ගෙහිමියා රෝගියකු කරන ගෘහ අලංකරණ

පෙබරවාරි 16, 2024

පානදුර ප්‍රදේශයේ නිවෙසක් සහිත ඉඩමක් හදිසියේ තෝරා ගැනීමේ අපේක්ෂාවකින් සිටි සේවාලාභියකුගේ ආරාධනය පරිදි අප විසින් යම් පරිශ්‍රයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී හා පසුව ලත් අත්දැකීම් මෙවර විස්තර කිරීමට අපේක්ෂා කරමු. පිවිසුම් මඟ (පාර) බස්නාහිරින් පිහිටා ඇති දෙමහල් නිවසක් සෑදීමේ අපේක්ෂාවෙන් අරඹා ඇති මුත් ඉදිකිරීමේ කාල වත් අවසන් කොට නැති පර්චස් පහළොවක් පමණ දේපළකට අපි උක්ත සේවාලාභියාත් සමඟ ඇතුළු වූයෙමු. සේවාලාභීන් බස්නාහිරට පාරක් හා වයඹෙන් පිවිසුම් ගේට්ටුව පිහිටුවා තිබීම පිළිබඳව නිතර විමසමින් අපගේ පරීක්ෂාවට මනා සහායක් ලබා දුන් බව අපට මතකය.

එහිදී මුළුතැන්ගෙය ඉතා නිවරද ලෙස ගිනිකොනෙහි පිහිටුවා තැබුණු අතර වැසිකිළියද දකුණු ගිනිකොන කොටසෙහි පිහිටා තිබිණි. වැසිකිලි වළ කඩා වැටෙන්නට ඔන්න මෙන්න මට්ටමෙන් තිබුණද එය නිවරද ලෙස නිවසේ දකුණට වන්නට පිහිටුවා තිබිණි.

බෑවුම මදක් දකුණට වන්නට පිහිටි අතර ඉඩමේ වැඩි හිස් ඉඩක් උතුරටත්, බස්නාහිරටත් වන්නට තිබීම උචිත ද යන්න ඔවුන්ගේ විමසුමටද ලක් වූ බව කාලය හෝ ගියද අපගේ මතකයෙහි රැඳී තිබේ.

බස්නාහිර බෑවුම වෙනුවට බස්නාහිරට වන්නට වෙනම ඉඩම් කොටසක් වන සේ වූ තාප්පයක් යොදා පිහිටි ඉඩම් කොටසක් අලංකාර වැටක්ද යොදා වෙන් කිරීමට ඔවුනට යෝජනා කළෙමු. එවිට නිවස තැනී ඇත්තේ බස්නාහිර පිහිටි බෑවුම් කොටස ඉවත්කර දැමීම නිසා නිවස පිහිටි ඉඩමේ දකුණට වන්නට පැවති වැසිකිළිය යෙදීමෙන් දෝෂය පහසුවෙන් ඉවත් කිරීමට හැකි බව නිවැසියනට අවබෝධ කර දුනිමු.

එසේම පෙර දකුණු ගිනිකොනට වන්නට තැබූ වැසිකිළිය වඩාත් නිවරද ලෙස දකුණු කොටසටම යෙදුණු බව අපට වඩාත් හොඳින් තහවුරු විය. ඒ සියලු නිර්දේශයන් සලකා බැලූ විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ සේවාලාභියා විසින් නිවස සහිත ඉඩම මිලදී ගැනීමට තීරණය කර ගනු ලැබීය.

නිවස මිලදී ගත් පසු තවදුරටත් අලංකාර කර ගැනීමට ගෘහ නිර්මාණ ශිල්පියකුගේ සහාය ගැනීමට එහිදී තරුණ නිවැසියන් යොමු වන බව දැන ගන්නට ලැබුණද එයට බාධා නොකළ අපි නිවෙසේ මධ්‍යය පෑගීම වැලැක්වීමට යොදා තැබුණු කුඩා බිත්ති කොටස ඉවත් කිරීමට යෝජනා කළෙමු.

සේවා ලාභීන්ගේ නව නිවාසයට ගෙවැදීමට සහභාගි වූ අපට දක්නට ලැබුණේ පෙර පැවැති නිවෙසට වඩා බොහෝ අලංකාරයෙන් යුතු නිවසකි. එදින වාස්තු පරීක්ෂාවට එතරම් අවධානයක් යොමු නොකළත් එහි පවත්නා ශක්ති ස්වභාවය මඳක් පරීක්ෂා බැලීමු. ශක්ති වියවුලක් නිවසේ ඇතැයි දැනුණද එය නිවසේ දක්නට නොලැබෙන අලංකාරයට වශීකෘතව අපටද අමතක වී ගියේ ය.

කලෙකට පසු බරපතළ හා අඛණ්ඩ රෝගාබාධ තත්ත්වයන් හා අලාභ අත්වන සිදුවීම්වලට මුහුණදීමෙන් පසු සේවාලාභීන් යළිත් නිවෙස පරීක්ෂා කර දෙන ලෙස අපගෙන් ඉල්ලා සිටි බැවින් නිවෙස යළිත් විධිමත් පිරික්සීමේ දී එහි සිදු කර ඇති ව්‍යුහාත්මක වෙනස හොඳින්ම අවබෝධ විය. ඊශානයේ ඇති නිදන කාමරයත් ගිනිකොනේ ඇති මුළුතැන්ගෙයත් මැද්දට විශාල වියදමක් කර විශාල ප්‍රමාණයේ වැසිකිළියක් ඇතුළත් කර ඇති බව පෙනෙන්නට තිබිණි.

මෙවැනි බරපතළ ව්‍යුහාත්මක වෙනස්කම් පැවති නිවසට එකතු කිරීමෙන් බරපතළ රෝග තත්ත්වයන් ඇතුළු දෝෂ ඇතිවීම අමුත්තක් නොවන බව පැහැදිලියි. මේ හේතුව නිසා අප මහත් අපහසුතාවයකට පත් වූයේ ලක්ෂ ගණනක මුදල් වැයකර ඉදිකර ඇති වැසිකිළිය සහිත නාන කාමරය ඉවත් කිරීමට යෝජනා කිරීම නොකළ හැකි තරම් වන බැවිනි.

එබැවින් අප විසින් මෙකී බරපතළ දෝෂය නිවාරණය කර ගැනීම සඳහා වැසිකිළියේ දොර උළුවස්සට පටි පිරමීඩ තුනක් හා නැට්‍රෝන නමින් හඳුන්වන මෙවලමක් වැසිකිළිය ඇතුළතට යෙදීමට තීරණය කරනු ලැබීම. එවිට වැසිකිළියෙන් උපදනා අශුභ ශක්තීන් නැට්‍රෝන මෙවලමේ තැන්පත් කර ඇති ලවන කැටවලින් උරා ගනු ලබන අතර එසේ උරා ගත නොහැකි වූ අශුභ ශක්තියක් වැසිකිළිය අභ්‍යන්තරයේ ඉතිරි වුවහොත් එය පටි පිරමිඩමඟින් නිකුත් කරන ශක්ති කදම්භ ශක්ති වැටක් ලෙස ක්‍රියා කරමින් දොර අවුරා තබන බවත් අපගේ වාස්තුමය දෝෂ නිවාරණය සැලසුමකට ඇතුළත් කර ගනු ලැබීය. එයින් සති දෙකකින් පමණ පිරික්සීමේ දී පෙර තැබූ ශක්ති වියවුල අකාමකා ගොස් තිබිණි.

 

සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.