කළ යුතු වේ.

පැරණි ගැමියන් සිරිපා ගියේ සිය ඉඩකඩම් දරුවන් හට ලියා දීමෙන් පසුවය. දිනෙක සමන්දෙව් ප්‍රතිමාව කඳු කුටියේ දෙවොලේ තැන්පත් කිරීමට යන විට දී වෙහෙසට පත් වී කඩබක්කියේ දේව රූපය තබා ගිමන් හරින විට විශාල සුළඟක් හමාවිත් කඩයේ වහලය ගැලවී ගියේ ය.

සමන් දෙවියන්ට පින් දී ප්‍රතිමාව සඳුන් කිරිපැන්වලින් දෝවනය කර පසුව දෙවොලට වැඩමවා තිබේ. එතරම් හාස්කම් සමනල ගිරේ පවතී.

ග්‍රෙගරි ආණ්ඩුකාරයා සමන් දේවාලයේ රත්රන් බඩු දැක මේවා මාල හදන්න හොඳ යැයි කියන විටදී උගුරේ ගෙඩියක් මතු වී ප්‍රතිකාර කළත් සුව නොවීය. පිරිතක් කියවා පිරිත් පැන් බිව් විටදී සුව විය. කුරුවිට බණ්ඩාර පෘතුග්‍රීසීන් ඝාතනය කර එම කඩුව භාරයක් සේ සමන් දේවාලයට ඔප්පු කර තිබේ. සපුමල් කුමරුගේ ජයග්‍රහණය උදෙසා සමන් දෙවියන්ට බාරයක් විය. ආර්ය කාමදේව ඇමතිවරයා මැණික් ගැරීමට සමන් දෙවියන්ට බාර වී ඇත. ඔහුට ලැබුණ කැකිරි ගෙඩියක තරමේ මැණික් ගල වෙනුවට බාරය ඔප්පු කිරීමට සමන් දේවාලය ඉදිකර ඇතැයි කියැවේ.

සමන් දෙවියන්ට බාර වී පඬුරු ගැට ගසා එදින රාත්‍රී දෙළුම් ගෙඩියක් සිහිනෙන් දුටුවේ නම් මැණික් හමුවේ. එයින් ලැබෙන මුදලින් සමන් දෙවොලට පුද පූජා තැබීම විශේෂයි. සමන් දෙවියන් ඉතාම අගනා සීලවන්ත දෙවියෙකි. දැනටත් මැණික් ගරන අය සමන් දෙවියන්ට බාරවීමත් පඬුරු ගැට ගැසීමත් කළයුතු වේ. බාරයට සුදු ඇතෙකුගේ රූපයක් ඔප්පු කළයුතු වේ. ඇත් රජුගේ බලය ද පැතිර ඇත.

විශේෂයෙන්ම ලාංකික දෙවිවරුන් අතර ඉහළ පෙළේ ප්‍රමුඛ දෙවියෙකි. එබැවින් ඔබ සිරිපා වැඳීමට යන්නේ නම් පෙර දිනයේ ආගමික වතාවත් කර සමන් දෙවියන්ට පඬුරක් ගැට ගසන්න. වන්දනා කර ආපසු පැමිණ බාරය ඔප්පු කරන්න. දේවාලයකදී ශ්‍රී ලාංකීය දේව සංකල්පය මත එදා බුදුන් වහන්සේ කොසොල් රට චණ්ඩාලකප්ප ග්‍රාමයට වැඩි දිනයේ සංගාරව මානවක තෙමේ බුදුන් වහන්සේ හමුවට පැමිණ ස්වාමීනි දෙවියෝ සිටිත්ද?

“භාරද්වාජය” දෙවියෝ සිටිත්. කරුණු වශයෙන් සලකා බලන විටදී... එය බොරුවක්ද ස්වාමීනී......,

දෙවියෝ සිටියත් යැයි පිළිතුරු දුන්නොත් එයින් නුවණැත්තෙකුට පිළිගත හැක්කේ දෙවියන් ඇති බවකි. පිරිත් දේශනයේ දී චන්ද පරිත්ත, සුරිය පරිත්ත, ධජග්ග පරිත්ත, මහා සමය, ආටානාටිය තුළ ඍජුව ම දෙවියන් සිටී යැයි සඳහන් වේ.

බුදුන් වහන්සේ දෙවියන් නැතැයි කිසිම විටෙක වදාරා නැත. පමණ ඉක්මවා ඇදහීම නොව පින්දීම යහපත් යැයි වදාළ සේක. විශේෂයෙන් සමන් දෙවියන්ට බාරහාරවීම, පුද පූජා තැබීම නිසා රත්නපුරවාසීන් නොව සියලුම ලක්වැසියන්ට සෙතක් ශාන්තියක් සැලසෙන බැව් සිරිපා දේව පුරාණයේ සඳහන් වී ඇත්තේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.