ලක්ෂ්මී රුවෙන් දුරු කළ හැකි වාස්තු දෝෂ

දෙසැම්බර් 8, 2023

 

ජීවන ගමන අසීරුය. අපි සැවොම ජ්‍යාමිතික ලෝකයක් තුළ සිරවී සිටිමු. විවිධ ශක්තීන් හුවමාරු කර ගනිමු. ඉන් සමහරෙක් දොස් සහිතය, විෂ සහිතය, කලිෂ්ටය. තවත් ඒවා සුබදායකය, පිරිසුදුය, ජ්‍යාතිමික හැඩතලවල ඇති අන්තරීක්ෂ බලය, ශක්තිය පිළිබඳ උගන්වන ප්‍රධාන විෂය ඡ්‍යොතිෂයයි. වාස්තු විද්‍යාව ද ඡ්‍යොතිෂය සමඟ අත්වැල් බැඳි විෂය රත්නයකි. වාස්තු විද්‍යාවෙහි එන ප්‍රධාන න්‍යාය ධර්ම සතක් වන්නේය.

1.පාද න්‍යාය 2. වාස්තු පුරුෂ න්‍යාය 3. වාස්තු නාග න්‍යාය 4. රාහු මුඛ න්‍යාය 5. අකචටතප න්‍යාය 6. ගුරුළු න්‍යාය 7. සර න්‍යාය

රාම වාස්තු විද්‍යාවෙහි සාකච්ඡාවට බඳුන් කෙරෙනු ලබන ද්වාරාදි සංකල්ප එනම් ගෘහාංග සංකල්ප සහ ගෘහ පරිමාණය නැතහොත් ක්ෂේත්‍රවල සාධනාදි සංකල්ප සියල්ල උක්ත නාකයන් සමඟ බැඳී පවතී. සූසැට පාද ක්‍රමයේ පටන් අසීමිත වූ පාද ක්‍රම එනම් ද්වාර පාද ක්‍රම, මර්මස්ථාන ගණිතය ආදී සියල්ල “පාද න්‍යාය” තුළ සාකච්ඡා කෙරෙනු ඇත. ගෘහ නක්ෂත්‍ර සාධනා, ගෘහ නිමිති ක්‍රම ආදිය ද එසේමය. මේ ලිපිය ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස නොවේ.

 

සත්‍ය වශයෙන්ම වාස්තුවල බලපෑමක් තිබේද?

කෙටිම පිළිතුර “ඔව්” යන්නයි. පාලක පරීක්ෂණයක් වශයෙන් මල් පාත්තියක් ක්ෂේත්‍රයක් වශයෙන් ගත හැකිය. එහි වටා ආරක්ෂිත වැට බිත්ති සේ, සීමාව සේ ගෙන එම ක්ෂේත්‍රයට විරුද්ධ දෙසින් දොරක් යොදනු ලැබේ. තවත් එවැනිම ක්ෂේත්‍රයක සුදුසු ගැළපෙන දිශාවෙන් දොරටුව යොදනු ලැබේ. මර්මස්ථාන සලකුණු කොට ඒවායෙහි මල් පැළ ඉන්දනු ලැබේ. අන් ස්ථානයන්හිද එසේම සිදු කරනු ලැබේ. මේවා සියල්ල තෝරාගත් කාලවකවානුවල තෝරාගත් වේලාවන්වල සිදුකෙරෙනු ඇත. නිරීක්ෂණය තුළින් වාස්තු නියම සත්‍ය වන බව පසක් වනු ඇත.

මෙසේම බලු කූඩුවක්, පක්ෂි කූඩුවක් නිර්මාණය කොට නිරීක්ෂණය කළ හැකිය. නවීන විද්‍යාවෙන් ඔප වන අපගේ ඇදහිලි සහ විශ්වාස” යන ග්‍රන්ථයේද, භාරතීය ඡ්‍යොතිර්වේදියකු වූ බී.වී. රාමන් පඬිතුමා විසින් රචිත ග්‍රන්ථයක් සිංහල පරිවර්තනයක් වන ‘මිනිසා කෙරෙහි ග්‍රහ බලපෑම්’ යන ග්‍රන්ථයෙහිද ඡ්‍යොතිෂය, විශ්වය, වාස්තු පිළිබඳව සිදුකරනු ලැබූ විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳ හෙළිදරව් කරනු ලැබේ.

 

වාස්තු දෝෂ ඉවත් කරනුයේ කෙසේද?

