මරණයට කැප වූ මිතුරා බේරාදුන් කැකිරි ඇට පැලැස්තරය

මැයි 10, 2024

 

සතවෙත මහත්වූ දයානුකම්පාව දැක්වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කෙළ පැමිණියෙකුද විය.

එකල කොණ්ඩදෙණිය සහ ඒ අවට මුළු පළාතටම සිටි එකම ආයුර්වේද වෛද්‍යවරයා වූයේද උන්වහන්සේ පමණි. තම වෙදකමත්, හෙදකමත් ශාන්තිකර්ම, සෙත්ශාන්ති, යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් පිළිබඳව සුවිශේෂ ප්‍රාගූන්‍යයෙන් හෙබි උන්වහන්සේ අසාධ්‍ය රෝගීන් සුවපත් කිරීමේ හාස්කම් සිදුකරලීම මඟින් දහස් ගණනක් දෙනාගේ ජීවිත රැක දුනි.

එදින හිමිදිරි පාන්දරම පන්සල, ඇමිදීම් කටයුතු, තම වත්පිළිවෙත් සියල්ල අහවර කළ උන්වහන්සේ බුදුමැදුර සහ දේව මන්දිරය තුළ පහන් දල්වා අවසන් විය.

“ඩිංගිරි බණ්ඩෝ – අර අපේ ඩ්‍රැයිවර් මහත්තයට ඉක්මනින් ලෑස්ති වෙලා එන්න කියන්න. තමුනුත් මේ ගමනට මං එක්ක එන්න ඕන. අද මට කුරුණෑගල මහ රෝහලට යන්න තියෙනවා.” හිමි අණ වහා ක්‍රියාත්මක විය.

හීල්දානය වැලඳූ උන්වහන්සේ තම දායකයකු පරිත්‍යාග කළ කාර් රථයෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගන්නට විය.

කුඩා කල සිටම හිමියන් අසුරු කළ හිතවතකු හදිසියේ අසනීප අසාධ්‍යව රෝහල් ගත කළ බව ආරංචි වීම නිසා ඔහු නේවාසිකව සිටි රෝහල් වාට්ටුවට උන්වහන්සේ ප්‍රවිෂ්ට විය.

වෙනදා ඉතා සුහදව කට පුරා සිනාසෙන කරුණාවන්ත පි‍්‍රයමනාප අයකුවූ ඔහු අද රෝහලේ වාට්ටුවේ කෙළවරක පැත්තකට දැමූ ඇඳක් මත හයියෙන් කෑ මොර ගසමින් උඩුබැලිව කඳුළු වගුරවමින් විටින් විට මහ හඬ නඟමින් වේදනාවෙන් දඟලන දසුන දැක ගත හැකි විය.

පසුගිය දින කිහිපය තුළම ඔහුගේ මරහඬ අවට වාට්ටුවලටද මහත් හිරිහැරයක්, කරදරයක් වී තිබිණ. මෙයට හේතු වූයේ දින කිහිපයක් තිස්සේම ඔහුට මූත්‍රා පිටකර ගැනීමට නොහැකිවීම නිසා ඔහු නිරන්තරයෙන් වේදනාවෙන් මරළතෝනි දීමයි.

ලෙඩාගේ මූත්‍රා පිටකිරීමට රෝහලේ වෛද්‍යවරුන්ගෛ් උපදෙස් පරිදි බට යොදා තිබුණත් ඒවා අක්‍රිය විය.

තව පැය කිහිපයක් මෙසේ ගතවුවහොත් තම හිතවතා ඒකාන්තයෙන්ම මරණයට පත්වන බව උන්වහන්සේට සක්සුදක් සේ අවබෝධ විය. හිමියෝ වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයා හමුවීමට ඉක්මනින් වැඩම කළහ.

“දොස්තර මහත්තයෝ අර කෑගහන ලෙඩා මගේ හිතවත් දායක මහත්තයෙක්. ඔය ඉන්න විදියට තව පැය කිහිපයකට වඩා ජීවත්වන එකක් නැහැ. වකුගඩුවේ ගල් හිරවෙලා තියෙන්නෙ. බටදාලා ඕක හොඳ කරන්න බැහැ නොවැ”

“හාමුදුරුවනේ, අපි හෙට අනිද්දා සැත්කමක් කරන්නයි හිතන් ඉන්නෙ. ඔපරේෂන් කරන්නත් මේ වගේම අසාධ්‍ය ලෙඩ්ඩු ගණනාවක්ම පෝලිමේ ඉන්නව මෙයාගේ වාරේ එනකම් බලන් ඉන්ඩ වෙනවා.”

