සෙල්ලම් කරද්දි අත කැඩුණොත්?

පෙබරවාරි 23, 2024

අස්ථි වර්ග කිරීමට අනුව දිගු අස්ථියක් ලෙස වර්ග කෙරෙන ප්‍රගණ්ඩ අස්ථිය ඉහළ ගාත්‍රවල උඩුබාහුව සෑදීමට ප්‍රධාන වනවා. හිස, මැද කොටස හෙවත් දණ්ඩ සහ පහළ කොටස ලෙස මේ අස්ථිය ප්‍රධාන කොටස් තුනකට වෙන්කර දක්වන්නට පුළුවන්. හිස කොටස මඟින් උරහිස සන්ධිය සෑදීමට දායක වන ප්‍රගණ්ඩ අස්ථිය පහළ කොටස මඟින් වැලමිට සන්ධිය සෑදීමට දායක වෙනවා.

වයස අවුරුදු 5ත් 11ත් අතර වියේ පසුවන දරුවන් සහ වයස අවුරුදු 12ත් 15ත් අතර වියේ පසුවන නව යොවුන් වියේ පුද්ගලයන් සැලකීමේදී ඔවුන් අතර සිදුවන අස්ථි බිදීම් වලින් වැඩි කොටසක් ප්‍රගණ්ඩ අස්ථිය ආශ්‍රිතව සිදුවීම සුලභ තත්ත්වයක්. මීට හේතුව වන්නේ මේ වයස් කාණ්ඩවල මේ ද දරුවන් සහ නව යොවුන් වියේ පසුවන පුද්ගලයන් සාපේක්ෂව වැඩි වශයෙන් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමයි.

ප්‍රගණ්ඩ අස්ථියේ බිඳීම ඇතිවීමට ප්‍රධාන සාධක දෙකක් බලපානවා.

1. උරහිසෙන් අත ඉවතට වන සේ සිදුවන වැටීම්(Falling on out stretched hand )

2. ප්‍රගණ්ඩ අස්ථියට එක එල්ලේ ඇතිවන පීඩනයක්(Direct impact ).මේ තත්ත්වය වැදීමක්, වැටීමක් හෝ පහර වැදීමක් නිසා සිදුවන්නට පුළුවන්.

ඉහත හේතු කාරණා නිසා සිදුවන ප්‍රගණ්ඩ අස්ථියේ බිඳීම්වලදී හිස කොටසට සහ දණ්ඩක් ආකාරයට පවතින මැද කොටසට හානි සිදුවීම එතරම් සුලභ වන්නේ නෑ. එහෙත් අස්ථියේ පහළ කොටසේ විවිධ වර්ගයේ බිඳීම් ඇතිවන්නට පුළුවන්.

ප්‍රගණ්ඩ අස්ථියේ පහළ කොටස හිස සහ මැද කොටසට වඩා පැතලි ආකාරයකට පිහිටනවා. මීට හේතුව වන්නේ වැලමිට සන්ධිය සෑදීම සඳහා අරාස්ථිය සහ අන්වරාස්ථිය සමඟ සම්බන්ධ වීම සහ යටිබාහුවේ ඇතුල පැත්තෙන් සහ පිට පැත්තෙන් ඇති මාංශ පේශිවලට සම්බන්ධ වීමටත්ය. මේ කොටසේ ඇතිවිය හැකි බිඳීම් ප්‍රධාන ස්ථාන තුනකදී සිදුවන්නට පුළුවන්.

1. පැතලි කොටසට මඳක් ඉහළින් Supracondylar ridge  කොටසේ සිදුවන බිඳීම්

2. පැතලි කොටසේ ඇතුල් පැත්තෙන් Medial epicondyle  කොටසේ සිදුවන බිඳීම්

3. පැතලි කොටසේ පිට පැත්තේ Lateral epicondyle  කොටසේ සිදුවන බිඳීම්

මේ එක් එක් බිඳීම වර්ගය පිළිබඳව වෙන වෙනම විමසා බලමු.

