දේපළ අහිමි වන වාස්තු දෝෂ

මාර්තු 1, 2024

මෑතක නිවෙසක් මිලදී ගත් අපගේ සේවාලාභියකු විසින් නිවෙසේ කළ යුතු වෙනස්කම් දැන ගැනීම සඳහා අප කැඳවාගෙන ගිය අවස්ථාවක් සිහිපත් විය. එහිදී උස තාප්පයකට ගේට්ටු දෙකක් යෙදූ අලුත්වැඩියාවක් කර නොමැති නිවසක් අපට දක්නට ලැබිණි. මෙහි විශාල ගේට්ටුව ගිනිකොනෙහි පිහිටා තිබුණු අතර, කුඩා ගේට්ටුව නැඟෙනහිර – ඊශාන කොටසේ ඇති බව පෙනිණි.

මේ නිවෙස ඉදි කළ අය කුඩා නිවෙසක් ලෙස තනා පසුව එයට තීරුවක් එකතු කොට තිබේ. එකතු කළ තීරුව නිරිත – බස්නාහිර , වයඹ කොටස් ඇතුළත් නිවෙසේ අනෙක් කොටස්වලට වඩා පහතින් පිහිටා ඇත. එයට තවදුරටත් හේතු වන්නට ඇත්තේ භූමියේ එදෙසට ඇති බෑවුම් සහගත ස්වභාවයයි.

මෙහි දකුණ ඉඩමේ මායිමට වන පරිදි අන්ධ බිත්තියක් ඇති අතර, උතුරින් ඉතා හොඳ ඉඩක් ඉතිරි කොට තිබිණි. ඊශානයට වන්නට හොඳින් වැඩී ගිය අතුපතර විහිද ගිය වෙරළු ගහක්ද වේ.

නිවෙසේ ඇතුළත බස්නාහිර කොටසට සමීපව මුළුතැන්ගෙය පිහිටා තිබේ. විශාලම නිදන කාමරය ඇත්තේ වයඹ දිශාවට වන පරිදිය. ගිනිකොන ගේට්ටුවෙන් ඇතුළු වූ වාහනයක් නැවැත්වීම සඳහා නිවෙසේ ගිනිකොන දිශාවට ගරාජයකට වෙන් කොට තිබිණි. කුඩා වැරැන්ඩා කොටසක් ඊශානයේ පිහිටුවා ඇති අතර, සාලයද ඉතා උචිත පරිදි ඊශාන – නැඟෙනහිර කොටසට වන්නට යොදා තිබිණි.

මෙතරම් හොඳින් ඊශානයේ සාලය, වැරැන්ඩාව, ආදියත් ගිනිකොනට ගරාජයත්, නිරිතට කුඩා වූත් නිදන කාමරයක්, උතුරු නැඟෙනහිර ඊශාන දිශා හොඳින් විවෘතවත් පිහිටුවා ඇති නිවෙසක් එහි පෙර නිවැසියනට අහිමි වූයේ ඇයි? විවිධ සාමාජීය අවශ්‍යතා අනුව එය සිදු විය හැකි මුත් එසේ වීමට බරපතළ වාස්තු බලපෑමක් ඇත්තේ දැයි අපට වත්මන් නිවැසියන්ගේ ඉල්ලීම පරිදි සෙවිය යුතු වූ අතර කළ යුතු පිළියම් ද පැහැදිලි කර ගත යුතුව තිබිණි.

මෙහිදී අප විසින් හඳුනාගත් බරපතළම ගැටලුව වන්නේ භූමියේ පවත්නා බෑවුම් ස්වභාවයක් ඒ නිසා නිවෙසේ අලුතින් එකතු කළ කොටසේ ඇති බෑවුම් පිහිටුවීමත් ය. මේ හේතුව නිසා නිරිත දිශාව සැලකිය යුතු ලෙස ඊශාන – නැඟෙනහිර , ගිනිකොන ආදියට වඩා පහතින් පිහිටා තිබීම අන්තරීක්ෂ (Cosmic) ශක්තිය රඳවා ගැනීමට අපහසු තත්ත්වයක් ඇති කර තිබේ. මෙය පොළොව කඩා අඩියක් පමණ පුරවා යළි පොළොව සකස් කිරීම ස්ථිර පිළියමක් වන අතර, ක්ෂණික හා ඉතා සාර්ථක තවත් පිළියමක් ලෙස ගුණන පිරමිඩ 9ක් සවි කිරීමද සිදු කළ හැකියි.

