2021 නව වසර ආරම්භයේ ග්‍රහ පෙළගැස්මෙන් අපට ලැබෙන විශ්ව පණිවුඩයට අනුගත වෙමු

ජනවාරි 1, 2021

ක්‍රි.ව 2021 නව වසර දැනට ලෝක ව්‍යවහාර ජූලියන් කැලැන්ඩරය අනුව 2020 දෙසැම්බර් මස 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු ආරම්භ වේ. එහෙත් නව දිනයක් උදාවනුයේ හිරු උදාවත් සමඟය.

ශ්‍රී ලංකාවට පළමුව හිරු උදාවනුයේ නැගෙනහිර වෙරළ තීරයටය. අග නගරයට හිරු උදාවනුයේ පෙරවරු 06:22 ටය. හිරු ක්ෂිතිජයෙන් උඩට මතු වන විට ධනු රවි 16 භාග ගෙවා 17 භාගයට පැමිණෙමින්, ධනු ලග්නයේ කන්‍යා නවාංශකය කිවි දිනය, පුෂ නැකත, උඳුවප් මස අව දියවක තිථිය, වෛධෘති යෝගය, ගර කරණය, කිවි හෝරාවේ කිවි පංචමය උදාව ඇත.

ඕනෑම වසරක ජනවාරි 01 වැනි දිනය ධනු රවියෙන් ආරම්භ වීම සිද්ධාන්තයනට අනුව සිදුවුව ද සෑම වසරකම තත්කාල ග්‍රහචාරය හා පංචාංග වෙනස් වේ. ඒ අනුව මේ වසර ආරම්භය ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව අපට බලපාන ආකාරය විග්‍රහ කළ හැකිය. ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නියම වසර, බක්මස සිදුවන සූර්ය සංක්‍රාන්තියෙන් ඇරඹෙන වර්ෂය බව අප කවුරුත් දන්නා කරුණකි. එහිදී සිදුවන විශ්වශක්තියේ වෙනස්වීම ඊළඟ වසරේ සූර්ය සංක්‍රාන්තිය දක්වා බලපැවැත්වෙනු ඇත. මෙම ලෝක ව්‍යවහාර, ජූලියන් කැලැන්ඩර් නව වසර, එලෙසම විග්‍රහ කළ නොහැකිය. එසේ වුවද එවෙලෙහි පැවති තත්කාල ග්‍රහචාරය පදනම් කරගෙන ඉදිරි වසර සඳහා අප මුහුණදිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳ අදහසක් ලබාගත හැකිවේ. ඒවාගේම ඉදිරි කාලය තුළ පෙළගැසෙන ග්‍රහ ගමන් රටාව පිළිබඳව ද විමසිලිමත් විය යුතුය.

පංච මහා භූත ගුණ විශ්වය පුරා පැතිර පවත්නා සියලු ජීවි අජීවි වස්තු කෙරෙහි මූලික වන බව අප පිළිගනිමු. හිරු මූලිකව ඇති සෞරග්‍රහ මණ්ඩලය තුළ එක් කොටසක් වන පෘථිවි තලය තුළ සිදුවන පාරිසරික හා ජෛව විපර්යාසයනට නවග්‍රහයින්ගෙන් සිදුවන බලපෑම නොපිළිගන්නා “තද භෞතික මතධාරීන්” ට නම් මේ ශාස්ත්‍රය මිථ්‍යාවකි. එහෙත් නවීන ලෝකයේත් දැන් එවැනි “පාරභෞතික විද්‍යාවන්” පිළිබඳ විමර්ශන සිදු කෙරෙන අවදියක එවැනි අතළොස්සක් දෙනාගේ අදහස් එතරම් ගණන් නොගෙන බැහැර කළ යුතුය. ගෙවුණු වසර තුළ ලෝකය මුහුණ දුන් විපත් හමුවේ පරිසරය හා පාරම්පරික දැනුම කෙරෙහි මිනිස් ප්‍රජාවගේ ඇති වී තිබෙන උනන්දුව මඟින් ඔවුන් නව පුනර්ජීවනයක් ලබමින් සිටින බව නම් පිළිගත යුතුව තිබේ.

ගණිතයෙන් හා භාෂාවකින් භෞතික මෙන්ම අභෞතික ලෝකයම විග්‍රහ කළ හැකිවා සේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ද

බොහෝ දේ විග්‍රහ කළ හැකිය. එයට අප මේ ශාස්ත්‍රයේදී කාරකත්‍වය යැයි පවසමු. එය පදනම් කරගෙන මේ වසර ආරම්භයේ අහස්කුස තුළ පවතින ග්‍රහචාරය පිළිබඳ විග්‍රයක යෙදෙමු. උසස් අරමුණු පෙරදැරි කරගෙන මේ වසර ඇරඹීමට අප කවුරුත් සිතට ගත යුතුය. එහිදී ආත්මය නිවේදිත රවි හා බුද්ධියට හිතැති බුධ ග්‍රහයාගේ සම්බන්‍ධයෙන් වසරේ උදා ලග්නය සමන්විත වේ. එම යෝග බලය “ධර්ම කර්මාධිපති” නම් යහපත් ඵල උදා කරන යෝගයකි.