ප්‍රගණ්ඩ අස්ථියේ පහළ කෙළවර පැතලි කොටසට ඉහළින් සිදුවන බිඳීම්

වයස අවුරුදු 5ත් 10ත් අතර වයසේ පසුවන දරුවන්ට සිදුවන ප්‍රගණ්ඩ අස්ථියේ බිඳීම් වලින් 65%-75% අතර ප්‍රමාණයක් සිදුවන්නේ මේ කොටසටයි. මෙහිදී ඇතුළු පැත්තෙන් හෝ පිට පැත්තෙන් බිඳීම සිදුවිය හැකි අතර, සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් එය සිදුවන්නට පුළුවන්. වේදනාව,ඉක්මනින් සිදුවන ඉදිමීම සහ වැලමිට සන්ධිය ආශ්‍රිතව සිදුවන චලන අපහසුතාවය මේ අස්ථි බිදීමක මූලික ලක්ෂණ ලෙස දක්වන්නට පුළුවන්.

ප්‍රතිකාර

කුඩා දරුවකු ඉහළ ගාත්‍රයට හෝ වැලමිටට සිදු වූ අනතුරකින් පසුව ප්‍රතිකාර සඳහා පැමිණි විට වෛද්‍යවරයා විසින් පළමු රෝගියා නිරීක්ෂණය කර අනතුර සිදුවූ ආකාරය පිළිබඳව විමසා බැලිය යුතුයි. ඉන් පසුව බිදීමට ලක්වූ ස්ථානය අතින් අල්ලා පරීක්ෂා කොට බිදීම සිදුවී ඇති ආකාරය හා ස්ථානය පිළිබඳව රෝග විනිශ්චයට පැමිණිය යුතුයි.

ඉන් අනතුරු පාරම්පරික තෛල ගල්වා බිඳීම සිදු වී තිබෙන ස්ථානයේ මාංශ පේශි තද ස්වභාවය (Muscle spasm ) අඩු වීමත් සමඟ පාරම්පරික අස්ථි නැවත පිහිටුවීමේ(Reducing ) ශිල්පීය ක්‍රම භාවිතා කරමින් බිදුණු අස්ථි කොටස් නැවත නිවැරදි පිහිටුමට ගෙන ආ යුතුයි. මෙහිදී වැලමිටි සන්ධියේ විස්ථාපනයක් සිදුවී ඇත්නම් එයද නිවැරැදි කරමින් වැලමිටි සන්ධිය ද ඒ සමඟම ප්‍රතිස්ථාපනය කළ යුතුයි.

ඉන් අනතුරුව වෛද්‍යවරයාගේ පළපුරුද්ද සහ දක්ෂතාවය මත තෙල් පත්තු , ක්‍රීම් පත්තු හෝ මැල්ලුම්පත්තු භාවිතා කිරීම කළ යුතුය.

බිඳීම සිදු වූ ස්ථානය සහ ඊට ඉහළින් සහ පහළින් පවතින සන්ධි දෙකම නොසෙල්වෙන පරිදි ඉහළ ගාත්‍රවලට පතුරු තබා බැඳීම සිදු කළ යුතු වනවා. කුඩා දරුවන් නිසා මේ පතුරු නිවැරැදි පිහිටීමට අනුව සෑම විටම තබා ගැනීමට දෙමව්පියන්ට උපදෙස් ලබා දිය යුතුමයි.

කුඩා දරුවන් හට සිදුවන ප්‍රගණ්ඩ අස්ථියේ බිඳීම් සුව වීම සඳහා සති හතරක පමණ කාලයක් ගතවෙනවා. එහෙත් වෛද්‍යවරයාගේ දක්ෂතාවය සහ හැකියාව මත මීට අඩු කාලයක් තුළදී වුවද බිදුණු අස්ථි කොටස් නැවත සවිකිරීමේ හැකියාව පවතී.

ඇතිවිය හැකි සංකූලතා

සිදුවූ අස්ථිබිඳීමට ඉක්මනින් නිවැරැදි ප්‍රතිකාර සිදු නොකරන අවස්ථාවලදී යටි බාහුවේ ඇතිවන අධික ඉදිමීම් තත්වය නිසා ඒ ආශ්‍රිතව පවතින මෘදු පටක සහ ස්නායුවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වී හානි වීම් (Compartment syndrome ) සිදුවන්නට පුළුවන්. අස්ථිය නැවත නිවැරැදිව සකසා පතුරු තබා බැඳ ඖෂධ ගැල්වීම කළ පසුව ද බිඳුණු අස්ථිය ආශ්‍රිතව ආසාදන ඇතිවීමට නැඹුරු තාවයක් පවතිනවා. බාහිරින් තුවාල පවතින අවස්ථාවලදී මේ තත්ත්වය උග්‍ර විය හැකි අතර මුල් අවස්ථාවේ සිටම වෛද්‍යවරයා මේ පිළිබඳව වැරැදි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

