වාස්තු පරීක්ෂණයකින් ගොඩ යමු

පෙබරවාරි 3, 2023

ඡ්‍යෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාව අතිශයින්ම විද්‍යාත්මක වූ ක්‍රමවේදයන් හා ගණිත රටා මත පදනම් වූ විද්‍යාවන් වන අතර ගුප්ත ශාස්ත්‍රයක් නොවේ. එහි සැඟවී ඇති කිසිදු ක්‍රමවේදයක් නැත. ඉතා පැහැදිලි හේතුඵල සම්බන්ධතාවයක් දක්නට ලැබෙන්නකි.

 

වර්තමානයේ අපට දක්නට ලැබෙන සීගිරිය උඩට ජලය ගෙනයන්ට පවා උදව් වූයේද මේ වාස්තු හා ඡ්‍යොතිෂය උපයෝගි කරගෙනය. රාවණා යුගයේ සිටම ලංකාවේ නිවාස ගොඩනැඟිලි පමණක් නොව වැව්,පොකුණු, උයන් ආදියද නිර්මාණය කිරීමේදී ප්‍රථමයෙන්ම වාස්තු විද්‍යාව උපයෝගි කරගත් බව ඉතා පැහැදිලිය.

මනුෂ්‍යයා ඇතිවන්නේද පොළොවෙනි. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, සංඝටක තුළිනි. මළ පසු යන්නේද මේ මහ පොළොවටයි. එනම් මේ පොළෝ පෘෂ්ඨය මත සාදා පදිංචි වන නිවස හා එම දොර ජනෙල් හා ඉඩම කෙරෙහි වාස්තු අනුව සකස්කර ඇත්ද ඔබටම අර්ථ ගන්වා තිබිය යුතුමය.

 

සමතුලිතතාවය

වාස්තු ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නේ සමතුලිතතාවයයි. ඔබේ නිවස, දොර, ජනෙල්, වහල, උළුවස්ස සකස්කර ඇත්තේ වාස්තුවට අනුවද නොඑසේ නම් ඉන් පලදීමක් නොලබන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

දැනටමත් ඔබ ඉඩමක් තෝරාගෙන නිවසක් තනා ඇත්නම් ඒ ගැන වාස්තුවට අනුවම ප්‍රකාශ වන්නේ 80%ක ප්‍රමාණය පමණි. කුමක් හෙයින්ද යත් සාමාන්‍ය දෝෂයක් නම් එය නිවැරදි කිරීමේදී වැඩි වියදමක් දැරීමට සිදුවන නිසාය. සමහර විට අභිනවයෙන් නිවසක් තැනීමට යන්නේ නම් පූර්ණ වාස්තු නීතිය අනුව නිම කිරීමට හැකිවේ යැයි සිතනවා. වාස්තු පරික්ෂාවට ප්‍රථමයෙන් ඔබ නිවැරැදි වාස්තු ශිල්පියා තෝරා ගත යුතු වනවා. එසේ නිවැරැදි වාස්තු ශිල්පියා තෝරා ගන්නේ කෙසේද? ඒක විශාල ප්‍රශ්නයක්. වාස්තු ශිල්පියා ප්‍රකාශ කරන දේ නිවැරැදි බව ඔබටත් පැහැදිලිව වැටහෙනවා නම් ඔහු හෝ ඇය නිවැරැදි වනවා.

 