එනිසා අපට ලැබෙන විශ්වීය පණිවිඩය නම්, සත්ගුණවත් බව හා ධර්මයට අනුව අපගේ ජීවන රටාව ගතකළ යුතු බවයි. අන් සත්‍වයිනට නොවන සුවිශේෂී ලක්‍ෂණයක් මනුෂ්‍යයින් වන අප සතු වේ. ඒ සිතීමේ නිදහස හා තාර්කික බුද්ධියයි. එමඟින් මෙහෙයවන මිනිස් මනස, සොබාදහමට අනුගත නොවන ගතිය විදහාපාමින්, “ජීවකාරක” හෙවත් ගුරු ග්‍රහයා තැන්පත්ව සිටිනුයේ තමාට “නීචභවන” වූ මකර රාශියේය. එතැනට අධිපති වූ “කර්ම කාරක” ශනි එහි

බලවත් ව සිටීම මනුෂ්‍යාගේ දැඩි ලෞකික නැඹුරුතාවය දක්වයි. අප්‍රේල් මස මුල් සතිය වන තුරු අප කවුරුත් අපගේ ප්‍රතිපත්ති ආකල්ප කෙරෙහි වැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුය.

මනුෂ්‍ය කම් පසෙකළා එකෙකු පාගා නැඟී සිටීමට වෙර දැරීම වැනි ක්‍රියාවනට පෙලැඹීමට ඉඩ තිබේ. එය තව තවත් අප වෙසෙන මේ ලෝකය අගාධයකට ඇද දැමීමක් හා සමානය. ඒ වෙනුවට අතීතයෙන් පාඩම් උගෙනගෙන, ඉදිරිය කාලය සැලසුම් කිරීමට වෙහෙස මහන්සි වන්නේ නම් යහපත්ය. “චිත්ත කාරක” සඳු ග්‍රහයා කටක රාශියේ පුෂ නැකතේ ගෝචර වෙමින් ඇරඹෙන වසර, අප අපේ මානසික සෞඛ්‍ය මෙන්ම ශාරිරික සෞඛ්‍ය පුරුදු කෙරෙහි පෙරට වඩා යොමුවිය යුතු බව හඟවයි. ශනි, ගුරු, ශුක්‍ර හා කුජ යන ග්‍රහයින්ගේ දෘෂ්ටියට ලක්වන සඳු රසාඥතාවට බර ගතියක් ඇති කරයි. එය ලෙඩදුක්වලට අතවැනීමකි. එනිසා ආහාර රටාව හා පෝෂණය ගැන අප තුළ පවතින ආකල්පමය වෙනස් කම් නිවැරදි මාවතකට යොමුවීම වැදගත්ය.

තත්කාල ලග්නයේ පස්වැනිභාවය තුළ තැන්පත් “යන්ත්‍ර සූත්‍ර හා බලශක්තියට” කාරක “කුජ ග්‍රහයාත්” සමාජමය විප්ලවීය වෙනස්කම්වලට බලපාන “යුරේනස්” ග්‍රහයාගේත් ඒකරාශීවීම, නවීන තාක්‍ෂණමය සොයාගැනීම්වලට මිනිස් මොළය පෙලැඹීමට සමත් වේ. එනිසා අපි කවුරුත් ඒ සිදුකරන, නව සොයාගැනීම් මානවයාගේ හිත සුව පිණිස සිදුකිරීමට සිතාගත යුතූය. නැතිනම් ලෝකයම මහ විනාශයකට ඇද දැමීමට එයම හේතුවක් වනු ඇත.

ලෞකිකත්‍වයට හිස නමන, ආදරය, විවාහය, ලිංගිකත්‍වයට කාරකත්‍වය දරන සිකුරු ග්‍රහයා, කුජට අයත් වෘශ්චික රැසෙහි කුජගේ දෘෂ්ටිය ලබමින් දොළොස්වන භාවයේය. එය මනුෂ්‍යයා රසකාමීත්‍වයට බර කරයි. එහෙත් “මෝක්‍ෂකාරක” කේතුගේ එකතු වීම එම කටයුතුවලට බාධා මතු කරයි. එනිසා සමාජයට හිතකර විනෝදාස්වාදය හා දියුණුව අපේ ජීවිතවලට ළඟාකර ගත යුතු බව අපට ලබාදෙන විශ්වීය පණිඩියකි.

හයවැනි ශතෘ හා රෝග ස්ථානයේ රාහු බලවත්ව සිටි. එය අභියෝගවලට මුහුණදීමේ ශක්තිය පෙන්වයි. නීච ගුරු හා ශුක්‍රගේ දැකීමට ලක්වේ. මේ වසරේ අප හමුවේ ඇති බාධක ජය ගැනීමේ ශක්තිය, අප්‍රතිහත ධෛර්යය නොකඩවා පවත්වාගැනීම ඉතා වැදගත්. වැටෙන හැම විටම පෙරට වඩා වැඩි වේගයකින් නැඟී සිටීමට ක්‍රියා කිරීමට සිතට ගත යුතු වේ.

මෙලෙස “අහස් කුසෙහි” දැක්වෙන ග්‍රහ ගමනින් වැදගත් වීශ්වීය පණිවිඩයක් කියා පාන අතර, එය තේරුම් ගැනීම සඳහා ජ්‍යොතිෂ ශාස්ත්‍රීය කාරණා පිළිබඳ ඔබගේ දැනුම පුළුල් කරගතයුතු වේ. එවිට විය හැකි විපත්ති කල්තියා දැනගෙන ඒවා මඟහරවා ගැනීමටත් යහපත් දේ ඉස්මතු කරගෙන, ඉදිරි වසරේ අපගේ කටයුතු සාර්ථක කර ගැනීමටත් හැකියාව ලැබෙනු නො අනුමානය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.