වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
හදවත සුරකින ශරීර දුබලතා නසන සුදුළුෑනු
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරී රේනුක තම කාර්‍යාලයේ සිටින විට එහි කාර්‍යාල කාර්‍ය සහායකයෙකු වන ලාල් කුඩා ජෑම් බෝතලයක් ගෙන රේනුක ඉදිරියට පැමිණ සිට ගත්තේය.
ඇයි. ලාල්.මොකක් හරි වුවමනාවක්ද මොකක්ද ඔය බෝතලය යැයි රේනුක විමසූ විට ලාල් මෙසේ කීය.
සර්.මට කාරණයක් දැන ගන්න ඕන මම පොතක තිබිල බේතක් හැදුවා. ඒක පාවිච්චි කරන්න හොඳද කියල දැන ගන්නයි ආවෙ.
සුදුළූනු බික් ටිකක් මීපැණිවල දමල සතියක් විතර තියල ඊට පස්සෙ දවසකට එක බික්ක ගානෙ කෑවම ඇඟේ තෙල් ගතිය අඩු වෙනව. බඩ අඩු වෙනව කියල තිබුණ ඒ ගැන දැනගන්නයි ඕන. යනුවෙන් ලාල් රේණුකගෙන් ඇසීය
ඔව් ලාල් ඒක හොද බේතක් තමයි. සුදුළූනු ග්‍ර්‍රෑම් 100 ක් විතර අරගෙන පොතු ඉවත් කරල මීපැණි දමල සතියකින් දිනකට එක බික බැගින් කෑම ලෙඩ ගොඩකට හොඳයි.
ඇඟ අඩු වෙනව. තෙල් අඩු කරනව. කෑම අරුචිය නසනව. පපුවෙ අමරුවලට හොඳයි. පපුවෙ සෙම අඩු කරනවා ආදී වශයෙන් ලෙඩ ගොඩකට හොඳයි. යනුවෙන් රේණුක ඒ ගැන හොද විස්තරයක් කළේය.
එතකොට රේණුක මහත්තයෝ සුදුළූනු හොද බේතක් නේද යනුවෙන් ලාල් ඇසූවීට ඔව් සුදුළූනු කියන්නෙ හොද බේතක් විතරක් නෙවෙයි හොඳ ආහාරයක් යැයි රේණුක පිළිතුරු දුනි.
ආයුර්වේදයේ පමණක් නොවෙයි නූතන වෛද්‍ය විද්‍යාවෙනුත් සුදුළූනු වල ගුණ හොයාගෙන තියෙනවා. හදවත ආරක්ෂාකර ගැනීමට අධික රුධිර පීඩනය අඩුඅර ගැනීමට අක්මාව ආරක්ෂා කර ගැනීමට සුදුළූනු උපකාරී වෙනවා. ඒ වගේම පිළිකා වළක්වන ගුණත් සුදුළූනුවල තියෙනවා ඒ වගේම සුදුළූනු දිනපතා ආහාරයට ගැනීමෙන් සෙම්ප්‍රෙතිශ්‍යාව නිතර හැදීමෙනුත් වලකිනවා. යනුවෙන් සුදුළූනු ගැන හොද විස්තරයක් රේණුක විසින් ඉදිරිපත් කළේය.
එවිට ලාල් ඇසුවෙ සුදුළූනු ඒතරම්ම ගුණ දායකද යනුවෙනි.
ඔව් ලාල් සුදුළූනු හැම ලෙඩකටම වගේ ගුණයි. සමේ රෝගවලටත් හරිම හොඳයි. ඒ වගේම සුදුළූනු වල රසායන ගුණයත් හොඳීන්ම තියෙනවා. ජරාවට පත්නොවී තරුණ බව ආරක්ෂා කර ගන්නත් සුදුළූනු ඉතා හොද ඖෂධාහාරයක් යනුවෙන් රේණුක සුදුළූනු ගැන තව විස්තර ඉදිරිපත් කළේය.
එතකොට රේණුක මහත්තයෝ සුදුළූනු වැවෙන්නෙ කොහේද. අපේ රටෙත් වැවෙනවද?
