ඔසු ගුණයෙන් පිරිපුන් අබිං

මැයි 10, 2024

“ඉස්කෝලේ මහත්තයෝ .බලන්නකෝ. අපේ පුතාගෙ වැඩේම පොත් කියවන එකමයි. හරියට අබිං කන්න පුරුදු වුණා වගේ. පොතේමයි ඉන්නෙ” යනුවෙන් ප්‍රදේශයේ දක්ෂ ගොවි මහතකු වන සේන තම ගමේ වෙසෙන ගුරු මහත්මයකු වන ජයසිංහ මුණ ගැසුණු විට කීය.

“ඉතිං හොදයි නේ සේන. පොත් කියවන එක කොච්චර හොඳයි ද. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කියමනකුත් තියෙනවානේ.

ඒත් අබිං කනවා වගේ. කියන්නේ හොඳ පුරුද්දක් නෙවේනේ. අබිං කියන්නේ ඖෂධයක් වුණත් නිතර පුරුද්දට ගන්න එක හොඳ නැහැ නේ. ඒ නිසා ඒ උදාහරණය ගැළපෙන්නේ නැහැ”

“මතක්වුණ එක හොඳයි. එතකොට ඉස්කෝලේ මහත්තයෝ අබිං කන එක අගුණද?”

“මම දන්නා විදියට නම් අබිං හොඳ බේතක්.ඒත් වැඩිපුර ගන්න එක හොඳ නෑ. මේ එන්නේ වෙද මහත්තය. අපි මේ ගැන අහමු. වෙද මහත්තයෝ අබිං කෑම අගුණයිද?”

“ඉස්කෝලේ මහත්තයෝ අබිං හොඳ බේතක් තමයි. ඒත් අබිං යොදන වෙලාවට වෙන බේත් වගේ නෙවෙයි. ඉතා අඩු මාත්‍රාවකින් යොදන්න ඕනෑ. ඒකට හේතුව අබිං කියන්නේ ආයුර්වේදයේ දැක්වෙන උපවිෂ කාණ්ඩයේ අඩංගු එක ද්‍රව්‍යයක්. ඒ නිසා අබිං ශෝධනය කරල තමයි ඖෂධ සදහා යොදන්න ඕනෑ.”

ඒ වගේම අබිං අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ ආඥා පනත යටතට ගැනෙන නිසා වෛද්‍යවරුන් සඳහා නිකුත් කරන්නේ බලපත්‍රයක් යටතේ ඉතා සීමිත ප්‍රමාණයක් .

ඒ වගේම රෝගවලට ප්‍රතිකාර කිරීම හැර කෑම සඳහා හෝ දුම්බීම සඳහා හෝ අන් කිසිම කාර්‍යයක් සඳහා අබිං සැපයීම කිසිම ලියාපදිංචි වෛද්‍යවරයකු විසින් නොකළ යුතුයි යන්න මේ බලපත්‍රයේ අදහස වෙනවා.”

“ඒ කියන්නේ වෙද මහත්තයෝ අබිං කියන්නේ විශේෂිත ඖෂධයක්”

“ඔව් ඉස්කෝලේ මහත්තයෝ අබිං බොහොම කල්පනාවෙන් යොදන්න ඕන ඖෂධයක්”

“එතකොට වෙද මහත්තයෝ අබිං කියන්නේ ගසකින් ගන්න දෙයක්ද”

“ඔව් Papaver siminiferum L  යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන පොපි ගසේ නොපැසුණ ගෙඩිවලින් ලබා ගන්නා කිරි හා සමාන නිර්‍යාසය තමයි අබිං කියන්නේ.”

මේ ගස් ඉන්දියාව. පර්සියාව තුර්කිය ඊජිප්තුව ආදි රටවල ප්‍රධාන වශයෙන් වැවෙනවා. ඒ වගේම ජර්මනිය ..ප්‍රංශය ..එංගලන්තය ආදි රටවලත් වැවෙනවා. එසේම තුර්කියේ වැවෙන වර්ගය ඉතා ශ්‍රේෂ්ඨයි..