ප්‍රගණ්ඩ අස්ථි සහ වැලමිට සන්ධියට ආසන්නයෙන් පවතින රේඩියල්, අල්නා සහ මීඩියන් ආදී ස්නායු මේ වර්ගය අස්ථි බිදීම් සමඟ අනවශ්‍ය පීඩනයකට සහ තෙරපීමකට ලක් වන්නට පුළුවන් මේ නිසා යටිබාහුව, මැණික් කටුව සහ ඇඟිලි ආශ්‍රිත මාංශ පේශවල දුර්වලතාවයන් හට ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා චීන කටු වෛද්‍ය ප්‍රතිකාර ඉතා සුදුසු වුවත් වයස අනුව එම ප්‍රතිකාර භාවිත නොකළ යුතු අවස්ථාවලදී පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් පූර්ණ සුවයක් ලබාගත හැකිය.

අස්ථි බිඳීම සුව වනතුරු වැලමිට සන්ධිය නොසොල්ලවා තබා ගැනීම නිසා අස්ථි බිඳීම සුව වූ පසුව වැලමිට සන්ධියේ චලන අවහිරතාවයක් සහ තද බවක් ඇති වන්නට පුළුවන්. නිවැරැදිව සිදු කරන ව්‍යායාම සහ පරම්පරික ප්‍රතිකාර මඟින් මේ තත්ත්වය මගහරවා ගන්නට පුළුවන් .

මේ වර්ගය අස්ථි බිදීම් නිසි පරිදි දිශානතියක් සහිතව සුව නොවන විට (Mal-union)  වැලමිට සන්ධියේ ඇතුළට හෝ පිටතට ඇදවීමක් සහිත පිහිටන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී අනවශ්‍ය පරිදි කල්ගත වීමකින් පසු අස්ථිය තද වී ඇතිනම් නැවතත් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් නිවැරැදි කළ යුතුයි .

මෙවැනි අස්ථි බිදීමකදී සිදු කළ යුතු ප්‍රථමාධාර

 

මෙවැනි අනතුරක් දරුවෙකුට සිදු වූ වහාම බිඳුණු අස්ථි තවදුරටත් හානි වීම අවම කිරීම සඳහා ශරීරයට ළං වන සේ හැකිතාක් නොසොල්වා තබා ගත යුතුය.මේ සඳහා දරුවා ඇඳ සිටින කමිසය, ඇඳුම හෝ පිරිසිදු රෙදිකඩක් භාවිතා කරන්නට පුළුවන්. බිඳුණු අස්ථිය තවදුරටත් නොසෙල්වෙන සේ ලී පතුරු තබා බැඳීම වඩා යෝග්‍ය වුවත් ඒ පිළිබඳව නිසි අවබෝධයක් නැතිනම් පතුරු තැබීම නොකළ යුතුයි. එමගින් බිදුණු අස්ථියට අනවශ්‍ය පරිදි වැඩි පීඩනයක් එල්ල වී සිදුවූ හානිය වැඩි වන්නට පුළුවන්.

පිටතින් තුවාල සිදුවී නොමැති අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයකට යන තෙක් බිඳුණු අස්තිය නොසොල්ලවා තබාගන්නා ගමන්ම වේදනාව සහ ඉදිමීම අඩු කිරීමට අයිස් භාවිත කරන්නට පුළුවන්. මෙහිදී අයිස් කැට කිහිපයක් ගෙන පොලිතින් බෑගයක දමා බිඳීම සිදුවූ ස්ථානයේ මිනිත්තු 15-20ත් අතර කාලයක් තැබීම වඩා යෝග්‍ය වෙනවා. ඉදිමුම සහ වේදනාව අඩුකර ගැනීම සඳහා කිසිවිටෙකත් උණුවතුර, උණු බත් හෝ උණු අළු වැනි රස්නය සහිත කිසිම දෙයකින් තැවීම නොකළ යුතුයි. මෙමගින් අභ්‍යන්තරයේ සිදු වූ ඉදිමීම වැඩිවී අනවශ්‍ය හානියක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ ආකාරයට ප්‍රථමාධාර ලබා දෙමින් ප්‍රතිකාර සඳහා ඉතා ඉක්මනින්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම කළ යුතුයි.

පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ

චීන කටු වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.