ලංකාවෙ ඉතා සුළු වශයෙන් සුදුළූනු වවනු ලබනවා.ඉන්දියාවේ. සියලුම ප්‍රදේශවල වගා කරනු ලබනවා. ඒ වගේම චීනයේත් සුදුළූනු බහුල වශයෙන් වවනු ලබනවා යුරෝපීය රටවල සහ මැදපෙරදිග රටවලත් සුදුළූනු වවනු ලබනවා යනුවෙන් රේණුක විස්තර කළේය.
සුදුළූනුත් රතුළූනු වගේම පැළෑටියක්ද යනුවෙන් ලාල් ඇසූ විට රේණුක කීවේ බොහෝ දුරට සමානකම් ඇතිබවයි. මෙය පහත් ප්‍රදේශවල වැවෙන සෙ.මි. 30 සිට 60 දක්වා උසට වැවෙන පැළෑටියක් බවත් සුදු පාට බල්බය (අලය) සෙ.ම්.1 සිට 4 දක්වා වීෂ්කම්භයකින් යුතු බවත් සුදුළූනු පත්‍ර පැතලි සහ සිහින් බවත් කීය.
එසේම මෙහි මල් කොල මිශ්‍ර සුදු පාට බවද මේවා පත්‍රවල පිහිටා ඇති බවද කීය.
එතකොට රේණුක මහත්තයෝ සුදුළූනුවලට කියන තවත් නම් තියෙනවද යනුවෙන් ඇසූවිට ඔව් සිංහල භාෂාවෙන් ලසුනු, ලුහුනු, හෙළලුහුනු, හෙල්බිජු යන නම් යෙදෙනවා. සංස්කෘත භාෂාවෙන් ලශුන, රසෝන, උග්‍රගන්ධ, මහෞෂධ, අරිෂ්ඨ, ම්ලේච්ජකන්ද, යවනේෂ්ට ආදී නම් යෙදෙනවා. මෙයින් රසෝන කියන නම හැදිල තියෙන්නෙ රස 6 න් ඒ කියන්නෙ.. මධුර, අම්ල, ලවණ, කටුක, තික්ත කෂාය යන රස 6 න් සුදුළූනු වල අම්ල රසය අඩු නිසා එනම් ඌන නිසා රස ඌන හෙයින් රසෝන යන නාමය යෙදෙනවා.
දෙමළ භාෂාවෙන් වෙල්ලපූඩු යනුවෙන්ද හිංදි භාෂාවෙන් ලහසුන යනුවෙන්ද යෙදෙනවා
ඒ වගේම වංග භාෂාවෙන් රශුන කියල යෙදෙනවා. ඉංග්‍රිසි භාෂාවෙන් Garlic කියනවා. සුදුළූනු වල උද්භීද විද්‍යාත්මක නාමය
Allium sativum කියල කියනවා. කුලය. LILIACEAE හෙවත් රසෝන කුලය යනුවෙන් රේණුක මහතා සුදුළූනු ගැන තවත් විස්තර කිවේය.
එතකොට කෑමට ගන්නෙ සුදුළූනු අල (බල්බය) නේ. බේත් වලට ගන්නෙත් අල විතර ද යැයි ලාල් විමසූ විට රේණුක මහතා පැවසුවේ අල කොළ සහ තෙල් ඖෂධ සදහා යොදාගන්නා බවයි.
එතකොට සුදුළූනු කොහොමද බේත්වලට ගන්නෙ යනුවෙන් ලාල් විමසූ විට රේණුක මහතා කීවේ සුදුළූනු ආකාර කීහිපයකින් බේත් සදහා ගනු ලබන බවයි. වාත වේදනා ආදියේදී බැබිල මුල් සුදුළූනු තම්බා බීම. ගම්මිරිස් උළුහාල් සුදුළූනු තම්බා බීම කොල්ලු සුදුළූනු තම්බා බීම. ආදී වශයෙන් කරනු ලබන අතර සුදුළූනු අඩංගු කෂාය වර්ග ද රාශියක් තිබෙනවා. ඒ අතර නිකමුල්, සුදුළූනු, ඉඟුරු, කෂාය, නිකමුල්, සුදුළූනු, මුරුංගා මුල් ආදී කෂාය
සුදුළූනු බේත් එරඩු මුල්. කුඹුරු ඇටමද සාරණ මුල් ඉඟුරු කෂාය ආදී කෂාය වරග රාශියක් සුදුළූනු සහිතව තියෙනවා.
