දිශාගත වාස්තු ඔස්සේ නිවෙසේ කොටස් පිහිටුවමු

මැයි 19, 2023

පෙරපර දෙ දිග වාස්තු අධ්‍යයනය කරන්නකු විසින් කළ යුතු යුග කාර්යය වන්නේ මේ වාස්තු සාගරයෙන් වටිනා හා ප්‍රමුඛම දේ සොයා පහදා දීමය. එසේ නොවන තුරු මේ විෂයය ඵලදායි ලෙස ප්‍රයේජනයට ගැනීම අතිශයින් අසීරු වනු ඇත.

මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් වාස්තු මූල ග්‍රන්ථවල පමණක් දක්වා ඇති වාස්තු දෝෂ සිය දහස් ගණනට සැලකීමෙන් කිසිදු සංකීර්ණ ඉදිකිරීමක් සිදු කළ නොහැකි තත්ත්වයට පත්වීම අනිවාර්ය වෙයි. නිවෙසක ඇති දොර ජනේල සංඛ්‍යා, පඩි පෙළෙහි ඇති පඩි සංඛ්‍යාව, කණු සංඛ්‍යාව ආදිය ගනිමින් සිදුකරන විශ්ලේෂණය විසින් නූතන විචාරාත්මක විවරණයක් ද අපට ලබා ගත නොැකි වීමෙන් වර්තමාන ප්‍රබුද්ධ ජනයාගේ නොසැලකිල්ලට ද වාස්තු විෂයය පත්වීම වැළකිය නොහැකියි.

මේ අනුව අප විසින් සුවිශේෂ සැලකිල්ලක් හා ප්‍රමුඛත්වයක් දැක්විය යුතු වාස්තු සිද්ධාන්ත පාර්ශ්වය කවරෙක් ද යන්න මෙහිදී විග්‍රහ කළ යුතුව පවතී. මේ අනුව වේධ දෝෂයනට ද, දිශා දෝෂයනට ද, සංඛ්‍යාමය දෝෂයනට ද ආදි වශයෙන් වර්ග කිරීමේදී වාස්තු විෂයයෙහිදී අපගේ අවධානය එකහෙළා පිහිටුවා ගත යුතු දෝෂය වනුයේ දිශාගත දෝෂයන් බව ඉතා පැහැදිලිව දැක්විය හැකි. අන් කවර දෝෂයක් කෙරෙහි වත් අවධානයක් යොමු නො කළ ද ඉතා නිවරද ලෙස දිශා ගන්වනු ලැබූ නිවසක බරපතළ දෝෂ හා දුර්විපාක අත්නොවන බව අපගේ දීර්ඝ කාලීන අධ්‍යයනයන්ගෙන් හා අත්දැකීම්වලින් තහවුරු වී තිබේ.

මේ පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන දිශාවන් හතරක් ඇති බවත් ඊශාන, ගිනිකොණ, නිරිත, වයඹ වශයෙන් අනු දිශා ඇති බවත්, ඒ ඒ අනුදිශාවනට අදාළව චතුර් මහා භූතයන් පිහිටා ඇති බවත් සිහිපත් කර ගත යුතු වේ. මේ දිශාවන් අටට අමතරව ඉදිකිරීමක මධ්‍යය ද දිශාවක් සේම සලකා ආකාශ ධාතුවට (භූතයට නොව) අයත් කර වටහා ගත යුතු වේ.

වැගිරෙන සුළු ගතියෙන් යුතු ආපෝ ධාතුව ඊශානයේ ද උණුසුම, සිසිලස, දනවන තේජෝ ගුණය ගිනිකොනෙහි ද, තද බව සහිත පඨවි ගුණය නිරිතෙහි ද ,හමා යන චලනය වන ගුණය වයඹෙහි ද ලෙස දැක්වීමද මෙහිදී සිහිපත් කළ යුත වේ. මෙය සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ දැක්වෙන දිශා විග්‍රහයයි.

නූතන වාස්තු විද්‍යාවට අනුව ඊශාන දිශාවෙන් සාපේක්ෂ වශයෙන් අන්තරීක්ෂ ශක්තිය ගලා ඒම සිදුවන බවත්, එකී ශක්තිය කෙමෙන් භූගත වන බවත්, භූගත වී පෘථිවියට දරා ගත හැකි උපරිම හිමි කර ගත් පසු පෘථිවියෙන් ඉවතට ශක්තිය මුක්තවීමට පටන් ගන්නා බවත් එසේ මුක්ත වන ශක්තිය භූ ශක්තිය ලෙස නම් කරන බවත් උතුර – දකුණ අතර චුම්භක ශක්තියක් ක්‍රියා කරන බවත් සංක්‍ෂිප්ත කොට දැක්විය හැකියි.

මෙසේ දිශා විග්‍රහයකින් බාහිරව ගනු ලබන වාස්තු යැයි කියා ගන්නා පැහැදිලි කිරීම් මේ විෂයයට අදාළ කර නොගැනීමට අපට සිදු වේ.

