ළිඳකට සුදුසු භූමිය තෝරන පැරණි ක්‍රම

පෙබරවාරි 14, 2020

ජලය මිනිසාට , සතා සිව්පාවාට පමණක් නොව ගස්වැල් වලටත් අත්‍යවශ්‍යම සම්පතකි. නියඟයට ජල උල්පත් සිඳී යන බොහෝ කාලවල හරියට බීමට වතුර පොදක් නැතිව බොහෝ ප්‍රදේශවල ජනයා දුක්විඳී. පූර්වාචාරීන් අතීතයේ එම ජල සම්පත් එකතුවන ළිද කැපීමට භූමිය තීරණය කළේ කූරු ගැසීමෙන් නොවේ.

ගොඩබිම වැටකෙයියා ගස් වැවේනම් එම තැන ජලය ඇත. ළිඳක් කැපීමට යෝග්‍ය භූමියකි.

කෙසෙල් ගස් ආශි‍්‍රතව පොළවේ ජලය ඇත. සරුවට වැඩෙන ගසක් තිබේනම් එම ගසේ කොළ යහමින් සෑදී අධික කොළ වර්ණයෙන් වැඩී තිබුණු දිශාවේ ජල උල්පත් ඇත. ඉතා ළඟින් ජලය ඇත.

සමහර කටු සහිත ගස්වල කටු නැති නම් එම ප්‍රදේශයේද ජල සම්පත් ඇත. නික ගසක් යට තුඹසක් බැඳ තිබේනම් ජල උල්පත් ඇති බව හඟවන ලකුණක් බව පැරණි වාස්තු විද්‍යා පොත්වල සඳහන්ය. රියන් 15 කින් ජලය ලැබෙන්නේ අත්තික්කා ගස ළඟ බෙලි ගසක් තිබේනම් පමණි.

ළිඳක් හාරන විට පළමුව තෙත පස්තට්ටුවක් ලැබේ නම් ඉතා කෙටි ගැඹුරකින්ම පිරිසුදු ජලය ලැබේ.

සමහරවිටක කලු ගලක් මතුවුවොත් එය මිහිරි නැවුම් ජල උල්පතකි. තවත් භූමියේ ජලය පෙන්වන්නේ කටුවැල් බටු ගසයි. එම බඩු ගසේ කටු නැතිනම් ජලය ඇත.

ළිඳක ජලය තිබේද (භූමියේ) කියා දැනගැනීමට ඉතා පැරැන්නන් භාවිත කළ සරල ක්‍රමයක් හඳුන්වා දෙන්නම්. මෙයට ගුරු, කටක රාශිගතව පුරපස කටක ලග්නය උදාවූ දිනක උදේ 6.10 පමණ වේලාවක් යොදාගන්න. මල්වර නොවුණු අවුරුදු දහයකට පහළ ගැහැනු ළමයෙකු නාවා පිරිසුදු කර සුදු පැහැති වස්ත්‍රයක් අන්දවා නැගෙනහිර දිශාවේ ජලය තිබෙන ළිඳකින් දැරිවිය ලවා වතුර කළයක් පුරවාගෙන දැරියගේ ඉනමත තබා එන්නට සලස්වා එම ළිඳ කැපීමට අදහස් කරන භූමියේ තමන් කැමති තැනක වතුර කලයේ ඇති වතුර වක්කරන්න කියන්න. කුකුලන් හඬලන්නට ප්‍රථම උදේ 6.06 පමණ මෙය කළ යුතුයි යන්න පූර්වාචාරීන්ගේ මතයයි. එම වේලාවට පමණ දැරිය ලවා වතුර කලය පුරවාගැනීම කළයුතුයි. එම ජලය විසිරුනු ස්ථානයෙහි ජල සම්පත් නොවරදින බව ඉතා පැරණි ක්‍රමයකි.

තවද හොඳින් සරුවට වැවුනු ගසේ එක් දිශාවක හොඳින් කොළ සරුවට වැවුණු අතු ඇති පැත්තේ ළඳක් කපන්න. ජලය ලැබේ. නියඟයටත් ජලය නොබසින ළිඳකි.

මදටිය ගසක් ළඟ දකුණු පැත්තේ ඊතණ, කුසතණ පඳුරු ඉබෙබ් වැවී තිබේනම් එතන ජලය ඇත.

අත්තික්කා ගස අසල ජල උල්පත් තිබේ. නියඟයටවත් නොසිඳෙන පිරිසුදු ජලය ඇත.

ඔබ තෝරාගත් භූමියේ තනිපාට බල්ලෙක් ( බැල්ලියක් නොවේ) ඉඩමට ඇවිත් පස් හාරා ඉවකර බලයි නම් එම ස්ථානයෙහි ළිඳ කපන්න ජලය ලැබේ.

කටු නැති උගුරැස්ස ගහක් වැවෙන භූමියේ ජලය ඇත. පිරිසුදු ජලය ඇත. භූමියේ තරමක කබොක් බොරළු පසක් තිබේ නම් කිසිදිනක ළිඳේ ඉවුරු කැඩීමක් සිදු නොවේ.

ඔබ ළිඳ තැනීමට සැලසුම් කල භූමියේ සුදු කොකුන් නිතර ගැවසේ නම් එම භූමියේද ජලය ඇත. වාසනාවන්ත භූමියකි. නිවසක් සාදා පදිංචි වීමටද සුබවේ. ධන ධාන්‍ය, වතුපිටි, වාහන ලැබේ.

ඔළිඳ වැල් තිබෙන භූමියද ළිං කැපීමට සුබ යැයි පූර්වාචාරින් සඳහන් කර ඇත.

කිරි මැටි පසෙහි කපන ළිඳ හේතුවෙන් නිවැසියන්ට නිතර රෝග පීඩා සෑදේ

හබරල ගාලක් වැවී තිබෙන භූමියෙහි ළිඳ කැපීම සුදුසුවේ. නිවසට කොන් හසු නොවන සේ කපන ළිද නිවැසියන්ට යහපත ගෙන දේ.

කහ , රුක්අත්තන වැල දුවන ලොකු කහපාට මල් වැල් වැවෙන භූමියද යහපත්වේ. ළිං කැපීමෙන් ජලය ලැබේ. වැටකෙයියා පඳුරු පිටින් වැවෙන භූමිය ළිං කැපීමට ඉතා සුබ භූමියකි.

මූණමල් ගස් වැවෙන භූමියද ළිං කැපීමට සුදුසු බව පූර්වාචරීන් වාස්තු විද්‍යා පොත්වල සඳහන් කර ඇත.

බෝගස්,බෙලිගස්, වැවුණු භූමියද ළිං කැපීමට යහපත් වේ. බෝගස් වැවුණු භුමිය ළිං කැපීමට සුදුසු නැත යන මතයක්ද තිබේ.

කෙසේ වෙතත් කිසිදු කරදරයක් නැතුව මෙම ආත්මයේ ජල සම්පත් උදාවන්නේ පෙර ආත්මවල සතා සිව්පාවන්ට, ජල පිපාසිතව පීඬා විඳින අයට ජලය දුන් පිනෙන් බව සත්‍යයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.