ග්‍රහයින්ට හිමි වෘක්ෂවලට සාත්තු කිරීමෙන් ග්‍රහ අපල දුරුවෙයිද?

මාර්තු 18, 2022

 

පුරාතනයේ සිටම මිනිසාත් ගහකොළත් අතර තිබුණේ සමීප සම්බන්ධතාවකි. උපතේ සිට මරණය දක්වාම මිනිසාට වෘක්ෂලතාදිය ප්‍රයෝජනවන බවත්, උපකාරිවන බවත් අපි දනිමු. අපේ ආහාර, බෙහෙත් ද්‍රව්‍ය හා නිවෙස අලංකාරය කරන ගෘහභාණ්ඩ ආදී සියලුදේම සම්පාදනය වන්නේ අප අවට තිබෙන වෘක්ෂලතාවන්ගෙනි. අපට නොපෙනෙන විද්‍යාවට ද හසු නොවන අගනා සේවයක්ද වෘක්ෂලතා ආශ්‍රයෙන් මිනිසාට සිදුවේ.

 

යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, සෙත් ශාන්ති කිරීමේදි ඉතා පුරාණයේ සිටම දෙහි අත්ත, අඹ අත්ත, කොහොඹ අත්ත පාවිච්චි කළහ. ඒ අනුව අපට පෙනී යන්නේ අපට පෙනෙන හා අප දන්නා ප්‍රමාණයට වඩා වැඩිදෙයක් වෘක්ෂලතාදියට ඇති බවයි. ග්‍රහ අපල උවදුරු, ඒරාෂ්ටක අපල දුරුකර ගැනීම සඳහා යම් යම් වෘක්ෂවලට සාත්තු කිරීම, අතපතගෑම, අවතේව කිරීම, ස්පර්ශ කිරීම ග්‍රහ අපල දුරලන ඉතා ශුභඵලදෙන කාර්යයක් බව අනාදිමත් කාලයක සිටම පැවත එන ඡ්‍යොතිෂමය ප්‍රතිකර්මයකි.

ග්‍රහ අපල උවදුරු, සෙනසුරු ඒරාෂ්ටකය යනු සූර්යයා වටේ භ්‍රමණය වන්නාවූ ග්‍රහ වස්තුන්ගේ අයහපත් කිරණ මිනිස් සිරුරට වැදීමෙන් රූපකායේ හා මනෝකායේ ඇතිවන චලනය, කම්පනය හේතුකොට ගෙන සිදු වන අයහපත් ප්‍රතිඵලය. ඒ අනුව සියලුම ලග්නවලට අධිපති මේ සියලු අපලවලට බලපාන ලග්නාධිපති ග්‍රහයින් සිටින අතර, ග්‍රහයන්ට අදාළ වෘක්ෂයන්ට සාත්තු කිරීමෙන් පුද පූජා පැවැත්වීමෙන් අපල දුරුවෙන බව විශ්වාසයයි. එම ග්‍රහයන්ට බලපාන ගස්වර්ග හඳුනාගෙන එම ගස් වර්ග අපේ ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව දැනුමක් දීමයි මෙම ලිපියේ අරමුණ. ග්‍රහ මඬුල්ලේ රජු ලෙස රවි ග්‍රහයා ප්‍රධාන වේ. රවි ග්‍රහයාගේ හෙවත් සූර්යයාගේ කිරණ අප කාටත් හුරු පුරුදු ය. සූර්යය තාපය ශරීරයට වැදුණවිට දැඩි රශ්නයක් දැනෙයි. හම කළුවෙයි. ඇස් නිලංකාර වෙයි. සමහරවිට ඇස් අමාරු ඇස් රෝග සෑදීමටද ඉඩ ඇත. එය සාමාන්‍යයෙන් කාටත් පොදු දේය. එහෙත් කිසියම් අයකු මෙලොව ජනිත වෙද්දී උත්පත්ති කේන්ද්‍රයේ අශුභ ස්ථානයක රවි ග්‍රහයා සිටියහොත් හෝ අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබමින්, අශුභ ග්‍රහ සංයෝග ලබමින් සිටියහොත් හෝ ග්‍රහචාරයේ දී අශුභස්ථාන පසු කරමින් යද්දී සූර්යයාගේ අශුභ කිරණ එම පුද්ගලයාට ස්පර්ශ වීමෙන් ලෙඩරෝග, ශරීරාබාධ හා වෙනත් විකෘතිතාද ඇතිවීමට හේතුවෙයි. එවැනි අවස්ථාවලදී ඉඹුල්ගසයට සිටීමෙන් ගසට සාත්තු කිරීමෙන්, ගසක් ස්පර්ශ කිරීමෙන් එවැනි දෝෂ භංග වී යන බව ඈත අතීතයේ සිටම ඇති විශ්වාසයකි. රවි ඉරිදා දිනයට අධිපති බැවින් එම සත්කාරය එම දිනයටම කිරීම වඩාත් වැදගත් බව කියැවේ.

