වෙනස් වුණේ විද්‍යාවද? විශ්වාසද?

පෙබරවාරි 2, 2024

“කෝ මේ දාහතේ ඇඳේ ලෙඩා? කවුද සිරියාවතී නේද?”

මිසී එයා ලැට් එකට ගියා. ආ මේ එන්නේ”

“මොකද මේ බත් කාල නැත්තේ. උදේ නේද දරුවා හම්බ වුණේ. කොයි තවම නෑවෙත් නැද්ද. හා හා නාල කනවා. අපිට නාවන්ඩ නම් බැරුවා.”

මිසී ගෙදරින් මිරිස් හොද්දක් එක්ක බත් ගේනවා කීවා. මේකෙ මේ මැල්ලුම් කාරිය තියෙනවා. අනික අම්මා කීවා ගෙදර ගිහිල්ල පාවට්ටයි, එඬෙරු කොළයි කොහොඹ තෙලුයි දුම් අල්ලලාම නාන්ඩ ඇහැකිය කියලා.”

“හයියෝ හයියෝ. ඔව්වා දැන් කොරාපු කාලේ ගියා. මේ කොම්පියුටර් යුගේ. ඔක්කොම ශුද්ධ වෙන්ඩ නාගන්ඩ. ඊට පස්සේ ඔය මැල්ලුම්, වම්බටු, මාළු තියෙන්නේ කන්ඩ.”

ළමා වාට්ටුව පුරාම පුංචි එවුන්ගේ හඬය. ඊයේ රෑ හතර දෙනෙක්. අද උදේ හය දෙනෙක්. දරුවෝ දහ දෙනෙක්ගේ කිරිසප්ප හඬ. සිරියාවතී බත් පිඟාන දෙස බලා උදයේ පිබිදුණු දරුවාට කිරි දීමට ඇල වුණාය.

අද විද්‍යාත්මක සොයාගැනීම් දවසින් දවස වෙනස් වෙයි. එදා දරුවෙකු ලැබූ පසු මැල්ලුම් හෝ අපත්‍ය කියූ ආහාර රෝහලින්ද නොලැබුණි. එහෙත් අද එසේ නොවේ. ඒ වෙලේම නාවයි. ගමේ එසේ නොවේ. වැදූ ගෙයි සන්නියට බය වෙයි. දරුවෙකු ලැබූ පසු ඇයගේ දෙපා මුල තැබූ කබලට කොහොඹ තෙල් දුම් අල්ලන්නේ පාවට්ටා හා එඬෙරු කොළ තම්බා එයින් සිරුර තවා නෑවීමෙන් පසුවයි. එයද උණුවතුරය. ඒ ගමේ අටපහ නොදන්නා වින්නඹු අම්මාගේ හෝ අතලු අම්මලාගේ දැනුමය. ලෙඩා ආරක්ෂා කිරීමය. එහෙම කරපු අම්මලාට දුන්නේද වෙනම ආහාරය. එයට මැල්ලුම් ජාති තිබුණේම නැත. ඒ සමහර මැල්ලුම්වලට බඩ බුරුල් වී යන නිසාය.

ජීවිතය වෙනස් වී ඇත. විද්‍යාව දවසින් දවස වෙනස් වෙයි.

එහෙම නම් විද්‍යාව මුලින් කියූ දේවල් බොරුද? වර්තමානයේදී සමහර ඖෂධ වර්ග භාවිතයෙන් තහනම් කර ඇත. ආසන්නම සිදුවීම කෝවිඩ් සඳහා දුන් එන්නතය. එදා ෆයිසර් එන්නත ගැනීමට වූයේ තරගයකි. හොඳම එන්නත එය ලෙස සමාජගත වූ අදහස විය. එහෙත් අද එම එන්නත අසාදුය. ආයතනයද අසාදුය.

එහෙත් ගමේ වෙද මහත්තයා, නැකැත් ගුරා, කපු මහත්තයා කළ දේවල් තවමත් එසේ කරයි. ඒවා විශ්වාස කරන අය තවමත් නැකැත් බලයි. පේන අසයි. ආරක්ෂා නූල් දමයි. තොවිල් නටවයි. යකුන් පලවා හරියි. සුවපත් වූ බවද කියයි. ඒ මන්ත්‍ර එසේමය. ඒ බුදුගුණබලය එසේමය. ඒ ග්‍රහයෝද එසේමය.

වෙනස් වී ඇත්තේද මිනිහදෝ – විද්‍යාවදෝ?

වර්තමානයේදී රෝගවලට ප්‍රතිකාර නියම කෙරෙන්නේද? නොඑසේ නම් නිෂ්පාදනය කෙරෙන ඖෂධවලට රෝග නිර්මාණය කෙරෙන්නේද යන්න මිනිසා සහ අලෙවි ක්‍රමයෙන්ම සොයාගත යුතුය. එසේ අතරමං වන මිනිසා අවසානයේදී දියුණු සමාජය විසින් වපරැසින් බලන කට්ටඬියා හා නක්ෂත්‍රකරුවාගෙන් සිද්ධ වෙන්නේ කුමක්ද කියා අසා ඇප නූලක් දමා ගැනීම අරුමයක් නොවේ. එහෙත් සිදුව ඇත්තේ අද එම ශාස්ත්‍රය දන්නා අවංක අයගේ අඩුව පමණි. එහෙත් තවමත් ශාස්ත්‍රය විනාශ වී නැත.

