පලාපල කථනයේ දීවැදගත් වන ග්‍රහකාරක තත්ත්වය

ජුනි 7, 2019

සේවා දායකයා විසින් විමසන කරුණු කාරණාවලදී බොහෝ ඡ්‍යොතීර්වේදීන් සැලකිල්ලට ගනු ලබන්නේ ජන්ම කේන්ද්‍රයේ අටවැන්නාධිපති, චන්ද්‍ර කේන්දරයේ අටවැන්නාධිපති මෙන්ම බොහෝ දෙනා සඳහන් කරන 22 වැනි දෙර්කානයට හෝ අංශක 64 වැනි නවාංශකයට අයත් ග්‍රහයා පිළිබඳ තොරතුරු දැක්වීමට ය.

ඉහත කී කරුණුවල සම්බන්ධතාවය සාවද්‍ය නොවන නමුදු අපේක්ෂිත තොරතුරු සම්පූර්ණ වන්නේ නැත. පැරණි දෛවඥයන් අනුගමනය කරන ලද්දේ අදාළ කාරණයට සම්බන්ධ කාරක ග්‍රහයන්ගේ බලදුබලතාවයයි. අදාළ භාවය මෙන්ම ග්‍රහයා නියෝජනය කරන නැකත සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමෙන් තවදුරටත් සියුම් විස්තර හෙළි වේ.

කුඩා දරුවකුගේ කේන්දරයක් ඉදිරිපත් කර ඉගෙනීම් කටයුතු සම්බන්ධ තොරතුරු බලාපොරොත්තු වන්නේ නම් විද්‍යාකාරක ග්‍රහයන් වන බුද හා ගුරු ග්‍රහයන්ගේ තත්ත්වයද කේන්දරයේ පස්වැන්න හා නවවැන්න අධිපති ග්‍රහයන් නියෝජනය කරන නැකත් හා එම භාවයන්ට ලැබෙන සුබ අසුබ දෘෂ්ටි පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. ඇතැම්විට චන්ද්‍ර කේන්දරය විමසා බැලීමට ද සිදුවිය හැකි ය. පස්වැන්නේ පිහිටි ග්‍රහයා බාධක ස්ථානයක අධිපතිවීම හෝ 22 වැනි දෙර්කානයට අයත් ග්‍රහයකුගේ නැකතක පිහිටීමෙන් ඉගෙනීම් කටයුතුවලට බාධා පසුබෑම් ඇතිවිය හැකි ය. ඒරාෂ්ටක කාලයක් ද ඊට සම්බන්ධ වන්නේ නම් ශාන්තිකර්මයක පිහිට ලබාගත යුතු ය.

රැකියාව සම්බන්ධ ඉගෙනුම හෝ පුහුණුව පිළිබඳව දහවැන්නෙන් පස්වැන්න හෙවත් කේන්දරයේ දෙවැන්න, එහි අධිපතියා මෙන්ම ඊට ලැබෙන සුබ අසුබ ග්‍රහ දෘෂ්ටි පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය.

විවාහ කාරක සිකුරු ග්‍රහයාගේ මෙන්ම කේන්දරයක සත්වැන්න අධිපති ග්‍රහයාගේ තත්ත්වය විමසීමෙන් විවාහ කටයුතු පිළිබඳ තොරතුරු දැනගත හැකි ය. එහිදී ද සත්වැන්න අධිපති නියෝජනය කරන නැකත මෙන්ම ග්‍රහයා තැන්පත් වූ නවාංශකය ද, නවාංශක කේන්දරයේ සත්වැන්න (අංශක 55 වැනි නවාංශක අධිපති) ග්‍රහයා රාශි කේන්දරයට ආදේශ කිරීමෙන් ද තවදුරටත් සියුම් විස්තර දැනගත හැකි ය. එසේම සත්වැන්න අධිපති ග්‍රහයා නවාංශකයේ පිහිටීම අනුව සහකරු / සහකාරියගේ ගති පැවැතුම් දැන ගැනීමට දෝ සතර පිළිබඳ අවබෝධයක් ලැබූ අපගේ වැඩිහිටියෝ අවධානය යොමු කළහ.

පුද්ගලයකුගේ අසනීප තත්ත්වය විමසීමේ දී තත්කාල ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගැනීම වැදගත් වේ. රෝග තත්ත්වය මෙන්ම රෝගී වූ ශාරීරික ඉන්ද්‍රිය කොටස්වල ස්වභාවය එමඟින් දැන හඳුනාගත් පාරම්පරික වෛද්‍යවරු අදාළ ඖෂධ නියම කරන ලදහ. නොඑසේ නම් ඊට සුදුසු වෛද්‍යවරයා වෙත රෝගියා යොමු කිරීමට උපදෙස් දෙන ලදී. කේන්දරයේ රෝග ස්ථානය (හයවැන්න) අධිපති ග්‍රහයා මෙන්ම සෙනසුරු ග්‍රහයාගේ බලපෑම ද විමසිය යුතු වේ. ඇතැම්විට ඒරාෂ්ටක දෙකක් එකවිට බලපැවැත්වීමේ දී හෝ මාරක ග්‍රහයකුගේ දසා, අතුරු දසාවක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව තත්කාල ශාස්ත්‍රය අනුව බලවත් ශාන්තිකර්මයක පිහිට පැතීමට ද සිදුවේ.

ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයේ සිද්ධාන්ත දැනුමට අතිරේකව අත්දැකීම් ද ගුරු කොට ගැනීමෙන් පලාපල සාරවත්ව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.

 

ඡ්‍යොතීර්වේදී

මිල්ටන් හේවාපතිරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.