“දොස්තර මහත්තයෝ මම කොණ්ඩදෙණිය හාමුදුරුවෝ මම ඔය ලෙඩාව හනිකට සනීප කරන්නම්.මට පැය දෙකක් පමණ දෙන්නකෝ”

“ඇයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමක් කරලවත් ගොඩ දාන්නද බලන්නෙ. හාමුදුරුවනේ. ඔබ වහන්සේ ප්‍රසිද්ධ ඒවටනේ.”

“හරි. හරි. ඒවා මම පස්සෙ කියන්නම් කෝ. මට අවස්ථාව දෙන්න. මෙම ලෙඩාව ගොඩදාන්නම්කෝ.”

“අපේ රාජකාරියත් හරියට කරන්න ඕනනේ” මේ පොතේ අස්්සන් කරල ලෙඩාව භාරගන්න හැබැයි. ලෙඩාට අනතුරක්, ආන්ත්‍රාවක් සිදුවුණොත් ඒ වගකීම බාරගන්නවා කියල ලියලම අත්සන් කරල දෙන්න.

හිමියන් වහාම ඊට එකඟ විය.

“ඩිංගිරි බණ්ඩෝ. හනික මගේ කාර් එකෙන් පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට ගිහින් පිරිවෙන පිටුපස තියෙන ගොඩපර ගහෙන් ගෙඩි දෙක තුනක් කඩන් එන්න. එන ගමන් ඉදුණු කැකිරි ගෙඩියකුත් අරන් එන්න අමතක කරන්න එපා. කෝකටත් තියෙන්නෙ හෝරා දෙකයි. ඉක්මන් කරල වැඩේ කරන් එන්න.”

හිමි අණ වහා ක්‍රියාත්මක විය. ලෙඩා අසල සිටි අතවැසියාද කැඳවූ හිමියන් බෙහෙත් ඖෂධයට අවශ්‍ය ද්‍රව්‍ය වහාම ගෙන්වා ගෙන එය සකස්කර තලපයක් ලෙසින් සකස් කර ගති. ගොඩපර මිශි‍්‍රත කැකිරිඇට පැළැස්තරය පාන්කඩයකට ගෙන එයට දියරද එකතු කර රෝගියාගේ යටි බඩේ මේ පැළැස්තරය ඇලවීය.

රෝගියාගේ නෑදෑයන්, වෛද්‍යවරුන්, සාත්තු සේවිකාවන්, රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන්, වාට්ටුවේ නේවාසිකව රැඳී සිටි ලෙඩුන්ද මේ අපූරු කර්තව්‍ය දෙස විස්මිතව බලා සිටියේ මොනවායින්, මොනවා වේ දෝයි යන කුතුහලයෙනි.

පිරිස ඇමතූ හිමියන් මෙතෙක් ලෙඩාට සවිකර තිබූ මූත්‍රා බට ඉවත්කර රෝගියා වාට්ටුවේ බිත්තිය පැත්තට හැරවීය. ගතවූයේ විනාඩි 10ක් තරම් සුළු කාලයෙකි. ලෙඩාගේ කළගෙඩියක් තරම් පිම්බී තිබූ බඩ ගෙඩියේ රැඳී තිබුණු මූත්‍රාවලින් බිත්තිය වහා තෙමී යන්නට විය. මූත්‍රාශයේ මෙතෙක් රැඳී තිබූ කුඩා ගල් කැටිති කිහිපයක්ම බිත්තියේ වැදී බිමට වැටිණ.

මුළු වාට්ටුවම මෙතෙක් වේදනාවෙන් දෙවනත් කළ තම හිතවතා සැනසුම් සුසුම් හෙළීය. ඔහු මහත් සැහැල්ලුවට පත්විය. රෝහල් වාට්ටුවේ ඇඳ මත මරණාසන්නව වැතිර සිටි ලෙඩා සුවපත් විය. හිමියන් ගේ දෑත් අදරින් සිපගත් ලෙඩාගේ මුහුණෙහි තිබූ අඳුරු වලාකුළු පහව ගොස් මහත් සොම්නසක් ඇති විය. එහි කාරුණික සානුකම්පිත කෘතවේදීත්වය මොනවට සිත්තම් වී තිබිණි.

වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයත්, නේවාසික රෝගීන්ද අවට පිරිස්ද කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ විශ්ව කර්ම වැඩෙන් මහත් සේ පුදුමයට පත්ව සිටියේය.