පසුව භූමියේ ඇති දෝෂ සහිත බෑවුම හොඳින් පුරවා අඩුම තරමින් නිවස සම මට්ටමට හෝ උතුර – ඊශාන, නැඟෙනහිර පහතින් පිහිටන පරිදි සකස් කර ගත හැකි නම් බරපතළ වියවුල් ඇති කරන බෑවුම් දෝෂය ඉවත් කර ගැනීම අපහසු නොවේ.

මෙවැනි බෑවුම් දෝෂයක් නිසා ආර්ථික බිඳ වැටීම් සිදු වන බවත්, එයටම රුකුල් දෙන රෝග තත්ත්ව හට ගන්නා බවත් සෛද්ධාන්තිකව මෙන්ම ප්‍රායෝගිකව අපි අත්දැක ඇත්තෙමු. ණය බරින් පීඩා විඳීමට සිදුවීමත් දුර්විපාකයන්ගේ දිගුවක් ලෙස අත්දැකීමේ නිසැක ප්‍රතිඵලය දේපළ අහිමි වීම විය හැකියි.

මේ තත්ත්වයෙන් අත්මිදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹීමක් ඇති නොවීමට නිවසේ අක්‍රිය බව ඇති කරන ගිනිකොන හිස්වීම හා රත් නොවීමට බලපාන්නට පුළුවන. ගරාජයක් තනා තිබුණද එහි වාහනයක් නොතිබීමෙන් ගිනිකොන හිස් අවකාශයක් පමණක් සකසා දී තිබිණි. එයට අමතරව ගරාජ කොටසට දොරක් හෝ වෙනත් වැස්මක් නොතිබීමෙන් ගෘහ පිණ්ඩයට ඒ කොටස අයත් නොවීමෙන් මෙහි ගිනිකොන හිස් ස්වභාවය තව තවත් වැඩි වර්ධනය වන බව වටහා ගත යුතුව තිබේ.

මෙවැනි ඉදිකිරීමක් උපරිමව ශුභවාදීව සකස් කර ගැනීමට නම් ගරාජයට යෙදූ කොටස මුළුතැන් ගෙය හා කෑම කාමරයට වෙන් කර ගැනීම යහපත් වේ. එහිම දැනට පවත්නා බස්නාහිර මුළුතැන්ගෙයත්, නිරිත පිහිටි කුඩා තීරයත් එක්කොට ඉඩකඩ සහිත ප්‍රධාන නිදන කාමරය නිරිතට යොදා ගත හැකියි. වයඹ කාමරයක්ද පවත්නා බැවින් විවාහය පමා වූ කාන්තාවක් වූ අපගේ සේවාලාභියාට විවාහයට යොමුවීමක් පිණිස වයඹ කාමරයට හෝ පොදුවේ යහපත්ම කාමරය වන නිරිත කාමරය හෝ යොදා ගත හැකියි.

ඊශානයේ ඇති වෙරළු ගසෙන් ඇති කරන වදුල ස්වභාවය අඩු කිරීමෙන් නිවස වෙත ගලා එන අන්තරීක්ෂ (ඛ්ධඵථඪජ) ශක්තිය බලවත් කළ හැකියි. නිවසකට වර්තමානයේ අත්‍යවශ්‍ය අංගයක් වන ගරාජයක් මෙහිදී අහිමි වීම සලකා ඊශානයෙන් ඇතුළු වී වයඹට වන්නට විවෘත ගරාජයක් සකස් කර ගත හැකියි. එය මිදුලේ ඉඩකඩ නාස්තියටද අවම වන බැවින් මෙවැනි අවස්ථාවක් සඳහා උචිතම වන්නේය.

නිවෙසේ මධ්‍යය සාලයට වැටී තිබීමෙන් හිමි වන වාසිය උපරිම කර ගැනීමට (ගුණන පිරමිඩ 9ක් යොදා) මධ්‍යය බලගන්වා ගත හැකි වේ.

දැනටමත් බස්නාහිර වයඹ ආසන්නයේ පිහිටා ඇති වැසිකිළිය එතැනම පිළිසකර කර වයඹට බරව පිහිටුවා ඇති වැසිකිළි වළ මදක් ඉහළට බැඳ පසුව භූමිය පිරවීමට ගැළපෙන පරිදි සකස් කර ගත හැකියි.

ගිනිකොන කෙළවරේ ගරාජය ඉවත්කරන බැවින් ගිනිකොන ගේට්ටුවක අවශ්‍යතාවක් නොමැති බැවින් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එය ඊශානයටම යෙදීම අපහසු නොවේ. මේ පිළියම් සිදු කිරීමෙන් නව නිවැසියනට සිය දේපළ අහිමිවීමේ අන්තරායට මුහුණදීමට යළි සිදු නොවනු ඇත.

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.