සෙන් උද්‍යාන සතු විස්මිත වාස්තු බලය

දෙසැම්බර් 8, 2023

සෙන් උද්‍යාන යනු වියළි වැලි හා ලොකු කුඩා පර්වත භාවිතයෙන් කරන අසිරිමත් උද්‍යාන නිර්මාණයකි. මෙහිදී විවිධ රටාවන් ඇඳෙන පරිදි අතු පතු ගෑම් සිදු කෙරෙන අතර, ඒවාද කිසියම් භාවනාමය සමාධියක් සඳහා කෙරෙන අභ්‍යාසයක් බවටත් පත් වේ. මෙවැනි උද්‍යාන ගොඩනැඟීමේදී පරිශ්‍රයේ පවත්නා ස්වභාවික පිහිටීම්හි දක්නට ලැබෙන හැඩතල උස්පහත් ස්වභාවය එතරම් වෙනසකට පත් නොකිරීමද මූලික සිද්ධාන්තයක් වේ.

මෙහිදී බොහෝවිට වක්‍ර රටාවන් ඇඳීම සුලභ වුවත් විටෙක ස්ථානීය අදාළත්වය සලකා වෙනත් හැඩතලයක් හෝ ඇඳීම සිදු කළ හැකියි. සමහර දියුණු පිළිවෙත් සමුද්‍රායක් අනුගමනය කරන අපේ රටේ සමහර විහාරස්ථානවලද මෙයට සමාන රටා ඇඳීමක් සමාධිමය අභ්‍යාසයක් සඳහා යොදා ගත් අත්දැකීම් අපට ඇත. වැලි මළුව භාවිත කරමින් සිදු කරන මෙකී අභ්‍යාසයේදී තමන්ගේ අවධානය බිඳී යන අවස්ථාව වැලි මළුවේ අඳිනු ලබන රටා බිඳී යාමෙන් ඔවුනටම වටහාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. කිසියම් අක්‍රමවත් සිතිවිලි ගලා එන අවස්ථාවන්හිදී කිසිසේත් මේ රටාවන් මැනැවින් ඇඳීම පහසු නොවනු ඇත.

කෙසේ වෙතත් පොදු උද්‍යානයක ගිනිකොන හා වයඹ දිශාවන්හි බොරළු හා වැලි සහිතව මෙකී “සෙන් උද්‍යාන” අපගේ අනෙක් උද්‍යාන රටා සමඟ මැනැවින් මුසුකොට නිර්මාණය කර ගත හැකියි. විටෙක පවත්නා ගස් හා පර්වත කේන්ද්‍ර කර ගනිමින් මෙකී රටාවන් ඇඳීම සිදු කළ හැකි අතර, එහිදී ඒවා විසින් උද්‍යානයට රටාවන් ලබා දීම සිදු වේ.

වැස්ස හා සුළඟ විසින් මෙකී සෙන් උද්‍යානයේ විවිධ බාධාවන් සිදු කරනු ලැබූවත් සියුම් මායිම් සැකසීම් හා ජල බැස යෑම් විධිමත්ව සකසමින් අලංකාර සෙන් උද්‍යාන වර්තමානයේ නිර්මාණය කෙරෙන බව අවබෝධ කර ගැනීම අපහසු නොවේ.

සෙන් උද්‍යානයක් නිර්මාණය කිරීමේදී අන් උද්‍යානයකට වඩා දිවා කාලයේදී උණුසුමක් ඒ කොටස්වල ඇතිවන බැවින් උතුර, නැඟෙනහිර, ඊශාන හා නිරිත යන දිශාවන් සඳහා මෙකී සෙන් උද්‍යාන උචිත නොවේ. එහෙත් කිසියම් සෙවණක් වදුලක් පවතින දැවැන්ත ගස් ආශි‍්‍රතව ඒ දිශාවන්හිදී මෙකී වැලි බොරළු, ඇතිරූ රටාවන් සහිත සෙන් උද්‍යාන නිර්මාණය කළ හැක්කේ එහිදී එතරම් තදින් උද්‍යානය රත් නොවන බැවිනි.