ඒ වගේම අබිංවල සිංහල නම අබිං වන අතර සංස්කෘත භාෂාවෙන් අහිඵේන.. අඵේන.. නිඵේන.. එනිඵේන. .බසඵලක්ෂීර.. අඵුක.. ආඵුක ආදි නම් යෙදෙනවා .

හිංදි භාෂාවෙන් ආපීම් වන අතර

දෙමළ භාෂාවෙන් අබිනි සහ ගශගශා යන නම් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන් Opium සහ Raw Opium  නම් යෙදෙනවා

අබිං ගන්නා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Papaver sominiferum Linn

වන අතර කුලය වන්නේ

PAPAVERACEAE හෙවත් අහඵේන කුලයයි. එතකොට වෙද මහත්තයෝ අබිංවල ප්‍රභේද කීපයක් ම තියෙනවා කියල මම අහල තියෙනවා. ඔව්

ඇට වල පාට අනුව ප්‍රභේද 2ක් තියෙනවා

1 ඇට සුදු වර්ගය -Papaver album

2 ඇට කළු වර්ගය -Papaver nigrum
 

ඒ වගේම

මල්වල පාට අනුව ප්‍රභේද 3 ක් තියෙනවා

1 මල් කහ පාටට හුරු වර්ගය

2මල් රතු පාටට හුරු වර්ගය

3මල් කළු හෝ නිල් පාටට හුරු වර්ගය වශයෙන්

එසේම නිපදවන ප්‍රදේශ අනුව ප්‍රභේද 4 ක්

1තුර්කි වර්ගය

2 පර්සියන් වර්ගය

3 ඉන්දියානු වර්ගය

4 යුරෝපීය වර්ගය වශයෙන්

ඒ වගේම ඉන්දියාවේ අබිං ලැබෙන ප්‍රදේශ අනුව ප්‍රභේද 3 යි

1 පට්නා අබිං (බිහාර් ප්‍රදේශයේ නිපදවන )

2බෙනාරිස් අබිං (බරණැස සහිත ප්‍රාන්තයේ නිපදවන )

3 මල්වා අබිං (බටහිර ඉන්දියාවේ සහ රාජස්ථානයේ නිපදවන) වශයෙන් ප්‍රභේද කිහිප වර්ගයක් දක්වා තියෙනවා

“එතකොට වෙද මහත්තයෝ මේ අබිං හදාගන්නෙ කොහොමද?”

“පොපිගසේ නොපැසුණුු අමු ගෙඩි සවස් කාලයේ කඩාගෙන ඒ ගෙඩි සියුම් ශස්ත්‍රයකින් හතර අතට ඉරා ගත්තාම එයින් වෑස්සී මිදී තිබෙන කිරි හා සමාන නිර්‍යාසය (මැලියම්) උදෑසන ගළවා වියලා ගත්තාම අබිං කියල කියනවා. කිරි අබිං කියලත් මෙයට කියනවා. මේ අබිං මුලදි දුඹුරු පැහැ වන අතර ඉතා ඉක්මනින් ඒවා අඳුරු ( කළු) පාට වෙනවා

ඒ වගේම මේ අබිං තියුණු තික්ත රසකින් සහ අමිහිරි මත් ගදකින් යුතු වෙනවා

එතකොට වෙද මහත්තයෝ කෝමාරිකාවලින් ගන්න අබිං වර්ගයකුත් තියෙනවාද .

ඔව්. කෝමාරිකා ස්වරස (යුෂ )වලින් සකස් කරනු ලබන වර්ගයක් තියෙනවා තිත්ත අබිං යනුවෙන් හදුන්වන.”

“එතකොට වෙද මහත්තයෝ අබිං ගන්න පොපි ගසේ වෙනත් කොටසුත් ඖෂධ සදහා ගන්නවාද?”

