නිවැසියන්ට සුබ අසුබ ඵල දෙන ගස්වැල්

ජූලි 14, 2023

විශාල ධනයක් වැයකොට වාස්තු විද්‍යානුකූලව නිවසක් ගොඩනඟා අප විසින් එම නිවසට ගෙවදිනු ලබන්නේ මොනතරම් සතුටකින්ද. ඒත් සමහර අයට එම සතුට වෙනුවට නිමක් නැති කරදර ගෙන දෙන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාමයි. මේ නිසා ඔවුන් සිතන්නේ තමන්ගේ සතුටට, දියුණුවට බාධා කිරීමට අසල්වැසි අය හදි හූනියම්කර ඇති බවය. මේ හේතු නිසා බොහෝ අය ඒවා පසුපස හඹාගොස් තම මුදල් මෙන්ම කාලයද වැයකර සුගතියක්ද නොමැතිව සුසුම් හෙලති. ඇත්ත වශයෙන්ම මේ අණවින කොඩිවින තමන් විසින්ම කරගන්නා දේවල් ලෙස වාස්තු විද්‍යානුකූලව පැහැදිලි වෙයි.

වාස්තු විද්‍යාව අනුව තම නිවෙස අලංකාර කරගැනීම වගේම ඒ අනුව නිවැසියන්ට සුබපල දෙන ගහකොළ මෙන්ම මල් වර්ගද ගෙවත්තේ වැවීම වඩාත් වැදගත් වෙයි. ගෙමිදුලේ මල් පැළ ගෙවත්තේ ගස්වැල් රෝපණය කළ යුතු පැති හා දිශාවන්ද වාස්තු විද්‍යාවෙන් පෙන්වා දී ඇත. ඒ අනුව ක්‍රියා කිරීමෙන් ඔබට මෙන්ම ඔබේ පවුලට යහපතක් මිස අයහපතක් සිදු නොවේ. එයට පිටුපා නොසලකා හැරීමෙන් නොයෙක් විට කරදර, බාධක පවුලේ අඬ දබර ඇතිවීමට හේතුවිය හැකිය.

ඔබේ නිවෙසට ආසන්නයේ සුදුපාටමල්, රතුපාට මෙන්ම කටු සහිත රෝස, බෝගන්විලා මල් ගස්ද සුබ නොවේ. ඔබ නිවසින් මිදුලට බසින විට පළමුව නෙත ගැටෙන්නේ සුදුපාට මල් පිපුන ගසක් නම් ඔබගේ රැකියාවේ ව්‍යාපාරයේ දියුණුවට එම දර්ශනය බාධාවක් විය හැකි වන අතර නිමක් නැති කරදර, සතුරු කරදර නඩු හබද ඇතිවීමට පුළුවන. ඔබ හැමදාම උදෑසන දකින මිදුලේ ඇති රතුපාට මල් පඳුර නිසාද එම තත්ත්වය ඇතිවිය හැකිය. රතු රෝසමල් ගෙමිදුලට අලංකාරයක් වුවත් එය කටු සහිත ගසක් බැවින් පවුලේ අඬ දබර, සතුරු කරදර නිතර ඇතිවීමටද එය හේතුවිය හැකි බව වාස්තු විද්‍යාව පෙන්නුම් කරයි. නිවස ආසන්නයේ කිරි සහිත ගස්, කටු සහිත ගස්, ඵල හටගන්නා ගස් ආදියද සිටුවීම අසුබ වෙයි. කිරි සහිත ගස්වලින් ධන හානියත්, කටු සහිත ගස්වලින් සතුරු බියත්, ඵල හටගන්නා ගස්වලින් තම නිවසේ දූ දරුවන්ට අසුබ ඵලත් ගෙන දෙයි. මෙවැනි ගස් නිවස ආසන්නයේ තිබේ නම් ඒවා කපා අස්කර දැමිය යුතු අතර එම ගස්වල ලී දඬුද නිවස තුළට ගැනීම පවා අසුබ බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි.