තණකොළ හෝ වෙනත් උඳුපියලිය ආදිය යෙදූ බිමක ඇති සිසිලස නොමැති යම් කර්කශ ස්වභාවයක් සහිත මේ උද්‍යානය මැනැවින් පිහිටුවනු ලැබූ විට අන්තරීක්ෂ ශක්තියේ චරණයද අවශ්‍ය ආකාරයට මෙහෙයවා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී තෘණ වර්ග භාවිතයට උචිතම දිශාව වන්නේ ඊශානයයි. එයටම ආසන්න ගැළපීමක් ඇති දිශාවන් වන්නේ නැඟෙනහිර හා උතුරු දිශාවයි.

මේ අනුව උතුර, නැඟෙනහිර හා ඊශාන දිශාවන්ගෙන් ඉඩමට ගලා එන අන්තරීක්ෂ ශක්තිය වඩාත් පහතට එමින් නිවැසියන් වෙත වැඩි වැඩියෙන් ලැබීමට සැලැස්වීම සඳහා මෙකී තණ පලස යොදාගත හැකියි. ඒ අනුව එකී තණ පලස හා එය යට පවත්නා තෙත් ස්වභාවය ඉහළින් ගලා යෑමට නියමිතව තිබූ අන්තරීක්ෂ ශක්තියද වඩාත් පහතින් ගලා ඒමට සැලැසෙන අතර වඩාත් පහසුවෙන් එවැනි ඉඩමක නිරිතට බර වන සේ නිවසක් ඉදිකර ඇත්නම් එහි අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව නොසිතූ විරු ලෙස වැඩි වී නිවසේ ක්‍රියාකාරීත්වය වඩ වඩාත් බලවත් වනු ඇත.

එසේම ගිනිකොන හා වයඹ දිශා තෙත්ව පැවතීම වළකා මනා වාස්තු පරිසරයක් ඇති කිරීමට වැලිබොරළු ඇතිරූ සෙන් උද්‍යාන නිර්මාණ කිරීම අතිශයින් ගැළපේ. එවිට අන්තරීක්ෂ ශක්ති නලයක් සේ සකස් වී අන්තරීක්ෂ ශක්ති ප්‍රවාහයක් ඊශාන, මධ්‍යය, නිරිත රේඛාවේ ක්‍රියා කරනු ඇත.

අන්තරීක්ෂ ශක්තිය ප්‍රවාහයක් ලෙස වැඩි වැඩියෙන් ගලා ඒමට මේ අනුව ගිනිකොණ හා වයඹ උණුසුම වැඩි වීම බලපාන බව පෙනේ. මෙහිදී ශක්ති ප්‍රවාහයක් සමඟ සාමකාමී හා ආධ්‍යාත්මිකවද බලවත් වීම වාසනාව නිවැසියනට හිමි වේ. මෙසේ ශක්තිමත් බලවත් චින්තනයක් සහිතව ක්‍රියා කරන්නන්ගේ කීර්තිය නිතොර වැඩෙනු ඇත.

මෙසේ ගලා එනු ලබන ශක්තිය නිරිත දිශාවේ බලවත් කර ගැනීම සඳහා යම් ආවරණයක් විවෘත භාවය අඩු ස්වභාවයක් ඇති කිරීම අතිශයින් වැදගත් වේ. එවිට නිරිතේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාවත් (Cosmic Engrgy Intensity)  බලවත් වීමෙන් ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවේ පිහිටුවා ඇති නිවාසවල පුද්ගලයන් පොදු සමාජයේද කීර්තිධර, බලවත්, තෙදවත්, සාර්ථක පුද්ගලයන් ඔබට පත්වීම නිසැක වනු ඇත.

 

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.