ග්‍රහලොව මව ලෙස සලකන සඳු ග්‍රහයා සඳු දිනයට අධිපතිවන අතර එම ග්‍රහයා සිතිවිලිවලට බලපායි. සඳු ග්‍රහයාට හිමිව ඇත්තේ දිඹුල් වෘක්ෂයයි. මෙය ඖෂධීය ගුණයෙන්ද යුක්ත බැවින් සඳුදා දිනක අවුරුද්ද උදාවෙනවා නම් අපි එදා හිසට ඉහළින් එල්ලන්නේ දිඹුල් කොළයි. එය රෝග නිවාරණ දීර්ඝ ආයුෂ ලැබෙන ගුණයක් ඇති බැවිනි. අඟහරුවාදා දිනයට අධිපති කුජ ග්‍රහයාට අයත් වන්නේ ඖෂධීය ගුණයෙන් අනූන කොළොන් වෘක්ෂයයි. රුධිරයට අධිපති ග්‍රහයා වන්නේ කුජ බැවින් ඇතැම් අයගේ ශරීරයේ ලේ විෂවීම්’ ඇතිවන්නේ ද කුජගේ බලපෑමෙනි. මේ නිසා කුජ ග්‍රහයාගේ අයහපත් කිරණින් ආරක්ෂාවීම සඳහා කොළොන් වෘක්ෂයට ස්පර්ශ කිරීම, සාත්තු කිරීම එම ගස් සෙවණෙහි වැඩි වේලාවක් ගතකිරීම වඩා සුදුසු වෙයි.

ඡ්‍යොතිෂයේදී කොහොඹ ගස වෙන්කර ඇත්තේ බුධ ග්‍රහයා වෙනුවෙනුයි. මෙම ග්‍රහයාගෙන් අපල ඇති අයගේ චර්මයෙහි හෙවත් සමෙහි කැළැල් හටගනී. එවැනි අය කොහොඹ ගසක් සෙවණෙහි සිටීමෙන් එම ග්‍රහයාගෙන් පිටවන කිරණින් හා ගසෙන් පිටවන කිරණත් ඒකාබද්ධව චර්ම රෝගවලින් සුවයක් ලබාගත හැකි බැව් වාස්තුවිද්‍යා ග්‍රන්ථවල සඳහන්වෙයි. ගතට සිසිලස ගෙනදෙන ඖෂධීය ගුණයෙන් යුත් කොහොඹ ගස දෙවියන්ගේ ආකර්ෂණය ලබන ගසක් ලෙසද හඳුන්වයි.

බ්‍රහස්පතින්දා දිනයට අධිපති ග්‍රහයාවන්නේ ගුරුය. ගුරු ග්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ බෝ වෘක්ෂයයි. මොහු ග්‍රහලොව සුරගුරු ලෙසද හඳුන්වයි. මෙම ග්‍රහයා දෙවියන්ගේත් ගුරුවරයා ලෙස සැලකේ. මෙම ග්‍රහයාගෙන් අපල ඇති අය බෝ වෘක්ෂ නැමදීම, වෘක්ෂය අතපත ගෑම, ආවතේව කිරීම පුද පූජා පැවැත්වීම මඟින් ඔවුන්හට රෝග නිවාරණ ශක්තිය, ශාන්තිය මෙන්ම දියුණුව සඳහාවන යහපත් ප්‍රතිඵලද උදාකරගත හැක. බෝ පත්‍රයෙන් පිටවෙන කිරණ ඔවුන්ගේ මනසට විශේෂයෙන් බලපායි. ගුරුගේ අපල හිමියන් නිතර බෝධි පූජා පැවැත්වීමෙන් යහපත් ප්‍රතිඵල උදාකරගත හැකි ය. සිකුරාදා දිනයට අධිපති ග්‍රහයා වන්නේ සිකුරු ය. සිකුරු ග්‍රහයාට හිමිවන්නේ කරඳ ගසයි. ආදර හැඟුම් ලියලන වෘක්ෂය ලෙසද කරඳගස හඳුන්වයි. එහෙයින් සිකුරු ග්‍රහයා මනසට ආදර හැඟුම් ඉස්මතු කරවයි. ග්‍රහලොව මනාලිය ලෙසද සිකුරු ග්‍රහයා හඳුන්වයි.

ශනි සෙනසුරාදා දිනයට අධිපති ග්‍රහයා ලෙස සැලකේ. ග්‍රහලොව කම්කරුවා ලෙසද ශනි හෙවත් සෙනසුරු හඳුන්වයි. ශනි ග්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ නුග ගසයි. නුග ගසට සත්කාර කිරීමද අපලවලට සුබදායකය. ඖෂධීය ගුණය සිසිලස ලැබෙන මෙම වෘක්ෂයට පූජා පැවැත්වීමෙන් නිරවුල් ශක්තිමත් මනසක් ඇති කරයි. දින හතට හිමි ග්‍රහයින් ගැන ඉහත අයුරින් හඳුන්වද්දී රාහු හා කේතු ග්‍රහයාට හිමි තැන ඔබට ප්‍රශ්නයක් වී ඇති හේතුව මෙයයි. එම ග්‍රහයන් දෙදෙනා ඡ්‍යොතිෂයේ දී හඳුන්වන්නේ ඡායා ග්‍රහයන් ලෙසයි. මෙම ග්‍රහයින්ට වැටකෙයියා හා කෙසෙල් වැනි වඩා වැදගත් නොවන ගස් නියමකර ඇත්තේ එම නිසා ය.

එසේ වුවත් මෙම ග්‍රහයින් දෙදෙනාත් එකතුවෙන් තමා මෙම ග්‍රහයින් ගොඩ නැඟෙන්නේ බලි තොවිල් වැනි ශාන්තිකර්මවලදී කේතුට හිමි වෘක්ෂයවන කෙසෙල් ගසේ පතුරු භාවිත කරන්නේ වායු, පිත, සෙම යන කොටස් තුන කෙසෙල් පතුරුවල අඩංගු නිසා ය. පොදු වශයෙන් ගත්කල මෙම ඖෂධීය ගස්වලට ආවතේව කිරීම, ඇප උපස්ථාන කිරීම වන්දනාමාන කිරීම තුළින් අපට බලපාන අපල උපද්‍රව දුරුකර ගැනීමට හැකිබැව් ඡ්‍යොතිෂය පෙන්වා දෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.