මහා ගැම්මක් සහිත ලොකු පිම්මක් පෙන්වන දිව්‍ය අංක 04

මාර්තු 15, 2024

අංක විද්‍යාව පිළිබඳ හැදෑරීමේදී නොම්මර 4ට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයක්. ඔබ ජීවිතයේ විශාල වෙනස්කම් සඳහා සූදානමින් සිටින අවස්ථාවක නිරන්තර ඔබට අංක 4 දිස්වන්නට පටන් ගත්තා නම් එහි අර්ථය වන්නේ ඔබේ ජීවිතයේ වෙනස අහම්බයක් නො‍වන බවයි. මෙතෙක් පැතූ පැතුමන් ඉටු වී සිහින සැබෑ වී ඔබේ මහා ඉදිරි පිම්මක් එයින් ඔබට සංඥා කරන බව ඔබට වටහාගත හැකියි.

බිංදුවේ සිට අංක 9 දක්වා සෑම අංකයකටම එයටම වෙන් වූ විශේෂත්වයන් දිව්‍ය අංකවලින් පැහැදිලි කරන බව ලොව දියුණු රටවල් ලෙස ගැනෙන ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල පවා පිළිගැනීමයි.

ඔබ නිතර අංක 444 වැනි සලකුණක් ඔබේ බිල්පත්වල හෝ වාහන අංක තහඩුවල නැත්නම් නාම පුවරුවල දකිනවා නම් නියත වශයෙන්ම ඔබගේ ජීවිතයේ විශාල භෞතික වෙනසක් ඉදිරියේ ඇති වනු නියතයි. අංක 4 යනු දිව්‍ය අංක අතරින් වඩාත් කැරලිකාර අංකයක් ලෙසයි සැලකෙන්නේ. එනිසාමයි එයින් මඟ හැරිය නොහැකි වෙනසකට මුල පුරන බව කියැවෙන්නේ.

හතරෙන් ජවය හා ශක්තිය පැවසෙන බැවින් දිගින් දිගටම වැඩිපුර 4 ඉලක්කම් පෙනෙන්නේ නම් ඔබ අභියෝගවලට කෙසේ මුහුණ දෙනවාද? ඒ සමඟ ඇතිවන වෙනස්කම් කෙලෙස බාරගන්නවාද යන්න පිළිබඳ පැවසෙනවා. මේ වෙනසට ඇතැම් අය බොහෝ ප්‍රිය කළත් ඇතැමුන් වෙනස් වීමට බියක් දක්වනවා. වැඩි වැඩියෙන් හතරේ ඉලක්කම දකින විට එය විශ්වයේ පණිවිඩය ඔබට කැපී පෙනෙන ලෙස දක්වන බව හඳුනා ගැනීම වැදගත්. ඒ සමඟින් ඔබ මේ සිටින තත්ත්වයෙන් හැකි ඉක්මනින් බැහැරව නව මඟක් ගැනීමට සැරසිය යුතුයි.

විශාල පිපිරුමක් හා සමාන කළ හැකි හතරේ ඉලක්කම් දැකීම ඔබේ ආදරයට ද බලපෑමක් එල්ල කරනවා.

ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නොවේ නම් ඔබ ඉක්මනින්ම එවැන්නෙක් බවට පත්වන අතර පිස්සුවෙන් මෙන් ආදරය කරන්නට පෙලඹෙන බවයි ඉන් කියැවෙන්නේ. ඉතා ගැඹුරු ලෙස ආදරයට යොමු වන ඔබට සුදුසු සහකරු හෝ සහකාරිය ලැබෙන බවට විශ්වය දුන් පණිවිඩය තමයි 4 වැඩි වැඩියෙන් යෙදුණ අංකවලින් ඔබට දැක්වෙන්නේ. එහෙත් මෙන්න මේ කරුණත් ඔබ මතකයේ තබාගත යුතු වනවා. ඒ තමයි වෙනසක් ඇති කරන අංක 4 සහ 44, 444 වැනි අංක දකින ඔබ ආදරයෙන් බැඳෙන්නේ කා සමඟ ද යන්න පසෙක තිබියදී ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තු වනවාට වඩා ඔබේ දැක්ම වෙනස් කිරීමට ඔවුන්ගේ ආදරය ඔබට ඉවහල් වනු ඇති බව 444 අංකය දිගින් දිගටම දුටුවොත් ඔබේ සම්බන්ධතාවයේ වෙනසක් ඇති වන බවට ලකුණක් වන්නත් පුළුවන්. එහෙත් එය ඔබේ යහපතට මිස අයහපතට නොවන බව තේරුම් ගන්න. වෙන් වන මොහොත දුකක් ලෙස දැනුණත් එය ඔබේ අනාගතයේ යහපත වෙනුවෙන් සිදු වූවක් බව ඔබටම පසුව අවබෝධ වේවි.