භූමියක් තෝරාගැනීම

ඔබ නව නිවෙසක් තැනීමට අදහස් කරනවා යයි සිතමු. ඔබ විවාහක නම් ඔබේ දයාබර භාර්යාවට බබෙක් ලැබෙන්න ආසන්න නම්, ඒ බබා, ලැබුණට පසු ආරම්භ කරන්න. කරදර දෙකක්, වියදම් දෙකක් එකවර කරගන්න එපා. ප්‍රථමයෙන් ඔබ සුදුසු භූමියක් තෝරාගත යුතු වනවා. භූමි වර්ග 16 වනවා. ඉන් ඍජුකෝණාස්‍ර හෝ සමතුලිත භූමිය ජය භූමි වර්ගයකට නම් කරනවා. රවුම් භූමියද එනම් වෘත්ත භූමියයි. එයත් හොඳයි. වක්‍ර භූමි, දණ්ඩ භූමි, පොරෝ තලයට අනුව ඇති ව්‍යාජන භූමි, විෂම භූමි තෝරා නොගත යුතු වනවා. මෙම ඉඩමේ පස් පරික්ෂාවේදී එම පස් කළුපාට හෝ ලේපාට නම් ඒ ඉඩම සුදුසු නැහැ. බොරලු කැට සහිත ඉඩම සාමාන්‍යයි. මැටි වැලි හොඳින් මිශි‍්‍රත භූමිය නිවාස තැනීමට ඉතා හොඳයි. සාමාන්‍යයෙන් කහ පැහැවී පස් ඇති භූමිය ආගමික ස්ථාන සඳහා සුදුසු වෙයි. නිවාස තැනීමේදී සැලැස්ම වශයෙන් කොටස් 10ක් ඇත. එනම් භද්‍ර්‍යාසන, කුර්ම පෘෂ්ඨ, කුම්භකාර, සිංහාකර, ශිඛකාර, ජලතලකාර, වරහාකාර, ගංගාධාර, කුර්වාකාර සහ චතුර කෝණ වෙනවා. ඉන් සිව්දිගට තද බෑවුමක් සහිත භද්‍රාසන එක් පැත්තකට මදක් උසින් පිහිටි සිංහාකාර ජලතලාවක් සේ ජලතලාකාර හා දෙවියන්ගේ ආශිර්වාදයට ලක්වන ගංගාධාර භූමි ඉතා අගනේය. මෙම ඉඩම් දකුණ, නැඟෙනහිර, නිරිත, වයඹ දිශාවන් උස්ව පැවැත්ම සුබයි. යම් භූමියක නැඟෙනහිර, ගිනිකොන හා ඊසාන උස්ව පිහිටියේ නම් හෝ බස්නාහිර පහත්ව පිහිටියේ නම් එම ඉඩම හැම අතින්ම පිරිහෙන්නේය. ඒ අතරම නාග පෘෂ්ඨ උතුර– දකුණ දිශා දෙක උස්ව පිහිටියේ නම් සතුරු භය ඇතිවී පුත්‍ර හානිය ඇති කරන බව පොත්වල සඳහන් වේ.

තවද දකුණ, බස්නාහිර, නිරිත, වයඹ වැනි දිශාවන් උස්ව තිබීමත් යහපත් වන්නේය. එය මෙසේ සඳහන් වේ. ගජ පෘෂ්ඨ භවේද් වාසම්, ලක්ෂ්මි ධන පුරිතං – ආයු වෛධීකරී නිත්‍යං –ජායතේ නානු සංඝයං

 

වාස්තු දෝෂ

කෙසේ හෝ ඉඩමේ නිවසක් හැදුවා කියමුකෝ. එසේනම් එහි පදිංචියේදී වාස්තු දෝෂ ඇත්නම් එය නිවැරැදි කර ගැනීම තමයි දැන් කළ යුතුව ඇත්තේ. අපි එය හදාගන්නේ නිදහසේ නීරෝගිව, අසල්වාසීන් සමඟ සතුටින් මුදල් ඇතිව ජීවත් වන්නනේ. මෙන්න මේ පුංචි පුංචි වාස්තු දෝෂ හදාගන්නකෝ.

ඔබේ ගෙදර උපයන මුදලට වඩා වියදම් වන මුදල වැඩිද බලන්න. ඔබේ ගෙදර ප්‍රධාන උළුවස්ස පළලට වඩා දිගින් පළලින් වැඩි වෙනත් උළුවහු දොරවල් ඒ නිවෙසේ තිබෙනවද කියලා. අනික එම ප්‍රධාන දොරින් එන හිරු එළිය, වාතය ළඟම තිබෙන ජනේලයකින් හෝ පසුපස දොරින් එළියට යනවද, ඒක තමයි වරද. ඒක වසාගන්න. ඊළඟ කාරණාව ඔබට ලැබෙන මුදල් රැඳෙන්න නැද්ද? එක් එක් දේවල්වලට වියදම් යනවාද? අන්තිමේදී බලනකොට කරපු දෙයක් නැහැ. අතේ මුදලුත් නැහැ. එහෙනම් බලන්න ඔබ මුදල් තබන අල්මාරිය හෝ කබඩ්එක බස්නාහිර පැත්තට නොවේද තිබෙන්නෙ කියලා. නැත්නම් හරවන්න. බස්නාහිර කිව්වේ ඕනෑම දෙයක් ගබඩා කරන පැත්ත. අනික ඔබ නිවෙසෙන් පිටට යන වේලාවක තරහ යනවාද? මගදි කරදර වනවාද? බලන්න ඔබ පිටවන්නෙ ගිනිකොන හෝ දකුණද කියලා. වාස්තු කියන්නෙ හදාගන්න පුළුවන් දෝෂ. ඔබ වාස්තු දන්නවානම්.

