සීතලට වැඩිවන ඇදුම

මැයි 19, 2023

බෝ නොවන රෝගයක් නොවූවත් දුක්ඛදායක රෝගයන් අතරට ගැනෙන රෝගයක් වන ඇදුම, හතිය, පපුවේ මහන්සිය, ඉලප්පුව, ඛශ්වාසය, හැට්ටුව, මුහයන නම්වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය ඉපදුණ දා සිට මරණය වෙනතෙක් ඕනෑම වයස් කාණ්ඩයක් තුළදී හටගත හැකි රෝගයකි.

 

විශේෂයෙන් ශීත කාලයේ දී වරින්වර උත්සන්න වන ඇදුම රෝගය රෝගියට විඳ දරාගත නොහැකි තරමේ වේදනාවක් ගෙන දෙනු ලබන අතර, පපුවේ හටගනු ලබන දැඩි මහන්සිය සමඟ රූම් රූම් ගාන ශබ්දයන් ද ඇති කරවයි. හුස්ම උඩට පහළට ඇති කරවමින් රෝගියා දරන වෑයම දකින අන් අයටද ඇති වන්නේ මහත් වේදනාවක් මෙන්ම අනුකම්පාවකි.

 

රෝගය වැලඳීමට ඇති වන හේතු

 

ඇදුම රෝගය වැලඳීමට කරුණු දෙකක් ඇත. එක් කරුණක් වන්නේ පාරම්පරික හේතූන්ය. ඒ ඇදුම පරම්පරාවෙන් පරම්පරාවට උරුමව පැවතීමයි. පුතාටත් පුතාගෙන් පුතාටත් වශයෙන් පැවතිය හැකිය. එහෙත් සමහර විට පරම්පරාගතව නොතිබෙන්නත් හැකිය. දෛනික ජීවිතයේ දී මෙම රෝගය වැලඳීමට බොහෝ කරුනු පවතී. ඉන් රැකියාව හා රැකියාව කරන ස්ථානය ප්‍රධාන වේ. දුම් දූවිලි සහිත පරිසරයක ගත කිරීම මහා මාර්ග ආශි‍්‍රත රැකියාවල නිරත වීම, ගරාජ් සහ කාර්මික සේවාවල නිරත වීම, සිමෙන්ති ආශි‍්‍රතව හා ගොඩනැඟිලි කර්මාන්තයේ නිරත වීම, ගල්කුඩු, ලී කුඩු, වී කුඩු, ඇඟලුම්, රටහුනු, ගොවිපළ ආශි‍්‍රතව සේවය කිරීම වාහන දුම්, වෙළඳ සැල් සේවා මහා මාර්ග ආදී ස්ථානවල සේවය කිරීම ඊට අමතරව නිවෙස්වල ඇතිකරනු ලබන පූසන් (බළලුන්) කුරුල්ලන් වැනි සතුන්ගේ ලොම් ආඝ්‍රාණය වීමද වේ.

 

ඇදුම රෝගයේ ප්‍රභේද

 

1. ශුද්ධාශ්වාසය,

2. මහාශ්වාසය,

3. උර්වද්වාසය,

4. වින්නස්වාසය

5. තමකෂ්වාසය යනුවෙන් ප්‍රභේද පහකි. මේ අතරින් වර්තමාන සමාජයේ වැඩි දෙනකුට වැළඳී ඇත්තේ තමකෂ්වාසය වන අතර, එය වඩාත්ම දරුණු වන්නේ රාත්‍රී කාලයේදීය. මෙම රෝගයේ රෝග ලක්ෂණ එක්වරම පෙන්නුම් කරනු ලබන අතර, සමහරුන්ට වරින් වර රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. කෙසේ වුවද රෝග අවස්ථාව වටහාගෙන නිසි ප්‍රතිකාරවලට යොමු නොවුහොත් මරණයට පවා පත්වීමට ඉඩ ඇත. මෙම රෝගී අවස්ථාවේ දී ශරීරය වැහැරී යයි. කැස්ස හටගනී. සමහර විට ක්ෂය රෝගය පවා හටගත හැකිය. එබැවින් ඇදුම රෝග තත්ත්වයක් පවතින්නේ නම්, වහාම ප්‍රතිකාර ගත යුතු ය. ඇදුම රෝගියාගේ පපුවෙන් රූම් රූම් ගාන ශබ්දයක් ඇති වේ. සමහර අවස්ථාවලදී නළාවක් පිඹින්නාක් මෙන් ශබ්දයක් ද ඇසේ. රාත්‍රී කාලයේ දී හා අලුයම් කාලයේ දී පපුවේ ශබ්දය බෙහෙවින් වැඩි වේ.

