නොසලකා සිටීමෙන් උග්‍ර වන ගැස්ට්‍රයිටීස්

නොවැම්බර් 17, 2023

ගැස්ට්‍රයිටීස් තරුණ වියේ හා මැදිවියේ අයට බෙහෙවින් බලපාන රෝගයකි. එය පාසල් දරුවන්ටද විශේෂයෙන් බලපා ඇති රෝගයකි. එයට හේතුව වී ඇත්තේ දරුවන්ට නිසි වෙලාවට ආහාර නොදීමත් ජලය පානය නොකිරීමත් හේතුවෙනි. ගැස්ට්‍රයිටීස් යනු ආමාශයේ ඇතුළත සෛල ස්ථරයේ හටගන්නා ආසාදන තත්ත්වයකි.

ගැස්ට්‍රයිටීස්වලදී දක්නට ලැබෙන මූලික රෝග ලක්ෂණ අතර බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, උගුරට ඒම, පපුවේ දැවිල්ල, වියළී ගිය ඔක්කාරය, උදේට කහ පාටට වමනය යෑම, නිතර නිතර වමනය යෑම, තද හිසරදය ආදී රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරේ. මේ රෝගය ඇතිවීමට බලපාන හේතුන්ද රැසකි. ප්‍රධාන වශයෙන් එකිනෙකට විරුද්ධ ආහාරපාන ගැනීම නරක්වූ පිළුණු වූ ආහාර කෑමට ගැනීම නිතර නිතර අන්නාසි, ආදී වූ ඇඹුල් රසැති ආහාර ගැනීම, අධික මිරිස් යෙදූ ආහාර ගැනීම, ගිනියම් ආහාර ගැනීම ආදීන්ද රෝගයට හේතු කාරණා වෙයි.

එපමණක්ද නොව ගැස්ට්‍රයිටීස්වලට බලපාන ආහාර අතර, පාන් පිටිවලින් සකස් කළ ආහාර ගැනීම, ක්ෂණික බීම වර්ග, අධිශීතල ආහාරපාන ගැනීම ආදිය ද වේ. ටිකෙන් ටික බඩගින්න ඇතිවීම නිසා කෙටි ආහාර ගැනීමටද පුරුදු වේ. මේ තත්ත්වය නිසා දෝෂ විසමතාව ඇතිවේ. වා, පිත් සෙම් යන තුන්දොස්වල වෙනස් වීමයි. මෙහිදී පිත් දෝෂයේ වෙනස්වීම රෝගයට ප්‍රධාන කොට බලපානු ඇත. පිත කිපුණු හා නොකිපුණු වශයෙන් කොටස් දෙකකි. ඉන් පිත කිපීමෙන් අම්ල රස දක්වයි. එයද මෙම රෝගයේ ලක්ෂණයකි. ජලය අඩුවෙන් පානය කිරීම මෙන්ම පාන් පිටි කෑමට ගිජුවීම තෙල් ලුණු අධික කෑම ගැනීම කුළුබඩු, මිරිස් අධිකව යෙදූ ආහාර ගැනීම, බඩගිනි ඇති වූ විට කහට තේ බීම මත්පැන් පානය කිරීම, දුම්බීම අනෙක් කරුණු අතර වේ.

කොන්දේ වේදනාව, හිසේ කැක්කුම වගේම හන්දිපත් වේදනාව ද ඇතිවේ. බෙහෙවින් කෘත්‍රිම රසකාරක හා වර්ණකාරක යොදන ලද ආහාර වර්ග නිතර නිතර ආහාරයට ගැනීමද ගැස්ට්‍රයිටීස්වලට හේතුවකි. දරුවන් ගැස්ට්‍රයිටීස් රෝගයට ගොදුරුවීමේ තත්ත්වය වැඩිවෙමින් පවතී. එයට මූලික වශයෙන් වගකිව යුත්තේ මවුපිය වැඩිහිටියන්ය. තම දරුවන් උදෑසන පාසලට යවන විට නිවෙසේදී උදෑසන ආහාර වේල කෑමට නොදී කෑම පෙට්ටියට ෂෝටීස් පාන් පෙත්තක් දෙකක් ජෑම් හෝ බටර් ගෑ පාන් හෝ බනිස් ගෙඩියක් කෙසෙල් ගෙඩියක් හෝ නැතහොත් මුංඇට කඩල, කවුපි හෝ බත්ද ලබා දෙයි. නමුත් සමහර දරුවන් පාසලේදී උදෑසන ආහාරවේල නොගෙන නැවත නිවෙසට රැගෙන එයි. සමහර දරුවන් ඉතා සුළු ප්‍රමාණයක් ආහාරයට ගෙන ඉතිරි කරගෙන රැගෙන එයි. මේ තත්ත්වය හේතුවෙන්ද පසුවට ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීමේ අවදානමක් පවතී.