රැකියාව සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙද්දී ඔබ 4 අංකයේ ගුණාකාර දකිනවා නම් තරමක් ප්‍රවේශමෙන් තීරණ තීන්දු ගැනීම සුබ බවයි එයින් ඔබට දෙන පණිවිඩය වන්නේ. වෙනස හොඳකට විය හැකි වුව ද එය තමන්ගේ උසස් වීමක් සම්බන්ධව සිදු වන්නේ නම් මිස 444 නිතර දකින්නේ නම් ඒ පිළිබඳව කල්පනාකාරී වීම සහ ප්‍රශ්න කිරීමෙන් තොරව අවස්ථා පසුපස නොයා යුතුය. හේතුව 444 දැකීමෙන් ඔබට පවසන්නේ ආයතනය ඔබ සමඟ කරන ගනුදෙනුවේදී ඔබට උසස්වීමක් හෝ පාරිතෝෂිකයක් ලැබෙන බව පෙනෙන මුත් ඔබට ඊට ගැළපෙන ලෙස සතියේ දින හතම වැඩ කිරීමට සිදු වුව හොත් එය දෙවරක් කල්පනා කළ යුතු කරුණක් නිසාය. එබැවින් ඔබ ඒ අංකයෙන් පවසන නිවැරැදි සංඥාව අවබෝධ කරගෙන ඔබ ගන්නා පියවර ඔබට වටින්නේද යන්න නිශ්චිත වශයෙන්ම තහවුරු කරගත යුතු බව මතක තබා ගන්න. නැත්නම් ඔබට රැකියාව නිසා ජීවිතයම විඳවන්නට සිදු වන්නත් පුළුවන්.

ඇතැම් විට රැකියාවේ තනතුරු ලාබ නිසා ඔබේ ආදරණීයයන්ගෙන් ඔබ ඈත්වන්නටත් ඉඩ තිබෙනවා. ඔබේ තනතුර උසස් වීමෙන් විදෙස්ගත වන්නට සිදු වුවහොත් ඔබේ දරු සිඟිත්තාට ඔබේ උණුසුම සහ රැකවරණය අවශ්‍යම මොහොතක ඔබ ඔවුන් අතහැරියා වන්නට පුළුවන්. එය දරුවන් වෙනුවෙන් ම නේදැයි ඔබ තර්ක කරයි. ඒත් මුදල් හෝ තනතුරු පමණක්මද ජීවිතය යන උභතෝකෝටිකයට ඔබ නැණවත්ව පිළිතුරු සොයාගත යුතු අවස්ථාව එළැඹ ඇති බවයි 444 ඔබට සලකුණු කරන්නේ. දරුවන් පමණක් නොවේ, ඔබේ සැමියා, බිරිය, පෙම්වතා, පෙම්වතිය, මව, පියා වැනි ඕනෑම කෙනකුගේ බැඳීම ඇතැම් විට මේ රැකියාවේ උසස්වීමට වඩා වටිනා බව ඔබ අවබෝධ කරගන්නා මොහොත වන විට ඔවුන් ඔබෙන් වෙන් වී ගොස් සිටින්නටත් බැරි නැහැ. ඒ නිසා විශ්වය ඔබට පවසන්නේ තුලනාත්මක තීරණයක් ගන්නට අවස්ථාව උදා වී ඇති බැවින් බොහෝ කල්පනාකාරී විය යුතු බවයි.

කෙසේ වෙතත් අංක 4 යෙදීම් වැඩි වන 444 හඳුන්වන්නේ ගින්නෙන් උපන් ෆීනික්ස් කුරුල්ලා වැනි ශක්තියක් ඔබට ගෙනෙන අංකයක් ලෙසයි. එබැවින් ඔබේ පෞද්ගලික සුබසාධනයේ නිර්මාණශීලී විප්ලවීය වෙනසකට ඔබට අවස්ථාව සහ ශක්තිය ලැබෙනවා ඇති. එනිසාම ඔබට එන ගිනි ජාලා මතින් යළි නැඟී සිටීමේ ශක්තිය ඔබ සතු වනු ඇති. සූර්ය තාපයෙන් දැවෙන විට මහ පොළොව ඉරිතලා යෑම අපට නතර කළ නොහැකියි. එහෙත් එය වැළැක්වීමට අපට හිරු සමඟ සටන් කරන්නට ද හැකියාවක් නැති බව පැහැදිලියි. අපට කළ හැක්කේ සෙවණක් සොයා ගැනීම පමණයි. සැම විටම සූර්යතාපය පවතින්නේ නෑ. යම් මොහොතක වැසි වසින දිනයක් එළැඹෙනවාමයි. එතෙක් ඉවසීමෙන් කල්පනාවෙන් ඔබ පසුවිය යුතුයි. කාලයට ඉඩ දෙන්න. පසුතැවිලි නොවන්න, පසුබට නොවන්න මේ දුක් සියල්ල කළු වළාවේ ඇඳුණු රිදී රේඛාව ලෙස ඔබට සතුට ගෙන එනවා නියතයි. එය ඔබට 4 ඉලක්කම්වලින් විශ්වය දුන් දිව්‍ය පණිවිඩයයි.

 

අරුණලු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.