 

දේශගුණික හා අනිසි ක්‍රියා

 

ශීත පරිසරයක ජීවත් වීම, වැස්සට පින්නට අසුවීම, වා පිත් සෙම් කිපී ඇතිවන වාත කථ ප්‍රකෘතික ශ්වාස රෝගීන් වීම මෙන්ම සුරතල් සතුන්ගේ ලොම් අඝ්‍රාණය වීමෙන් ද රෝගීන් බවට පත්වේ. වැඩිහිටියන් මෙන්ම සමහර දරුවන් ද සුරතල් සතුන් තුරුලු කරගෙන මුහුණට ළං කරගෙන සිඹිනු ලබති. එමෙන්ම මල් පරාග සිඹීමද කරනු ලබයි. මෙවැනි දෑ ඇදුම රෝගය වැලඳීමට හේතු කාරණා වෙයි.

 

ආහාර පාන

 

රළු ආහාර, උඳු, තලතෙල් පිටි කැවිලි ජලජ අල ජාති, විසම අලජාති, කෘත්‍රිම ආහාර වර්ග, ශීත කළ ආහාර වර්ග නිතර ගැනීමෙන් මෙම රෝගය වැලඳිය හැකිය. තම රැකියාවේ ස්වභාවය අනුව සමහර අය ස්නානය කිරීම හෝ ඇඟ සෝදාගන්නේ රාත්‍රී කාලයේ දී ය. එසේ දිගින් දිගටම සිදුකර යෑමෙන්ද ඇදුම රෝගය වැලඳිය හැකි ය. නිතර කල්පනා කිරීම, නොනිදා සිටීම, මානසික අසහනය, තවත් හේතු කීපයකි. ඇතැම් කාන්තාවන්ට ගර්භිණී, සමයේ දී සුළු ඇදුම තත්ත්වයක් ඇති වේ. ගර්භිණී තත්ත්වය අවසන් වීමෙන් පසු එම තත්ත්වයද නැති වේ. ළදරුවන්ට ඇදුම රෝගය හටගනු ලබන්නේ ළය පීනසත් සමඟය. සමහර දරුවන්ට එය හටගන්නේ කඩුවේගන් සමඟය.

 

රෝගයට ගොදුරු වීම හා පැවැත්ම

 

ඇදුම රෝගයෙන් පෙළෙන රෝගියා මානසික වශයෙන් මහත් පීඩාවට පත්වන රෝගියෙකි. මේ නිසා කේන්තිය නොරිස්සුම් ගතිය හා අධික කෝපයට පත්වේ. රෝගියා වැඩි කැමැත්තක් දක්වන්නේ විවේකීව නිදහසේ සිටීමටය. අන් අයගේ කතාබහ සහ උපදෙස් අවවාද ඇසීමෙන් ඔහු තුළ මහත් වේදනාකාරී තත්ත්වයක් කේන්තියක් ඇති වේ. ඒ ගැන අන් අය වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඇදුම රෝගියෙකුට සැනසිල්ලක් ලැබෙන්නේ ප්‍රතිකාරවලිනි. එබැවින් දිගටම ප්‍රතිකාර ලබාදිය යුතු ය. ඇදුම රෝගය සඳහා වෙනත් ප්‍රතිකාරයන්ට වඩා සුදුසු වන්නේ ආයුර්වේද ප්‍රතිකාරයයි. ඉන් රෝගියාට ලැබෙන්නේ මහත් සැනසිල්ලකි. ඇදුම රෝගියාට ප්‍රතිකාර ලබාදීමේ දී අනුකම්පාව කරුණාව හා සැනසීමට කරුණු පහදා දෙමින් ඔහු ඇසුරු කළ යුතු ය.

 

 

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.