මේ සතියේ ඔබට

මාර්තු 10 සිට මාර්තු 16 දක්වා
මාර්තු 10, 2023

 

මේෂ

මුදල් ගනුදෙනුවක් සාර්ථකයි

 

මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි. වරින් වර හටගත් අසනීපකාරි බවකින් සුවය ලැබීමට හේතු ඇති කරයි. එමෙන්ම ප්‍රමාදතා සිදු කළ මුදල් ගනුදෙනුවක් සාර්ථක වන කාලයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන්, වෙහෙස මහන්සි වීමට සිදු වන අතර, උසස් අධ්‍යාපන කටයුත්තකට අමතර මුදල් වැයවීමක්ද සිදු කරයි. මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. සෙම් රෝගයකින් හෝ උරහිස ආශි‍්‍රත ආබාධයකින් පීඩා ඇති කරන කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

 

අය 07 - වැය 03

ජය අංකය - 04 ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

 

වෘෂභ

ප්‍රභූ ඇසුරක්

 

නිතර වෙහෙසකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි. නොසැලකිලිමත්කම හේතුවෙන් නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති අතර, අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.

සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන සතියකි. එමෙන්ම නිතර ප්‍රභූන් හා ඇසුරට ද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

විදෙස්ගත වීමක්

 

සැලසුම් කීපයක් ප්‍රමාද කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ගේදොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. දරුවකු සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. හදිසි අනතුරුදායක තත්ත්වයකට මුහුණදීමට සිදු විය හැකි කාලයක් වන අතර, සුළු ශල්‍යකර්මයකට පවා භාජනය වීමට සිදු වන බවක් පෙන්නුම් කරයි. විවාහය සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු කාලයකි.

 

 

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

දුර බැහැර ගමනක්

 

නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදු වන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 3,4,5,6 යන භාවයන් මතිනි. අමතර මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වන කාලයක් වන අතර, හිතුවක්කාර තීරණයක් තමාට නොසිතූ පාඩුවක් සිදු කරයි. දුර බැහැර ගමනක් වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදු කරයි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. සති අන්තයේදී පාදයේ වළලුකර ආශි‍්‍රව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

 

දේපළ ගැටලුවක් මඟහැරේ

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. එමෙන්ම ඉක්මන් කලබලකාරි ගතිපැවතුම් තමාට පාඩු සිදු කරයි. පියපස ඥාතියකුගේ දේපළක් සම්බන්ධව පැවැති මතභේදකාරි බවක් මඟහැරී යයි. හදිසි යෝජනාවක් කල්දැමීමට සිදු වෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මතුව තිබූ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. සතිය මැද කාලයේදී මෙතෙක් තමා සතුව තිබූ දෙයක් අහිමිවන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී පවුලේ මතභේදයකට හේතු ඇති කරයි.

 

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

වාහන ගනුදෙනුවක්

 

අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 1,2,3,4 යන භාවයන් මතිනි. මෙතෙක් අතරමඟ නවතා තිබූ කටයුත්තක් නැවත ආරම්භ කිරීමට ද මඟසැලසෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් තමාට ප්‍රසිද්ධිය අත් කරන කාලයකි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. වරින් වර ඇතිකරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන කාලයකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

නොගැපෙන ඇසුරක්

 

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. වැඩිහිටියකු සමඟ ඇති කරගත් ගැටලුවක් දුරදිග යන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, අලුත් ව්‍යාපාර කටයුත්තක් ඇරඹීමට ද මඟ සැලසේ. සතිය මැද කාලයේදී දරුවකුගේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

පැවැති අසනීපයකින් සුවය හිමිකරන කාලයකි. සති අන්තයේදී නොගැළපෙන ඇසුරකට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

 

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

වෘශ්චික

නීති පිහිට

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති ගැටලු කීපයක් මඟහැරී යයි. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ විශේෂ සැලසුමක් ඇතිකර ගනී.

සතිය මැද කාලයේදී ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතිය යුතු බවක් පෙන්වයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ පරිස්සම් වන්න. හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති කාලයකි.

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

වැඩිහිටි උපකාරයක්

 

හිතුමතයට කටයුතු කිරීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරන කාලයකි. නිතර ගේ දොර කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇතිකරයි.

පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් සිදු කිරීමට අවස්ථාව උදා කරයි. දරුවකුගේ අනාගත සැලසුමක් වෙනුවෙන් අලුත් පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසේ. සතිය ගෙවී යද්දී හදිසියේ සිදුවන දේපළ ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ.

 

 

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

මකර

සිත් කලකිරීමක්

 

මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ ලග්නයට අනුව මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ.

නිතර ආගමික කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරන කාලයකි. පියපස ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී. සති අන්තයේ හදිසි ලැබීමකට හිමිකම් ඇති අතර, විසිතුරු දෑ කෙරෙහි විශේෂ ඇල්මක් ද දක්වන බවක් පෙන්වයි.

 

 

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කුම්භ

 

අවිවේකීබවක්

 

පවුලේ කටයුතුවල විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භවන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8,9,10,11 යන භාවයන් මතිනි. නිතර තමාට දෝෂාරෝපණ එල්ල වන කාලයක් වන අලුත් කටයුතු කීපයක් ආරම්භ කළත් ඒවා එතරම් දුරට සාර්ථක වන බවක් නොපෙන්වයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇතිකරන අතර, ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ශාස්ත්‍රීය, ගැටලුවකට මුහුණ පෑමට සිදු වෙයි. සති අන්තයේදී දරුවකු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

 

 

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

මීන

පවුලේ උත්සව අවස්ථාවක්

 

 

මානසික අසහනකාරි බවක් ඇති කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් පවුලේ නොසන්සුන්තාවක් ඇති කරයි. නිතර තමා කරන කියන කටයුතුවලට නොසිතූ බාධා ගෙන දෙන කාලයකි. සතිය මැද කාලයේදී විවාහය සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. රැකියා අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් වන අතර, මෙතෙක් බාධාගෙන දෙමින් පැවැති රැකියාවේ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.

 

අය 06 - වැය 07

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.