ගතවූයේ මොහොතකි. අවට වාට්ටුවල නේවාසිකව සිටි රෝගීන්ද කාර්ය මණ්ලයේ ඇතැම් පිරිස්ද මේ වාට්ටුවට පැමිණ එබිකම් කළේ දවස් ගණනාවක්ම කෑ මොර ගැසු කරදරකාරි ලෙඩා මරණයට පත්වී ඇතැයි සිතා එය දැක බලා ගැනීමටය.

එහෙත් සුවසේ පසුවන ලෙඩා දැක ඔවුන්ද විස්මයට පත්විය.

වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ නායක හිමිපාණන් වහන්සේ තම ‘කිරිඅප්පා’ වු කොණ්ඩදෙණියේ සීලරතන හිමියයන් ළඟ කුඩා කල සිටම හැදි වැඩුණු නිසාවෙන් ඒ අඩිපාරේ යමින් යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්, ශාන්තිකර්මවල යෙදෙන්නට විය.

මාගේ පවුලේ බඩපිස්සිය වූ සහෝදරියගේ ස්වාමිපුරුෂයා බටහිර වෛද්‍යවරයෙකි. ලංකාවේ විවිධ ප්‍රදේශවල රජයේ රෝහල් ගණනාවක ප්‍රාදේශීය වෛද්‍ය අධිකාරිවරයකු ලෙස සේවයේ නියුතුව සිටි ඔහු පසුකාලීනව වකුගඩු රෝගයට බදුන්ව සිට වකුගඩුවක් බද්ධ කිරීමට ද සිදු විය.

රජයේ වෛද්‍ය සේවයේ කාලයක් තිස්සේ සේවය කොට පළපුරුදු එතුමා මේ සැත්කමේ බරපතළකම හොඳින් දැන සිටියේය. ඔහුගේ පියා රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු විය. එසේ නමුදු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සෙත්ශාන්ති කර්ම පිළිබඳව කිසිදු විශ්වාසයක් ඇත්තෙක් නොවීය. එමෙන්ම දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳවද විශ්වාස ඇත්තෙක් නොවීය. එහෙත් මගේ බාල නැඟණිය ඒවා විශ්වාස කළාය.

මේ වකවානුව තුළ එම වකුගඩු සැත්කම සාර්ථක කර ගැනීමේ අභිප්‍රායෙන් මගේ සොයුරියටද නොකියාම කොණ්ඩදෙණියට ගොස් අනුරුද්ධ නායක හිමියන් වෙතින් වෛද්‍ය සිසිර මහතාගේ සැත්කම පූර්ණ ලෙස සාර්ථක කර ගැනීමට ශාන්ති කර්මයක් කරගන්නා ලදී. එම සැත්කම සාර්ථක විය. ගත වූයේ නොබෝ කාලයෙකි. වකුගඩුවක් බද්ධකොට වැඩිකාලයක් යාමට මත්තෙන් කොරෝනා වසංගතයද රට පුරාත්, ලොව පුරාත් පැතිරිණි. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක ප්‍රධාන වෛද්‍ය නිලධාරීයකු වූ ඔහුටද මුල්කාලයේ කොරෝනා රෝගයද වැලඳිණි. තත්ත්වය තවත් භයානක විය. සැත්කම සිදු කර වැඩි කාලයක් ගතවීමට මත්තෙන් මේ රෝගය වැලඳීමෙන් ජීවිතය අවිනිශ්චිත විය.

මම යළිත් වරක් කිසිවකුට නොදන්වා කොණ්ඩදෙණියට ගොස් අනුරුද්ධ නායක හිමියන් හමුවී උන්වහන්සේට සියලු දුක්ඛ දෝමනස්සයන් පැවසුවෙමි.

එහිදී මාගේ ඥාති සොයුරා වෙනුවෙන් ප්‍රබල ගුරුකමන් හා සෙත් ශාන්තියක් සිදු කර ඔහුගේ ජීවිතය බේරාගන්නට හැකි විය. එහෙත් මේ කිසිවක් මේවන තෙක් ඔවුනට නොපැවසීමට මම තීරණය කළෙමි. එහෙත් උන්වහන්සේ මරණයේ අඳුරු තිරපට ඉරාදැමූ අතිශ්‍රේෂ්ඨ ජීවක යතිවරයාණන් වහන්සේකෙනකු බව මට පසක් විය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.