නිවැසියන්ට නිතර නිතර ලෙඩරෝග, අඹුසැමියන් අතර අඬ දබර ඇත්තේ නම් අනිවාර්යයෙන්ම ඔබේ මිදුලෙහි රත්මල් පඳුරක්, අන්නාසි පඳුරක්, නැතිනම් කිරි සහිත අරලිය ගසක් හෝ තිබිය හැකිය. සමන් පිච්ච, දෙළුම් වැනි ගස් ගෙමිදුලට වඩාත් සුබදායක වේ. එමඟින් ගෙමිදුලට අලංකාරයත්, මිහිරි සුවඳත්, පැතිරෙන අතර ඖෂධීය වශයෙන්ද එම ශාක වැදගත් වෙයි. සමහරු තමන්ගේ හිතවත් යහළු මිතුරන්ගේ නිවෙස්වලට යන එන විට විශේෂයෙන් කාන්තාවන් තම හිතවත්කම තහවුරු කර ගැනීම සඳහා නොයෙකුත් වර්ගයේ පැළ වර්ග හුවමාරු කර ගනිති. තවත් සමහරු තමන්ගේ ගෙදර අයගේ උපන්දිනය සැමරීමේ සිහිවටනයක් ලෙස අඹ, ජම්බු වැනි ගස් වර්ගද මිදුලේ සිටුවති. මෙයින් ඔබ නොදැනුවත්වම අපල ළඟා කර ගනියි. මෙවැනි ගස් ගෙමිදුලට අලංකාරය ගෙන දුන්නත්, අඹ ගස් ඵල දරන කාලයේ පිරිමි දරුවන් හිතුවක්කාර, මුරණ්ඩු වන බවත්, අධික ලෙස ජම්බු ගස්වල ඵල දරන කාලයේ ගැහැනු දරුවන්ට අපල ගෙන දෙන බවත් වාස්තු විද්‍යාවට අනුව කියැවේ.

ඔබේ නිවස ඉදිරිපිට විශාල අතු සහිත නුග, බෝ, මාර වැනි ගස් ඇත්තේ නම් එම නිවස තුළ යක්ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය දෝෂ ආදිය බලපැවැත්විය හැකිය. රාත්‍රියේ නින්දෙන් බය වීම, අඳුර වැටෙන යාමයේ නිවසට දුගඳ හමා ඒම ද සිදුවිය හැකිය. වාස්තු විද්‍යාවේ දී මෙය වෘක්ෂ දෝෂ යනුවෙන් හඳුන්වයි. මෙවැනි ගස් ගැන සඳහන් කිරීමේ දී බෝ ගස සහ බෙලි ගස් ද නිවස අසල වැවීම සුබදායක නොවේ. මේ ගස් දේව බලයක් ඇති ගස් ලෙස හඳුන්වයි. මෙවැනි ගසක සෙවණැල්ලක් නිවසට වැටීමද සුබ නොවන බව වාස්තු විද්‍යාවේ දක්වා ඇත. මෙම ගස් තිබිය යුත්තේ පූජා භූමිවල පමණකි. බෝ ගසක සෙවණැල්ල පූජා භූමියකට වැටීම යහපත් නමුත් නිවසකට එම ගසේ සෙවණැල්ල වැටීම අයහපත්ය. අඹු සැමි සබඳතා පවත්වන ස්ථානයන්ට දෙවියන්ට අයත් එම ගස්වල සෙවණැල්ල වැටීම ගෙහිමියන්ට අසුබපල ගෙන දෙයි.

කිරි ලැබෙන ශාකවන කොස් සහ අඹ වැනි ගස් ඉඩමේ පිටුපසම කොටසට අයත් ස්ථානවල සිටුවීම වඩා යහපත් වෙයි. මෙහි සඳහන් කළ අසුබ ගස් වෙනුවට එම ස්ථානවල දොඹ, කොහොඹ, මූණමල් ගස් වැනි ගස් රෝපණය කිරීමෙන් ඒ තුළින් ඇතිවී තිබෙන දොස් දුරුවෙන බව සඳහන් වේ. කොහොඹ ගස අනෙකුත් ගස් අතර ඉතාමත් සුබ ශාකයක් ලෙස පිළිගැනේ. කොහොඹ ගසක් ගෙවත්තක තිබිය යුතුමය. එය ඖෂධීය ශාකයක් බැවින් ඖෂධීය ශාකයේ සුවඳ ඔබේ ඉඩම පුරාම පැතිරීම ඉතාම සුබය. කොහොඹ ගසක් සුළං ඇති වෙලාවක සෙලවෙන විට ඔබේ ඉඩමට ඉන් ලැබෙන සුළඟ විෂබීජ නාශකයක් ද වනු ඇත. එය දෙවියන්ගේ ශාකයක් ලෙස හඳුන්වන්නේ එය දෙවියන්ගේ ලෙඩවලදී පවා ආරක්ෂා කරන බැවිනි.

ගෙවත්තේ දිශාවන් අනුව රතු, සුදු මල් වර්ග දකුණු දිසාවටත්, පුලිල, දිවුල් වැනි ගස් උතුරු දිශාවටත්, නෙල්ලි, ඊසාන දිශාවටත්, නුග නැඟෙනහිර දිශාවටත්, දෙළුම් ගිනිකොන දිශාවටත්, සියඹලා ගස් නිරිත දිශාවටත්, ජම්බු නිරිත සහ දකුණ දිශාව අතරත්, කොස්, අඹ, ඊසාන, නැඟෙනහිර අතර දිශාවටත් සුබදායකබව වාස්තු විද්‍යාවේ සඳහන් කර ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.