සමහර තරුණ තරුණියෝ දිවා ආහාරය වෙනුවට කෙටිකෑමක් ගැනීමට පුරුදුව සිටිති. ෂෝටීස් වර්ග සමඟ ශීත කළ බීම පානය කරමින් දිවා ආහාරයේ අඩුව පිරිමසා ගනිති. මෙවැනි තත්ත්වයන්ද මේ රෝගයට හේතුවේ. ගැස්ට්‍රයිට්‍රීස් රෝගයේදී උදරයේ ඉහළ කොටසේදී දැවිල්ලක් ඇති වේ. බඩගිනි ඇති වන විට ද වේදනාවක් ඇතිවේ. එමෙන්ම කැක්කුම් වේදනාවක්ද ඇතිවේ. එමෙන්ම පපුවේ දැවිල්ලක් හෝ පපුව හිරකරන ගතියක්ද දැකිය හැකිය. මේ රෝගයේදී ආමාශගතව සමහර විට තුවාල ද සිදු විය හැකිය. එහිදී දැකිය හැකි කරුණක් වන්නේ ආහාර ගැනීමෙන් පසුව ඇති වන පපුවේ වේදනාවයි. ගැස්ට්‍රයිටීස් රෝගය ගැන මනා අවබෝධයක් ඇත්නම් ලෙහෙසියෙන්ම රෝගයෙන් වැළකී සිටිය හැකිය.

නිසි වේලාවට ආහාර ගැනීම ගුණාත්මක ආහාර ගැනීම මත්ද්‍රව්‍ය, මත්පැන්වලින් හා දුම්පානයෙන් වැළකී සිටීම හා යහපත් පැවැත්මෙන් යුතුව සිටීම, හිස්බඩට, ඇල්වතුර පානය කළ යුතුය. කිරිමෝරු හා යෝගට් ආහාරයට ගැනීමද වඩාත්ම ගුණදායකය. බෙලිගැට තම්බා බීම, බෙලි මද මී පැණි සමඟ ආහාරයට ගැනීම, බෙලි දිය කර මී පැණි සමඟ බීම බෙලිමද පවනේ වියළා කුඩුකර සීනි දමා හිස්බඩට කෑම, පැණි දොඩම් යුෂ මී පැණි සමඟ බීම කුරුම්බා, තැඹිලි වතුර ලොඳ සමඟ දවසට දෙවරක් ගැනීම වැටකෙයියා බඩ ඉස්ම කැඳ පිස උදේ හිස්බඩට බීම, උඳුපියලිය කැඳ පානය කිරීම කීකිරිඳිය යුෂ පානය කිරීම, නෙල්ලි යුෂට මී පැණි දමා බීම හාතාවාරිය කුඩු මී පැණි මිශ්‍රකර අනා ආහාරයට ගැනීම කොත්තමල්ලි හා වියළි ඉඟුරු කුඩුකර වතුර සමඟ බීම ,සැවැන්නමුල් බෙලිමුල් හා පත්පාඩගම් සමවගෙන වියළා කුඩු කර උණුවතුරෙන් දියකර උක්සකුරු සමඟ බීම සුවදායකය.

පලතුරු ආහාරයට ගැනීම, නිතර ජලය පානය කිරීමද සුවදායකය. ගැස්ට්‍රයිටීස් රෝගය ගැන මනා දැනුමකින් කටයුතු කිරීම නීරෝගිතාවට හේතුවකි. උදරයේ දාහය හෙවත් දැවිල්ල ඇඹුල් ඔක්කාරය, බඩේ වේදනාව ආදි රෝග ලක්ෂණ ගැනද දැනුම්වත්ව සිටිය යුතුය. මුලින් සඳහන් කළ පරිදි කෑමෙන් බීමෙන් ආරක්ෂාවීම නැතහොත් සුදුසු නුසුදුසු ආහාර ගැන දැනුම්වත්වීම නීරෝගිතාවය රැක ගැනීමට හේතුවකි.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.