ඉදිකිරීමත්, ඉදිකිරීම පිහිටා ඇති භූමියත් පිළිබඳව පළමුව වටහා ගැනීමේදී ඊශානය පහතින් පිහිටීම ඉතා යහපත් වන අතර, උතුර හෝ නැඟෙනහිර බෑවුම්ව පිහිටීම ද යහපත් බව සැලකිය යුතු වේ. එසේම ඉදිකිරීම නිරිතට බර කොට පිහිටුවා උතුර, නැඟෙනහිර, ඊශාන වැනි ඉඩකඩක් ඇති ලෙස පිහිටුවා ගැනීම උචිත බවද මෙහිදී සැලකිය යුතු වේ. එසේම ඉඩම චතුරස්‍රයක් ලෙස ගැනීමේදී වඩා දිගු හා තුඩු ස්වභාවයක් සහිතව තිබීමට ඉඩ හැරිය හැකි එකම හා හොඳම දිශාව ඊශානය බව ඉඩම්වල හැඩය අනුව සැලකීමේදී අපගේ අමූලික අවධානය ලබා දිය යුත්තකි.

ළිඳක් හෝ පොළොව මට්ටමට පහළින් පිහිටි ජල තටාකයක් පිහිටුවීමේදී ඊශානය වඩා යහපත් වන අතර, උතුර හා නැඟෙනහිර ද යහපත් වේ. සාලය හෝ වෙනත් එවැනි විවෘත ගෘහ අංගයක්ද ඒ දිශාවන් සඳහාම යොදා ගැනීම කළ යුතු වේ.

නිදන කාමර සඳහා නිරිත, දකුණ, බස්නාහිර ඉතා උචිත වුවත් අධ්‍යයන කටයුතුවල යෙදී සිටින්නන් ඊශාන, නැඟෙනහිර හෝ උතුර යොදා ගැනීම ද අනුචිත නොවේ. මෙහිදී ප්‍රධාන නිදන කාමරය නිරිත හෝ නිරිතට වඩාත් ළංව පිහිටුවා ගැනීම විධිමත් කාර්ය ව්‍යුහයක් සහිත සාර්ථක පැවැත්මක් සඳහා වැදගත් වේ.

මුළුතැන්ගෙයි ගිනිකොණට පිහිටුවීමට උචිතම වුවත් එසේ නොහැකිම අවස්ථාවකදී වයඹ දිශාව ද ඒ සඳහා වාස්තු නොවන අන්‍ය ශාස්ත්‍ර නොසලකා භාවිතයට ගැනීමෙහි වරදක් නොමැත. මෙහිදී මුළුතැන්ගෙයින් නිරූපණය වන්නේ ළිප බව සලකා සියලු රත්වන තාප ප්‍රභව සඳහා මේ සිද්ධාන්තය අදාළ කර ගත යුතු වේ.

වැසිකිළි පිහිටුවීමේදී උචිතම දිශාව වයඹ වන අතර, නොහැකි අවස්ථාවන්හිදී දකුණු හෝ බස්නාහිර උචිත වුවත් එහිදී හැකිතාක් නිරිත දිශාවට ඈතින් පිහිටුවීම කළ යුතුවේ. වැසිකිළිවල සම්බන්ධයෙන් මේ නිර්දේශයෙන් වඩාත් බලවත් ලෙස සැලකීම කළ යුතුම වේ.

මෙසේ දිශාවන් ගැන සැලකීමේදී නව අංග පිළිබඳ නිර්දේශ සැකසීමට අවශ්‍ය වුවහොත් එය මූලිකව අප දක්වා ඇති නිර්දේශයන් ආශ්‍රයෙන් කළ යුතු වේ. නිදසුනක් ලෙස නූතන භාවිතයක් වූ විදුලිජනක හෝ වෙනයම් බරපතළ විද්‍යුත් මෙවලම් භාවිතයේදී ගිනිකොණ භාවිත කිරීම හෝ නොහැකි වීම වයඹ භාවිත කිරීම ළිප ඇසුරෙන් නිර්මාණය කර ගන්නා ආකාරයෙන් කළ යුතු වේ.

කෑම කාමරය පිළිබඳව එතරම් තදින් සිද්ධාන්ත දක්වා නැතත් මුළුතැන්ගෙයිම හෝ ඒ ආසන්නයක පිහිටුවීම වඩාත් උචිත වේ. එහිදී උණු ආහාර තැන්පත් කිරීම හෝ ශීතකරණයක් (පිටුපස රත් වන) තැබීම ආදියේදී වුවත් කිසිදු අයහපතක් සිදු නොවේ.

නිවෙසේ මධ්‍යය යනු දිශාවන්ගේ මූලය ලෙස සලකා එයට හිමි ආකාශ ධාතුව මැනවින් නිදහස්ව පැවැත්වීමට සළසා බරැති බඩු නොයොදා මධ්‍යය මත අත්තිවාරම් බිත්ති ආදිය නොපිහිටුවීම අතිශයින්ම වැදගත් බව ද අප මෙහිදී අවධාරණය කළ යුතු වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.