ගෙඩියේ කිරි ප්‍රධානයි. ඊට අමතරව ඇට, මල් සහ කිරි ඉවත් කරගත් ගෙඩි ද (පෝස්තක) ඖෂධ සදහා ගනු ලබනවා

ඒ වගේම අබිං උපවිෂ කොටසට අයත් නිසා ඖෂධ සදහා යොදා ගැනීමට පෙර ශෝධනය කරගත යුතුයි.

ඒ සදහා

1 අමු ඉගුරු යුෂයෙන් සත් වරක් භාවනා දීම

2 අම ුඉගුරු යුෂයේ 21 වරක් බහා ගැනීම

3 අබිං කබලක දමා බැද ගැනීම

ආදි ක්‍රමවලින් එකක් භාවිත කරනවා”

“බලනකොට වෙද මහත්තයෝ අබිං අපිට හිතුමතේට බේත්වලට ගන්න බැහැනේ. ඒනිසා

අබිං වල ගුණාගුණ කොහොමද?”

“අබිං රසයෙන් කෂාය සහ තික්ත යි

ගුණයෙන් සූක්ෂම සහ රූක්ෂයි

වීර්‍යයෙන් උෂ්ණයි.

විපාකයෙන් කටුක යි

ප්‍රභාවයෙන් මදකාරකයි

ඒනිසා සෙම් සහ වාත දෝෂ සමනය ද පිත් කෝපයද ඇති කරනවා. එබැවින් සෙම් හා වාත රෝගවලට යොදා ගන්න පුළුවන්.

මෙහිදී අබිංවල වේදනා සමන සහ ඉදිමුම් නසන ගුණ ඇති නිසා සන්ධි ඉදිමුම්.. පෙනහලු ආවරණ ඉදිමුම් සහ ශාරීරික වෙනත් අංශවල ඉදිමුම්වලට තනිකර අබිං හෝ වෙනත් ද්‍රව්‍ය සමඟ සංයෝග කර හෝ ලේප වශයෙන් යොදනු ලබනවා. වේදනා සමන ගුණ ඇති නිසා කන් කැක්කුම් උදර වේදනා ..මුත්‍රාගල්..කටී වේදනා ආදියට ගුණයි. ඒ වගේම ආක්ෂේප නසන ගුණ සහිත නිසා අපස්මාර( මීමැස්මොර) අපතන්ත්‍රක ධනුස්තම්භ.සහ ගොඩ්කදුරු විෂ ආදියට යොදනු ලබනවා. ඒ වගේම අබිං ප්‍රයෝගය නිසා මූත්‍ර.දහඩිය සහ තනකිරි හැර අනෙකුත් ස්‍රාව අඩුකරනවා.

එසේම ලේවල සීනි ප්‍රමාණයත් අඩු කරනු ලබනවා. වාත සමන ගුණ සහිත නිසා අන්ත්‍රවල වේදනා අඩුකරනු ලබනවා උදර වේදනා ..ආමාශ ඉදිමුම්වලටත් හොඳයි.

එසේම කැස්ස.කක්කල් කැස්ස ..පෙණහලු ආබාධ ප්‍රතිශ්‍යාව ඇදුම ආදියටත් හොඳයි .

අබිං ස්නායු පද්ධතියේ හොදින් ක්‍රියාකාරී කරන නිසා ස්නායු ආබාධ හෘද වේදනා ආදියේදී විශේෂ ගුණ ගෙන දෙනවා එසේම මූත්‍ර වැඩිපුර පිටවීම පාලනය කරනු ලබනවා

ලිංගික දුබලතා සදහාත් හොඳයි. එසේම ගර්භාෂ දුබලතාවලටත් හොඳයි.

ඒ වගේම අබිං ඖෂධීය මාත්‍රාවෙන් දුන් විට මොළය..හෘදය .මුලින්ම උත්තේජනය කරනු ලබනවා

එසේම සමට සම්බන්ධ ලේ නහර පළල් කිරිමත් දහඩිය ග්‍රන්ථි උත්තේජනයට පත් කිරීමෙන් දහඩිය උපදවීමත් කරනු ලබනවා

මේ අයුරින් ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව ක්‍රියා කරනු ලබන අබිං සමහර රෝගවලට යෙදීම සුදුසු නොවේ.

