රසකැවිලි හා තෙල් කෑම නිතර නිතර කෑමෙන් ඇතිවන අජීර්ණය

අප්‍රේල් 26, 2024

අවුරුදු උත්සව සමයේ දී නොයෙක් ආකාරයේ රසකැවිලි, තෙල් බැදුම්, ව්‍යංජන, මස්, මාංශ, තෙල් මිශ්‍ර බත් වර්ග, අයිස් ක්‍රීම්, ෆෘට්සැලඩ්, සව්දොදොල් (වැලිතලප) ආදී කෑම වර්ග නිතර නිතර කමින් කාලය ගත කරන දරුවන් මෙන්ම වැඩිහිටියෝද බෙහෙවින්ම සිටිති. අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටු කරමින් තම නිවෙසේදී කිරිබත් ඇතුළු රසකැවිලි අනුභව කොට ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස්වලට යන අය නැවත නැවතත් කලින් අනුභව කළ කෑම වර්ග කමින් තේ, කෝපි හෝ ශීතකල බීම වර්ග පානය කරමින් විනෝද වෙති. සමහරු මත්වතුර සමඟ රසකැවිලි, පුළුටුජාති හා මස් මාංස කෑමටද දැඩි ඇල්මක් දක්වති. මේ අයුරින් ආහාර ළඟ ළඟ ගැනීමෙන් ඇතිවිය හැකි රෝග බොහෝ ය.

අවුරුදු සමයේදී සෑම නිවෙසකම නොයෙක් රසකැවිලින් යුත් කෑම මේසය සකස් කරනු ලබන්නේ පැමිණෙන අයට සංග්‍රහ කිරීමටය. ඒවා දැකීමෙන් ඇතිවන ආශාව නිසා නැවත නැවතත් තෙල්, සීනි, පැණි, ලුණු අධික රසකැවිලි කෑමටම උනන්දුවේ. මෙලෙස ළඟ ළඟ ආහාර ගැනීමෙන් වැඩ වැඩි වන්නේ ආමාශයටයි. දිනකට කීපවතාවක්ම ළඟ ළඟ ආහාර අනුභව කිරීම නිසා ආමාශය අවිවේකීභාවයට පත්වේ. මේ නිසා වමනය පවා ඇතිවීමට හේතු වේ. සමහරුන් මෙලෙස නිතර නිතර ආහාර ගැනීම නිසා ඔවුන්ට නිදිමත ගතියක් පවා ඇතිවේ. එහිදී ඉඳගෙන සිටින අසුනේ පවා සුළු වශයෙන් නින්දට යෑමක් පවා සිදුවේ. කිරිබත් වුවද නිතර අනුභව කිරීම සෞඛ්‍යයට අහිතකරය.

ආහාර අනුභවය

අවුරුදු නැකැතට පිසින ප්‍රධාන ආහාර කිරි බතයි. දවසට එක්වරක් නොව තුන්හතර වතාවක් වුවත් කිරිබත් ආහාරයට ගන්නා අයද සිටිති. එසේ කෑම ඉතාම අහිතකරය. කිරිබත ගුරු ගුණයෙන් හා මධුර රසයෙන් යුක්ත කිරිබත් රක්ත පිත්තයට ඉතා ගුණවත් වේ. වාතය හා පිත සමනය කරනු ලබන කිරිබත ආහාර ජීර්ණය මනා ලෙස ක්‍රියාත්මක කරයි. ඒ ගිතෙල් මිශ්‍ර කිරිබතක් පිසීමෙනි. තෙල්, සීනි, පැණි හා ලුණු මිශ්‍රව සාදා ගන්නා ලද රසකැවිලි වර්ග අධික ලෙස වරින්වර කෑමෙන් තෙල් හා පිෂ්ඨ ධාතුව වැඩිවේ. රුධිරයේ සීනි මට්ටම මෙන්ම රුධිරයේ මේද ප්‍රමාණය අධික ලෙස වැඩිවීමට හේතු වේ. එපමණක් නොව ආහාර ජීර්ණවීමද පමා කරයි.

අවුරුදු කෑම මේසයට අච්චාරු වර්ග, චට්නි වර්ග හා අන්නාසි වැනි ආහාර වර්ග ද නොඅඩුව තිබේ. තෙල් අධික කෑම වර්ග ආහාරයට ගෙන සිටින අවස්ථාවලදීම එවැනි ආහාරද ගැනීමෙන් පිත් දෝෂය කෝප වී ශරීරයේ දාහය කැසීම, බිබිළි හටගැනීමද අධික ලෙස දහඩිය දැමීම ද ඇතිවේ. එබැවින් මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නම් ආහාර ගැනීම සීමාවකින් යුතුව කළයුතුය. එසේ නොකොට සීමාවකින් තොරව බඩජාරිකමට දකින දකින ආහාර කෑමෙන් චර්ම රෝග වැලඳීමටද හේතුවේ. වර්තමාන සමාජයේ සමහර පවුල් අතර ඇල්කොහොල් මත් වතුරට කෑම මේසයේ ඉඩක් ලබා දී ඇති බව පෙනේ. වෑංජන සහිත බත්කනවාට වඩා බැදපු මස් මාංස, කුකුල් මස්, ඌරු මස් හෝ හරක් මස් අනුභව කරමින් මත් වතුර පානය කිරීම පුරුද්දක් කරගෙන ඇත. මෙසේ හැසිරීම නිසා මත් ගතිය වැඩිවී ආහාර රුචිය පවා අඩු කරවයි. මෙහිදී සිදු වන්නේ අජීර්ණය පමණක් නොව වමනය පවා දැඩිව ඇතිවීමයි. ඊට අමතරව අම්ලපිත්තය, අර්ශස් අක්මා ආදී රෝග ද ඇතිවීමට හේතුවිය හැකිය.

නිසි වේලාවට නිසි ලෙස සකස් කර නොගන්නා ආහාර නිසා අපව රෝගී වෙයි. බෙහෙවින් තෙල් අධික ලුණු අධික ආහාරවලින් වැළකී සිටිය යුතු ය. අජීර්ණයක් ඇතිවීමට හේතු සාධක බොහෝ වේ. එක් ආහාර වේලක් දිරවීමට පෙර අනෙක් ආහාර වේල ගැනීම පුරුදු ආහාර වේල මඟහැර තෙල් අධික ලුණු අධික, තෙල් බැදුම් සහිත ආහාර ගැනීම පිළුණුවූ ආහාර ගැනීම ගත් ආහාරයම ටික ටික වේලාව කල් නොයවා ගැනීම, තෙල් අධික පොල් කිරි අධික බැදුම් කෑම ජාති නිතර නිතර කෑම ද වේ.

අජීර්ණය ඇති වූ විට

ඇඹුල් රසය උගුරට ඒම වමනය යෑමට ඒම, කලාන්තගතිය, කැරකැවිල්ල, තොලකට වියළීම, අධික වෙහෙසක් දැනීම, දහඩිය දැමීමම, ශරීරයේ දැවිල්ල, කම්මුල් හා ඇස්යට ඉදිමීම, උදරයේ වේදනාව, ඇඹුල් රස උගුරට ඒම ද වේ. කෑමට පි‍්‍රයක් නොමැතිවීමත් අජීර්ණයේදී ඇතිවන රෝග ලක්ෂණ කීපයකි.

ප්‍රතිකාර

සූදුරු කබලේ බැද සිහින්වෙන්න කුඩුකර උණුවතුරින් තැම්බෙන්න තබා ටික ටික වරින්වර බීමට දීම. සාදික්කා ගෙඩියක්, දෙහි ඇඹුලින් ගලගා මඳ උණුසුම් ජලයෙන් වරින්වර බීමට දීමද බැදි සහල් කැඳ බීමට දීම. ඉරිවේරිය හා අමු ඉඟුරු එකට කොටා පෙරා ඉස්ම පානය කිරීමට දීම, සුදුලූනු බික් දෙකතුනක් පුළුස්සා කෑමට දීම, තැම්බුම් හොද්දක් සාදා ආහාර ගන්නාවිට හොදි සමඟ ආහාර ගැනීම. අජීර්ණය ඇති බව දැනගත් විගසම උණුවතුර ටික ටික පානය කිරීම. අරළු, බුළු, වගපුල්, රත්නෙටොල්, සිද්ධිගුරු, සවිඳලුණු මේ හැම එකට ගෙන චූර්ණකර උණුවතුර සමඟ බොනු. තිප්පිලි තිප්පිලිමුල්, සිවියමුල්, රත් නෙටොල් වියළි ඉඟුරු යන මේවා කසාය කර සීනි මී පැණි සමඟ බොනු.

ගෘහිණියන්ද බොහෝවිට නොසැලකිලිමත් භාවයෙන් කටයුතු කිරීම නිසා යම් යම් රෝගාබාධයන්ට පවා තම නිවැසියන් ලක්වේ. මුළුතැන්ගේ තුළ කෑම ජාති සකස්කිරීමේදී භාවිත කරන තෙල් බැදුම්වලට හා තෙම්පරාදු කිරීමට ගන්නා තෙල් නැවත පරිහරණයට නොගතයුතු බවයි. ඒ වරක් පාවිච්චි කොට තබන ලද තෙල් රසායනික වෙනස්කම් රැසක් සිදුවෙයි. එය නැවත පාවිච්චියට ගැනීම සුදුසු නොවේ.

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.