අපගේ විශේෂ අවධානය යොමුවනුයේ මෙයටය. කිසියම් ගෘහයක හෝ ක්ෂේත්‍රයක යම් දෝෂයක් ඇතිවිටක එම දෝෂය මගහැරෙන පරිදි කැඩීම් බිඳීම්වලින් තොරව කටයුතු කළ හැකිය. සමහර විටක සුළු එකතු කිරීමක් වෙනස් කිරීමක් සිදු කිරීමෙන් දෝෂය මග හරවා ගත හැකි වේ. කුඩා ක්ෂේත්‍රවල වූ නැතහොත් කුඩා නිවෙස්වල සමහර විටක එවැනි වෙනස්කමක් ද සිදු කිරීමට අපහසු විය හැකිය. එවන් අවස්ථාවල බෙලි, සමන්පිච්ච, දළුක්, කොහොඹ පැළයක් එම භූමියේ රෝපණය කිරීමෙන් වාස්තු දොස් යම් තරමකින් මැඬ පවත්වා ගත හැකිය. එසේම අවශ්‍ය නම් වාස්තු ශාන්තිකර්මද සිදු කළ හැකිය. වාස්තු දෝෂ සඳහා ශාන්තිකර්ම නොමැත්තේ යැයි තර්ක කරන එම විෂයෙහි නියැළෙන්නෝ “වාස්තු රත්නාවලිය” ආදී ග්‍රන්ථ තවදුරටත් පරිශීලනය කළ යුතුව ඇත. එම ග්‍රන්ථය පුරාම වාස්තු ශාන්ති කර්ම පිළිබඳව සාකච්ඡා කෙරෙන බැවිනි.

 

සරල දෝෂ නාශකයක්

සමහර විට ඔබේ නිවසේ වාස්තුª දෝෂ තිබිය හැකිය. එසේම නොතිබිය හැකිය. නිවස යනු ඔබේ ආරක්ෂිත ස්ථානයයි. වේදාන්ත අනුව එය රක්ෂා කරන බලවේග තුනකි. ගණදෙවියන්, සරස්වතිය සහ ලක්ෂ්මිය වෙයි. මේ තිදෙනා ශාන්ති කර්ම කලාවේදී දොරටු පාලකයෝ සේ ගැනේ. ඉදින් හින්දු දෙමළ නිවෙස්වල දොරටුවේ මේ දේව රූප තබා පහන් තබනුයේ නිවසේ ප්‍රධාන දොරටු ඉහළිනි. ඒ පිළිබඳව මධ්‍යස්ථව විමසා බැලිය යුතුව ඇත. බෞද්ධාගමිකයෝ දොරටුවට ඉහලින් සීවලී රුව තබා පැන් පූජා කිරීමට පුරුදුව සිටිති. නිවසේ වාසනාව ගෙනෙනුයේ “අන්න පූර්ණා” මාතාව විසින් යැයි විශ්වාසයක් පවතී. ආහාර සහ සෞභාග්‍යය ඉන් සංකේතවත් කෙරේ. බෞද්ධාගමිකයෝ සීවලි රහතන් වහන්සේට පුද පූජා කිරීමෙන් ආහාරත් බුදුහිමියන්ට පූජා පැවැත්වීමෙන් සෞභාග්‍යයත් අපේක්ෂා කරති. ධර්ම මාර්ගයෙහි යන්නෝ ප්‍රඥාමූලිකව මේ කටයුතුවල යෙදෙති.

කිසියම් නිවසක වාස්තු දෝෂ තිබේනම් පරීක්ෂණයක් වශයෙන් යමක් කිරීමට ඔබට යෝජනා කරමි. නිවසේ හරි මැද මර්මස්ථානය කිට්ටුවෙන් ලක්ෂ්මී පින්තූරයක් තබන ලෙසයි. ඒ මෙය නිසි ආකාරයකට වාස්තු නක්ෂත්‍ර අළලා වාස්තු පුරුෂයා නැඟී සිටින මොහොතෙහි සිදු කරන්නේ නම් නිසැකවම වාස්තු දෝෂ මර්දනය වන බව අපි දැක ඇත්තෙමු. වාස්තු පුරුෂයා අවදිවන තැනක් පොදුවේ උදාවනුයේ වසරකට අටවරකි. එහෙත් එම නැකත්ද ප්‍රවේශමින් ඉවසීමෙන් සකස් කරගත යුතුය. ඉදින් ලක්ෂ්මී රූපයකින් මෙවැනි දෙයක් සිදු කළ හැකියැයි ඔබ විශ්වාස නොකරනු ඇත. ඔබේ නිවසේ ලක්ෂ්මී රුව තබන ස්ථානය අනුව ඒ ඒ සාපේක්ෂ ගැටලු නිරාකරණය වනු ඇත. බෙලිගසද ලක්ෂ්මී සාධකයක් බව අමතක නොකළ යුතුය. භූමියේ නිවැරැදිම නිලය බලා බෙලි පැළය සිටුවූයේ නම් එයම නිවසට භූමියට පූර්ණ රැකවරණය ගෙනෙන බව ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් උමා ඡ්‍යොතිෂය සමඟ සබැඳි වාස්තු කලාවේ එවැනි රහස්, බොහොමයක් අද වන විට වැළලී යමින් පවතී.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.