වාස්තු දෝෂ මඟහැර නිවස ලස්සන කරගනිමු

ඔක්තෝබර් 13, 2023

ඉඩමක් මිලදී ගැනීම, නිවෙසක් ඉදිකර ගැනීම සහ අදියර අවසන් කිරීමත් සමඟ නිවෙසේ විවිධ ගෘහ භාණ්ඩ පිහිටුවීමේ අදියරේදී ඒවා මනා ලෙස පිහිටුවමින් සිදු කරන අභ්‍යන්තර ගෘහ අලංකරණය වාස්තුමය අවබෝධයක් සහිතව සිදු කළ යුත්තකි. මෙහිදී ඉදිකිරීමේදී භාවිතයට නොගත් බොහෝ දේ ඇතුළත් වන බැවින් ඒවායේ විවිධ බලපෑම් ද අපට මෙහිදි පරීක්ෂා කිරීමට සිදුවේ.

නිවසේ අලංකාරය පිණිස වුවත් උසින් වැඩි, බරෙන් වැඩි මෙවලම් පිහිටුවීමේදී ඒවා නිරිත, දකුණ හා බස්නාහිර දිශාවනට ළංව සිදු කළ යුතු වේ. එහිදී ඊශාන දිශාවෙන් (සාපේක්ෂ වශයෙන්) ගලා එන අන්තරීක්ෂ (COSMIC) ශක්ති ධාරාවට බාධාවක් නොවන පරිදි තැබිය හැකි වේ. එසේම බරෙන් වැඩි භාණ්ඩ ආදිය ඊශානයට දුරින් පිහිටුවීමේදී නිවසෙන් ඉවතට ගලා යන ශක්තිය පමණක් ඒවායෙන් අවශෝෂණය කර ගැනීම සිදුවේ. එවිට නිවසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (COSMIC ENERGY INTENSITY)  R අඩුවීම අවම වෙයි. මේ නිසා නිවැසියන්ගේ ශක්ති ශරීරය (AURA) දුර්වල වීම වැළකෙයි.

නිවසේ අලංකාරය පිණිස වැඩිම බලපෑමක් සිදු කරනුයේ ජනේල, දොරවල් ආදියට යොදනු ලබන තිර රෙදි බවට සැකයක් නොමැත. මෙසේ විශාල වියදමක් සිදු කරමින් නිවසේ යොදන තිර රෙදි හේතුකොට ගෙන බරපතළ ශක්ති විපර්යාසයන් සිදු විය හැකියි. විශේෂයෙන් යොදන තිරයේ ඝනකම මෙයට වඩාත් බලපානු ලබනවා මෙන්ම තිර රෙද්ද තනා ඇති ද්‍රව්‍යය ද සැලකිය යුතු වූ බලපෑමක් සිදු කරන බව පෙනේ.

නිවස මධ්‍යයේ සිට බැලීමේදී උතුර, ඊශාන හා නැඟෙනහිර දිශාවන්හි පවත්නා දොරවල් හා කවුළුවල සංඛ්‍යාව හා ප්‍රමාණ හැකිතාක් විශාල විය යුතු බව දැනටමත් ඔබ සැම දන්නවා ඇත. එහිදී වැඩි ශක්ති ප්‍රමාණයක් නිවසට ඇතුළු වන බවද එයින් වටහා ගැනීම අපහසු නොවේ. මෙසේ නිවසට ඇතුළු වන ශක්ති (ගෘහ අලංකාරය පවත්වා ගනිමින්) ආරක්ෂා කර ගැනීමට නම් ඉතා තුනී ඔබමොබ පෙනෙන (අන්තරීක්ෂ ශක්තිය විනිවිද යෑම පහසු) තිර රෙද්දක් යොදා ගත යුතු වේ. එසේම මෙසේ භාවිත කරන තිර රෙද්ද තැනී ඇති නූල් වර්ගයද එවැනි විනිවිද යෑමට බාධා නොකරන්නක් විය යුතුවේ. විටෙක එකී ද්‍රව්‍යයන් මේ අන්තරීක්ෂ ශක්තියට බාධා කිරීමක් හෝ උරා ගැනීමක් සිදු කිරීමට සමත් දේ විය හැකියි. ඒ පිළිබඳ මනා සැළකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ.

විදුලි සීනු, කැමරා ආදිය කෙතරම් භාවිතයට පැමිණ ඇතත් තවමත් නිවසක ආරක්ෂාව පිළිබඳව සිතීමට අපට සිදු වී තිබේ. මේ හේතුව නිසා විශේෂයෙන් ජනේලවලින් සොර සතුරකුට ඇතුළුවීමට හැකිතාක් බාධා කළ යුතු වේ. මේ සඳහා වර්තමානයේ භාවිත කරනුයේ විවිධ ගි‍්‍රල් වර්ග වන අතර, ඒවායේදී විවිධ මෝස්තර රටාවන්ද භාවිතයට පැමිණ තිබේ. මෙහිදී මූලිකව අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ මේ ගි‍්‍රල් වර්ග සකස් කර ඇත්තේ යකඩ හෝ යකඩ මිශි‍්‍රත (වානේ) වැනි ද්‍රව්‍යයන්ගෙන් වීමයි. මෙසේ යකඩ භාවිත කිරීමත් සමඟ අන්තරීක්ෂ ශක්ති ක්‍රියාවලියන් සමඟම එකී කවුළුවල කිසියම් ප්‍රමාණයක චුම්බක ක්ෂේත්‍රයක් හට ගනී. මෙකී චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම වැඩිවීමත් සමඟම නිවැසියනට හිතකර අන්තරීක්ෂ ශක්තිය නිවසට ඇතුළුවීමට මහත් සේ බාධා ඇති වේ. මෙහිදී යොදා ගන්නා ගි‍්‍රල් මෝස්තරවල වක්‍ර හැඩැති රටාවන් හා පොදුවේ සංකීර්ණවීම් නිසා මෙසේ නිවසට ඇතුළුවන අන්තරීක්ෂ ශක්ති ධාරාවන්ගේ කිරණ ස්වභාවය විකෘතිවීමටද පටන් ගනී. මෙසේ වක්‍ර හා විකෘති ස්වභාවයකින් නිවසට ඇතුළු වන අන්තරීක්ෂ ශක්තියද නිවැසියන්ගේ ශක්ති ශරීරවලට (AURA) සුබවාදී ප්‍රතිඵලයක් ලබා නොදේ. ශක්ති ශරීරවල වඩා යහපත් හිතකර ගුණය හා ප්‍රමාණය ලබා ගත හැක්කේ මෙහි ශක්තිය ඍජු - රේඛීය ස්වභාවයකින් ලැබීමෙන් බවද මෙහිදී සැලකිය යුතු වේ.

මේ අනුව අප විසින් වඩාත් යහපත් ගෘහ අලංකාර ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමට ගත යුතු මූලික පියවර පිළිබඳව මෙහිදී අපගේ අවධානය යොමු කළ යුතුව තිබේ. එහිදී තිර රෙදි, සිටුවන ඵලක හෝ පුවරු නැතහොත් ගෘහ භාණ්ඩ සඳහා යකඩ භාවිත කිරීම අවම කළ යුතු වේ. දැවයෙන් හෝ ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයන් නැතහොත් කඩදාසි රෙදි වැනි දෙයකින් මේවා තනා ගැනීම උචිත වේ.

නිවෙසේ කොටසක් සකසා පදිංචි වී ඉතිරි කොටස තැනීමට උත්සාහ කරන නිවැසියන් විසින් සිද්ධාන්ත වැඩි වැඩියෙන් භාවිතයට ගත යුතු වේ. එවිට තනා ඇති නිවාස කොටසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩිදියුණු වීමෙන් ඉතිරි නිවාස කොටස් නිමවා ගැනීමට නොසිතූ විරූ අවකාශයක් සැළසෙනු ඇත. එහිදී පසුව තනනු ලබන නිවාස කොටසේ දකුණු, නිරිත, බස්නාහිර බිත්ති සීමාව කළු ඝන ඉටි රෙද්දකින් තාවකාලිකව වසා දැමීමද අත්හදා බලා සාර්ථක කර ගත් සරල උපායක් බවද මෙහිදී දැක්විය යුතු වේ. එබඳු අවස්ථාවලදී පිරමිඩ ආශි‍්‍රත මෙවලම් යොදා ගැනීමෙන්ද මෙකී ශක්ති තීව්‍රතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි බව නූතන පර්යේෂණ ඇසුරෙන් තහවුරු වී තිබේ.

මෙහිදී නිවසේ දකුණු, නිරිත, බස්නාහිර, ජනේල හා වෙනත් කවුළුවලට ඝන තිර රෙදිවලින් අලංකාර කිරීමෙන් සිදු කළ යුතු වේ. වර්ණ භාවිතයේදී වඩාත් ලා පැහැති වර්ණ, ඊශානයටත්, වඩා තද පැහැති වර්ණ නිරිතටත් වැඩි ආලෝකයක් ඊශානයටත්, අඩු ආලෝකයක් නිරිතටත් යොදා ගැනීම ප්‍රතිඵලදායක වේ. එවිට නිවසේ අභ්‍යන්තර ශක්ති ක්‍රියාවලිය පහසුවෙන් සමාකාර ලෙස ක්‍රියා කරනු ඇත.

මේ නිර්දේශයන්ගෙන් හැකි ප්‍රමාණයක් භාවිතයට ගත යුතු අතර, ගි‍්‍රල් භාවිතය වෙනුවට පැරණි ව්‍යවහාරයේ පැවති පිත්තල, කිතුල් හෝ වෙනත් දැව ආශි‍්‍රත පොලු ආදිය ජනේලවලින් සොර සතුරන් ඇතුළුවීම වැළැක්වීම සඳහා යොදා ගත හැකි නම් විස්මිත සුවයක් නිවසේ අත්දැකිය හැකි වනු නියතයි.

 

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.