 

උළුවස්ස

දවසක් මට ආරාධනාවක් ලැබුණා ගෙදරක වාස්තු පරික්ෂා කරන්න. නියමිත දිනයට ඒ නිවෙසට ගියේ ඒ නිවෙසෙහි වාස්තු පරික්ෂා කරන්න, විතරයි. නමුත් ගෙදරට ගිය හැටියේ මා දුටු දෙයකින් ටිකක් කලකිරුණා. මට ඇහෙනෙවා කවුද මේ ගෙදර සුවනොවන ලෙඩෙක් ඉන්නෙ කියලා. එවිට ගෙදර සිටි දුවක් කිව්වා. ඒ අපේ අම්මා තමයි මහත්තයා. එයා ඒ දවස්වල හොඳින් හිටියා. මේ ගෙදරට ඇවිල්ලා ටික දවසින් තමයි මේ රෝගය හැඳුනේ කිව්වා. හැම මසකම අවසාන සිකුරාදා දිනයට සායනයට යනව කියනවා. ඒත් සමහර දවසට සායනයට යන්නෙ නැහැ. එදාට හොඳයි කියා කිව්වා. එතකොට මම කිව්වා නැවත සායනයට යන්න වෙන්න ඕනෑ නැහැ. අර ප්‍රධාන උළුවස්සේ තිබෙන කම්බි ඇණ දෙක ගලවන්න කියලා ඊට මාස 4කට පස්සේ කිව්වා. දැන් අම්මට සනීපයි කියලා. වාස්තු කියන්නේ දේව ශාස්ත්‍රයක්.

 

දේව ශාස්ත්‍රය

ඔබේ ගෙදරත් සුව නොවන රෝගියෙක් ඉන්නවා නම් බලන්න ප්‍රධාන උළුවස්ස පුපුරලාද නැත්නම් කම්බි ඇණ ගහලද කියලා. තවදුරටත් බලන්න කෑලි ඇමිණූ එකක්ද කියලා. වටිනාකමින් වැඩක් නැහැ. ඒවා හදාගන්න.

මේ වාස්තු කිව්වේ ඔබව ආරක්ෂා කරන දියුණු කරන දේව ශාස්ත්‍රයක්. තවත් ගොඩක් අය කරන ලොකු වරදක් තමයි දෙවියන්ගේ බැල්ම වැටෙන්න කියලා ප්‍රධාන උළුවස්ස ඉදිරියෙන්ම මල්පැලය හිටවනවා. මල්පැලය කිව්වේ දෙවියන් අදහන තැන. ගොඩක් අහන තවත් දෙයක් තමයි ඒ මල්පැලේ පහන් දල්වන්න ඕනෙ දවල්ටද, රාත්‍රියටද කියලා. මේ මල්පැලේ තිබෙන්නෙ ප්‍රධාන උළුවස්සට ඉදිරියෙන් නම් පහන් දල්වන්න කලින් ගලවලා වෙනත් තැනක රඳවන්න. ඒක නොකළොත් නැති කරදර ඒවි. තිබෙන වාසනාවත් නැති වේවි. සමහර ගැහැනු උදවිය මේක කරන්නෙ දේව වරම් ගන්න තමයි. මේ දිශාව නොකැඩුවොත් තිබෙන වරමත් නැතිවේවි. පැත්තෙන් සිටවලා අල්පේශාක්‍ය දෙවියන්ට නම් රාත්‍රි 10ට පසුව මහේශාක්‍ය දෙවියන්ට නම් දවසේ ඕනෑම වේලාවක පහන් දල්වන්න. හැබැයි බුදුන් ශ්‍රේෂ්ඨ බව හිතන්න.