ඒ වගේම දළු අනුපානත් කිහිපයක්ම තියෙනව සුදුළූනු අඩංගු බුද්ධරාජ කල්කයේ අනුපානයක් වන මාතා වෘහතී ආදී අනුපානයෙත් සුදුළූනු අඩංගුයි.
ඒ වගේම සුදුළූනු පෙරුංකායම් සහ වැල්පෙනෙල කොල කොට වංඩුවේ තම්බා මිරිකා පෙරා බීම සහ එම රොඩු පොට්ටනි බැද වංඩුවේ තම්බා මද උණුසුමෙන් තැවීම අණ්ඩ වෘද්ධියට ඉතා ප්‍රශස්තයි.
ඒ වගේම වේදනා ශමන තැවිලි බොහෝමයකම සුදුළූනු අඩංගුයි. නිකකොල, පාවට්ටා කොළඅමුඉගුරු, සුදුළූනු තැවිල්ල ඒ අතුරින් ප්‍රධානයි
ඒ වගේම සුදුළූනු අඩංගු නිෂ්පාදිත ඖෂධත් රාශියක් තියෙනවා.
ලශුනාසවය. ලශුන අර්කය. ලශුනපද්ම. රසෝන පිණ්ඩය. ලශුනේරණ්ඩ තෛලය. වගේ ඖෂධ රැසක්ම තියෙනවා. යනුවෙන් රේණුක මහතා තව තවත් සුදුළූනු ගැන විස්තර ඉදිරිපත් කළේය.
එතකොට රේණුක මහත්තයෝ තව මොනවද තියෙන බේත් වර්ග යනුවෙන් ලාල් ඇසූවිට. සුදුළූනු අඩංගු බේත් තව ගොඩක් තියෙනවා.
කරපිංචා මිටක්, සුදුළූනු බික් කීපයක්, ගොරක කැබැල්ලක්, කුරුඳු පොතු ටිකක්, ගම්මිරිස් ඇට කීපයක් මේ සියල්ල අඹරා දෙහි ඇඹුල් දමා දිනපතා මේස හැංදක් පමණ ආහාරයට එක්කර ගැනීමෙන් කොලොස්ටරෝල් අඩුකර ගන්න පුලුවන්
ඒ වගේම උණ ඇතිවෙලාවට සුහුළූනු බිකක් තලා ගිතෙල් ටිකක් එකතු කරල උණ හොද වෙන තුරු දිනපතා ආහාරයට ගැනීම හොදයි
තවද හිසකෙස් වැටීම නතර කිරීමට සුදුළූනු තලා යුෂ අරගෙන හිස්කබලෙ ගා සම්භාහනය හොඳයි.
මේ වගේ රෝග රාශියකට ගුණ දෙන අගනා ඔසුවක් තමයි සුදුළූනු යනුවෙන් පවසමින් රේණුක මහතා සුදුළූනු ගැන හොද අවබෝධයක් ලාල් වෙත ලබා දුන්නේය.
එතකොට රේණුක මහත්තයෝ සුදුළූනු කියන්නේ අනර්ඝ ඖෂධයක් නේ. මම මේ මීපැණි වල දාපු සුදුළූනු දවසට එක බික ගානෙ කන්නම්. එතකොට මගේ තියෙන ලෙඩත් සනීප වේවි නේ යනුවෙන් ලාල් කීය
ඔව් ලාල් ඔය බේත දිගටම කන්න. හොඳ ගුණයක් ලැබේවි. පුලුවන් නම් සුදුළූනු ව්‍යංජනයක් සතියට දවස් 2 ක් වත් කන්න තවත් ගුණයි යනුවෙන් කී රේණුක මහතා සුදුළූනු ගැන විස්තරය නිමා කලේය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන