අර්ශස් ජීවිතය එපා කරවන්නට පෙර...

නොවැම්බර් 17, 2023

කැෆේන් හා කෝලා පාන, චොක්ලට් බහුල භාවිතය, දිනකට අඩු ජල ප්‍රමාණයක් භාවිතය එළවළු හා මැල්ලුම් ආහාර අවම ලෙස භුක්ති විඳීම වැනි තත්ත්වයන් අර්ශස් රෝගයට බලපාන අයහපත් ජීවන තත්ත්වයන් වේ.

අර්ශස් හටගැනීම ජීවිතයේ මුල් අවධියේ දී ආරම්භ වී වයසට යත් ම වර්ධනය වන රෝගී තත්ත්වයකි. ගුදයේ පහළ කොටසේ වර්ධනය වන මෙහි රුධිරය එකතු වී මළ පිටවම පහසුකරලීම සඳහා ගුද කොට්ටා (Anal Cushions) නමින් හැඳින්වෙන මලු (Sacks)  බවට පත් වේ.

මළ පහවීම, හුස්ම පිටකිරීම වැනි සරල ක්‍රියාවක් ලෙස පෙනුණ ද මළ පිටවීමේ තත්ත්වයට පත්වීමට ප්‍රථම තවත් කාර්යාවලී කිහිපයක් සිදුවිය යුතු ය. මළ මාර්ගය වායුව නොයන තත්ත්වයක පැවතිය යුතු අතර හිදැසි ආදිය වේ නම් රුධිරය පිරුණු කොට්ටා මඟින් ඒවා වැසිය යුතු ය.

අදියර කීපයක්

අදියර කිහිපයකින් යුත් මේ තත්ත්වයේ ප්‍රථම අදියරේ දී රුධිර වහනය සිදු වේ. මළ බද්ධයෙන් පෙළෙන අයෙක් මළ පහ කිරීම සඳහා තැටමූ විට හෝ කිසිවෙක් දිනකට කිහිප වතාවක් මළපහ කළ විට තව තවත් රුධිරය එකතුවීම නිසා මෙම ගුද කොට්ටා විශාල වේ. මෙලෙස කොට්ටාක්ෂිති Traumatized) තත්ත්වයට පත්වීම නිසා රුධිරය වහනය විය හැකි ය. මෙය අර්ශස්වල පළමු අදියරයි. රුධිර වහනය මළ පහවීමට පෙර හෝ පසු සිදුවිය හැකියි.

දෙවන අදියරේ දී විශාල වූ කොට්ටා ගුදයෙන් පිටතට නෙරා ඒ මළ පිට කිරීමට තටමන විට ගුදයෙන් පිඩුවක් (Lump)  පිටතට පැමිණෙනු රෝගියාට දැනේ. මළපහ කිරීමෙන් පසු එය ඉබේම ආපසු ගුද මාර්ගය තුළට යයි.

තෙවැනි අදියරේ දී මෙම පිඩුව ඉබේම ගුද මාර්ගයට නොයයි. එය ඇඟිල්ලෙන් ඇතළු කිරීමට රෝගියාට සිදු වේ. අදාළ ප්‍රදේශය සංවේදී නොවන නිසා කිසියම් අපහසුතාවක් දැණුන ද වේදනාවක් ගෙන නොදේ.

සිව්වැනි අදියරේ දී මේ පිඩුව ඇඟිල්ලෙන් ඇතුළට තල්ලු කිරීමට නොහැකි වේ. දින කිහිපයකින් මේ පිඩුව ක්‍රමයෙන් විශාලවීමට පටටන් ගනී. මෙවිට තදබල වේදනාවක් හටගත හැකි හෙයින් මෙවන් රෝගීන් අප්‍රමාදව වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය.

රෝග ලක්ෂණ

අවසන් අදියර දක්වා අර්ශස් වේදනාකාරී නොවේ. රුධිර වහනයට අමතරව සුදු පැහැති දියරමය ශලේෂ්මල වහනයක් (Mucous Discharge) ගුදයෙන් පිටවිය හැකි අතර කැසීමක් ද හටගත හැකි ය. මළපහ වීමට ප්‍රථමයෙන් රුධිරය වේගයෙන් ගලා ගොස් මළ පිටවන විට එය නතර වී මළ පිටවීමෙන් පසු රුධිරය නැවත වහනය විය හැකිය.

අධික රුධිර වහනය නිසා හිමොග්ලොබින් මට්ටම 50%කින් පමණ අහිමිවීම හේතුවෙන් රෝගියාට නීරක්තිය ඇති වී අලසකම, ශාරීරික දුර්වලතාව, වෙහෙසකර ගතිය, හතිය, නිදිමත, වළලුකර ඉදිමීම, සුදුමැලිවීම හා මුහුණ ඉදිමීම වැනි රෝග ලක්ෂණ පහළවිය හැකි ය. නීරක්තියෙන් පෙළෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් වෛද්‍යවරුන් වෙත පැමිණෙන අතර එයට මූලික හේතුව අර්ශස් ආබාධය බව ඔවුහු හඳුනා ගනිති.

රෝග විනිශ්චය

මෙය වේදනා රහිත ආබාධයක් හෙයින් හා රෝගය වර්ධනය වන්නේ සෙමින් හෙයින් එහි තුන්වැනි හෝ හතරවැනි අදියරට එළඹෙන තෙක් රෝගීහු මේ රෝගය නොසලකා හරිති. මේ ප්‍රමාදයේ ඇති භයානකකම නම් අර්ශස් ආබාධය කෙමෙන් වර්ධනය වීම නොව ජීවිතයට තර්ජනයක් විය හැකි වෙනත් බරපතළ ආබාධයක් අර්ශස් ලෙස වරදවා වටහා ගැනීම ය. වේදනා රහිත රුධිර වහනය දුස්සාධ්‍ය ප්‍රදාහය සහිත බඩවැල් ආබාධවලදීත් ගුද පිළිකාවලදීත් දැකගත හැකි ය. මෙය ගුද පිළිකා තත්ත්වයක් ද යන්න බැහැර කිරීම සඳහා මළපහ කිරීමේ වෙනස්කම් මෑතක දී සිදුව ඇත් ද යන්න කෙරෙහි වෛද්‍යවරු අවධානය යොමු කරති.

ප්‍රතිකාර

මුල් අදියරේ දී රෝගය හඳුනා ගතහොත් පුළුල් සායනික ඇගයීමකින් පසු සෙලිරෝතෙරපි නික්ෂේපණය (Sclerotherapy Injection) සිදු කරනු ලැබේ. වේදනා රහිත ක්‍රියාවළියක් වන මෙහි දී විශාල වී අති කොට්ටය හැකිලී විනාශ වී යයි. බෑන්ඩින් (Banding)  නම් අනිත් විකල්ප ප්‍රතිකාර ක්‍රමයේ දී මේ පිඩුව උපකරණයක් මඟින් උරාගෙන එය වටා රබර් පටියක් දමනු ලැබේ. අර්ශස් වර්ධනය වන ප්‍රදේශ සංවේදී නොවන හෙයින් මේ ක්‍රියාදාම දෙකම වේදනා රහිත ය. මේ කාර්යය සඳහා රෝගියාට රෝහල්ගතව සිටීමට සිදුවන්නේ පැය කිහිපයක් පමණි. මෙම ප්‍රතිකාර දෙකෙහි දී ම සිදුවන්නේ එය හැකිළී නැතිව යා ය.

සැත්කම් ප්‍රතිකාරය

රෝගය තවත් වර්ධනය වුවහොත් විවෘත සැත්කම් ප්‍රතිකාරය හෝ ස්ටේපල් හෙමොරොයිඩෙක්ටොමි (Stapled Haemorrhoidectomy) ප්‍රතිකාරය හෝ රෝගියාට තෝරාගත හැකි ය. රෝගියා සාර්ව ලෙස නිර්වින්දනය කර හෝ සුෂුම්නා නිර්වින්දනය කර විවෘත සැත්කමකින් අර්ශස් ගෙඩි ඉවත් කරනු ලැබේ.

ස්ටේපල් හෙමොරොයිඩෙක්ටොමි ප්‍රතිකාරය සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවේ. මෙහිදී ස්ටේපල් යන්ත්‍රයක් වැනි උපකරණයකින් අර්ශස් ගෙඩිවලට කොකු විශේෂයක් ගසනු ලැබේ.

මේ සඳහා දින දෙකක් පමණ රෝහල් ගත වී සිටිය යුතු අතර සති එකහමාරකින් පසු සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකිය.

වළක්වා ගැනීමට හොඳම උපදෙස්

නිතිපතා ව්‍යායාම කිරීම සහ තන්තුවලින් පොහොසත් පලතුරු හා එළවළු ප්‍රමාණය වැඩි සමබල ආහාරයක් ගැනීම මළපහ කිරීම පහසුකරලීමට උපකාර වේ. ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් පානය කරන්නේ නම් මළ පිටකිරීම සඳහා තැටමීමට සිදු නොවේ. මළබද්ධය ඇති කරන කැෆේන් හා කෝලා පාන ද චොකලට් ආදිය ද ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. මළපහ කිරීමට අවශ්‍ය වූ විට පමා නොවී වැසිකිළියට යාමටත්, තැටමීමෙන් වැළකී සිටීමටත් වග බලා ගත යුතු ය. පිඩුවක් ඇතත් නැතත් රුධිර වහනයක් ඇතිවුවහොත් අප්‍රමාදව වෛද්‍යවරයකු හමුවිය යුතු ය.

 

උපදෙස් - වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාර්ය

ධම්මිකා අමරසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.