ප්‍රධාන දොරටුව කිව්වේ. ප්‍රධාන ජීවතුන් අතර සිටිනා ගෘහමූලික, කුස්සියේ දොර, අම්මා, ජනෙල් දරුවෝ ඔබට දරුවෝ නැති නම් හෝ අඩුනම් සංගමය නොබිදෙන්න ජනේල වැඩිකර වැඩිපුර හිඟුරල අල පොල් සමඟ කන්න. ඔබේ ගෙදරට හිරු රැස් වැටීම අත්‍යවශ්‍ය බව සලකන්න. ඕනෑම නිවසකට හිරු රැස් හතර පැත්තකින් වදිනවා. සාමාන්‍යයෙන් අලුත හදන ගෙවල්වලට වදින්නෙ දෙපැත්තකින් විතරයි. ඡ්‍යෝතිෂයට අනුව පෙරදිගින් වදින කිරණ, අපරදිගින් වදින හිරු කිරණ, අජටාකාසයෙන් වැටෙන කිරණ හා මුදුන් අහසෙන් වදින බලවත් කිරණ වෙනවා. මේ සිවු කිරණවලින් පෙරදිගින් වැටෙන කිරණ වැඩියෙන් නිවසට වැදීමට සැලැස්සීමෙන් ගෙදර ඇති රෝගි තත්ත්වය නැතිව යනවා. ගෙදර අය පක්ෂය වැඩිවනවා. කොහොමද ඒක කරගන්නේ නිවසේ නැඟෙනහිර බිත්තියෙන් කවුලු කීපයක් තැබීමෙන් ඒක කරගත හැකියි. මුදුන් ආකාශයෙන් වැටෙන හිරු කිරණ නිවස අඳුරෙන් මුදවාවි. අපරදිගින් වැටෙන හිරු කිරණ එච්චර ඕන නැහැ.

 

පාද බෙදීම

නිවසක මූලික පාද බෙදීමට අමතරව පාද බෙදීමක් කරනවා. ඒ කාලේ නම් වඩුරියන පාවිච්චි කළා. වඩුරියනට අඟල් 18යි. දැන් ඒවා කරන්න මිනිස්සු දන්නෙවත් නැහැ. නිවසකට ප්‍රධාන දොරටුව තබන්න ඕනෑ නැඟෙනහිර සිට 1/9ක දුරින්. වඩුරියන අඟල් 31 කියල තමයි සමහර බාස්ලා ගන්නෙ. නමුත් 31 = 3 +1 =4 නිසා 32 හොඳයි කියලා මම කියනවා. හැම දේම ඔත්තෙ ගණන් තමයි හොඳ. ගෙදරින් පිටවන ප්‍රධාන දොර මැනලා. සුබ පාදයකට තබන්න උත්සාහ ගන්න. ඒ පාද මෙසේ විග්‍රහ කරනවා. සිකුරට අයිති නන්දා පාදය – බුධට අයිති භද්‍රා පාදය – අඟහරුට අයිති ජයා පාදය හා ශනිට අයිති රික්තා පාදය හා ගුරුට අයිති පූර්ණා පාදය. මින් භද්‍රා හා රික්තා පාද නරකයි. එක අඟලක් 5ට බෙදාගත්තාම මේ පාද හැදෙනවා. ළිං කපන කොට රික්තා පාදයට අනුව හොඳයි.

 

වෘක්ෂවේධ දෝෂය

ඔබේ ප්‍රධාන දොර උදේට අරින කොට ඔබ දකින්නෙ ලොකු ගහක් නම් ඒක වෘක්ෂවේධ දෝෂය නරකයි. මෙවැනි ඒවා වලින් වළකින්න. වැදගත්ම කාරණයක් තමයි ඕනෑම ගෙදරක මරු කතිරය හා මරු සුලම කිසිසේත් මේ ස්ථාන විවෘතව තබන්න එපා. මරු සුලම හරහා යටලීයට ගියානම් දැනට ඉන්න ගෘහ මූලිකගේ මරණය වන්නත් බැරි නැහැ. අනික හිතුමතේට දොර ජනේල ගණන අඩු වැඩි කරන්න එපා. මේ කිසිත් ගැන ඔබට වැටහීම අඩු නම් ඊසාන දිශාවට මුහුණලා ඕනෑම දෙයක් කරන්න. ඊසාන දිශාව කිව්වේ මරු නැති බ්‍රහස්පතිට අයිති දිශාව.

 

රාහු කාලය

තව විශාල වරදක් තමයි දවසේ රාහු කාලය ඔබ අතහරින එක. ලිතේ තිබෙන රාහු කාලයම පමණක් අතහරින්න එපා. දිස්ත්‍රික්කයට අනුව සූර්ය උදාවට අනුව ගණන් හදා ගෙන රාහු කාලය අතහරින්න. උදාහරණයක් වශයෙන් කොළඹට නියමිත දිනයේ සූර්ය උදාවෙන් මිනිත්තු 10 තත්පර 32ක් අඩුකර සුබ වෙලාව අරගෙන සුබ දිශාව බලා යහපත් ක්‍රියාව කරන්න. ඔබට නොසිතූ ජය සිදුවීම් සිදුවේවි. වාස්තුකරණය පරිදි ජීවත් වී ජය ලබන්න.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.