එනම් පෙණහලු ඉදිමීම..මොළයේ ආවරණ කලවාවල ඉදිමීම උණ අධික මහන්සිය මූත්‍ර විෂමතා සහිත වකුගඩු රෝග ..මොළයෙන් ලේ ගැලීම ..වැනි රෝගවලදි අබිං ප්‍රයෝග නොකළ යුතුයි”

“වෙද මහත්තයෝ අබිං සහිත බෙහෙත් නිතර ගැනීම සුදුසු නැහැ නේද?”

ඔව් ඉස්කෝලේ මහත්තයෝ කුමන රෝගයකට හෝ සුළු මාත්‍රාවකින් වුවත් දීර්ඝකාලයක් නොකඩවා අබිං අඩංගු බේත් නොදිය යුතුයි.

එසේ අන්තරාකාර ද්‍රව්‍ය ආඥා පනතට අනුව අබිං හෝ අබිං මිශ්‍ර ඖෂධ නොකඩවා හය වේලකට වඩා නොයෙදිය යුතුයි.”

“මොනවද වෙද මහත්තයෝ අබිං අඩංගු ඖෂධ?”

1බුද්ධරාජ කල්කය

2 ප්‍රමේහ ගජකේශරී රසායනය

3ප්‍රමේහ ගජාංකුශ රසායනය

4රණහංස රසායනය

5අහිඵේනාසවය

6නිද්‍රොදය වටිය

7කර්පූර රසය

8අහිඵේන වටිකා

9අකාරකරභාදී වටී

10සෝමානන්ද වටී

11වේදනාත්මක රස

13දුග්ධ වටිය

14ශශීප්‍රභා වටී

15මුරුංගාදී අහිඵේන වටිකා

16කපිත්තාදී අහිඵේන වටිකා

17 අභයනෘසිංහ රසය

18 අබිං ගුලිය

19 ශම්බුනාථ රස

ආදි ඖෂධ රාශියක් තියෙනවා”

“එතකොට වෙද මහත්තයෝ අබිං විෂ වීමකදී මොනවාද කළ යුත්තේ ඒ වෙලාවට?” “වමනය කිරීම හෝ ආමාශය සෝදා හැරීම කළ යුතුයි. ඒ සදහා

1. ගස් පෙනෙල ගෙඩි පොඟවාගත් ජලය

2. අඹ කුඩු මිශ්‍ර උණු වතුර හෝ

3 පල්මානික්කම් රක්තිකා 10 ක් දියකර ගත් වතුර හෝ පොවා වමනය කරවිය යුතුයි .

ඒ වගේම ශ්වසන කේන්ද්‍රය උත්තේජනයට උණුසුම් කෝපි පානය හොඳයි. ඒ වගේම චන්ද්‍රෝදය මකරධ්වජය..කස්තුරි.. පෙරුම්කායම් ආදියෙන් එකක් මීපැණි මිශ්‍ර කර ලේහ කිරීමෙන් ද අබිං විෂ නැසෙනවා.

එසේම ශ්වසනය අපහසු නම් කෘතීම ශ්වසනය දිය යුතුයි .

ඉතින් ඉස්කෝලේ මහත්තයෝ අබිං කියන්නේ ඉතා වටිනා ඖෂධයක් වුණත් කල්පනාකාරීව නියමිත ප්‍රමාණය පමණක් ගැනීම වැදගත්.”

“ඔව් වෙද මහත්තයෝ මට ඒ ගැන හොඳට තේරුණා. ඔබතුමාට බොහෝම ස්තූතියි අපව දැනුවත් කළාට “ කියමින් තිදෙනා අබිං කතාව නිමා කළෝ්ය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.