වර්තමානයේදී කෘත්‍රිම බුද්ධිමය මිනිසකු (Artificial Inteligence)  ගැන කතා කරන සමාජය දහතුනේ ඉලක්කමට බිය වෙයි.

භාෂාව නොවැටහුණත් මවුගුණ ගීයක් කුමන බහකින් ඇසුණද එයින් හද වෙණ තත් කම්පනය වීමට තරම් ලෝකයේ මිනිසුන් සංවේදීය. ඒ අනුව දුරාතීතයේ සිට පෙරදිග වේවා, අපරදිග වේවා සිය ආදීතමයන්ගේ විශ්වාස හා ඇදහිලිවල ජානමය ලක්ෂණවලින් මේ නූතන සමාජය සහමුලින්ම දුරස් වන්නේ නැත. එසේ නොවන්නට සිහින දකින මිනිසුන් බිය වී කෑ ගසන්නේ නැත.

බලි බිලියාග පවත්වන්නේ ඇප නූලක් දැමීමෙන් අනතුරුවය. එයින් දුරස් කරන්නේ කාය හා මානසික ව්‍යාධීන්ය. කෙසේ වුවද භූතාපසරණයේ එන පිහිටවීම් හා රෝග කාරක දෙස බැලීමේදී එම ප්‍රතිකාර ලැබීමේ බහුතරයක් දෙනා ස්ත්‍රීන්ය. ඇතැම් යක්ෂයින් හා දෙවියන්ද මේ නිසා කාන්තා රෝග වෙනුවෙන් පෙනී සිටී. එය එසේ සිදු වෙන්නේ යකුන් පිරිමින්ට බිය නිසා හෝ පිරිමින් යකුන්ට බිය නැති නිසා යැයි කෙනෙකුට කිව හැකිය.

එහෙත් සත්‍ය වශයෙන්ම සිදු වෙන්නේ චංචල සිත් බිය වීම නිසා විවිධ යකුන් දෙවියන් පිහිටට ගෙන ඒම නොවේද? නවීනත්වය සේම පුරාවෘත්ත ගැන ගැඹුරින් සලකා බැලිය යුත්තේ මෙහිදීය. ඒ අනුව භූතාපසරණ විෂය හුදු යකුන්, පේ‍්‍රතයන් හා දෙවියන් උදෙසාම ද යන්න විමසීමයි වර්තමාන සමාජය කළ යුත්තේ. එය එසේ කළ යුත්තේ විද්‍යාව මෙන් දවසින් දවස එය වෙනස් නොවී එදා කළ දේම අදත් සිදු කිරීම නිසාය. එහෙත් දිගුකාලයක් එම කටයුතු පිරික්සීමේදී පෙනී යන්නේ එම කටයුතු සිදු කිරීමේ විවිධ පසුබෑම් නිසා එම ශිල්පය අභාවයට යවමින් ඇති බවකි.

අපි විසින් වර්තමානයේදී සෙවිය යුත්තේ “අන්‍ය දේහ ප්‍රවේශය තුළින් වර්තමාන හාස්කමක් කිරීම නොව එම ක්‍රමවේදයේ ඇති මනෝමූල හා ක්‍රියාමූල කාර්ය පද්ධතියයි. මෙය ඉපැරැණි භූත විද්‍යාවේ දක්නට ඇත. එය පූර්ව බුද්ධ යුගයේ සිට පැවත එන බව ජාතක කතා සාහිත්‍ය මෙන්ම ඉපැරැණි හින්දු වේදය අනුවද කරුණු කියාපායි. භූතාපසරණය දෙස විමසුම් ඇසින් ගැඹුරින් බැලුවහොත් එහි ඇත්තේම වෙස් බැඳීමකි. එය අපට ශාස්ත්‍රානුකූලව අන්‍ය දේහ ප්‍රවේශය’(Astral body transmission) වෙයි. නමුත් මෙය එදා සිට ආදී මානවයාගේ ක්‍රියාන්තරයේ ක්‍රමික විකාශය ඔස්සේ ඔවුහු දැන සිටියහ. එය යහපත් කාර්යේදී “මායම” හෝ “විරලය” විය. අයහපත් කරුණේදී “පිල්ලුව“ හෝ “දිෂ්ටිය” වෙයි.

එම කතා හුදු ජනකතා හෝ ප්‍රබන්ධ වූයේ නොවන බව පැරැණි ශිල්පීන් හමුවේදී අනාවරණය වෙයි. එසේම එම ක්‍රියාවලිය කොතෙක් නිර්මාණාත්මක කාර්යේදී බලවත් වී ඇතිද යන්නට බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය වේදය සාක්ෂි දරයි. එසේම මේ ශිල්පීමය ලක්ෂණ ගැඹුරෙන් හදාරා බලන්නකුට එය ඉතා ඉපැරැණි ගී‍්‍රක නාට්‍ය කලාවේ මූලධර්ම සේම භාරතමුනිගේ නාට්‍ය දෙස මූලාශ්‍ර ගනු ලබන්නේ ආදී මානවයාගේ “නූගත්” යැයි සම්මත ශිල්පීය කෞශල්‍යය” තුළිනි.

මේ සියල්ලේදීම මූලික වූයේ ඇදහිල්ල හා විශ්වාසයයි. සිරියාවතී දරුවා ලද විට මැල්ලුම් කෑමට බිය වූයේත්, ඇල් වතුර නෑමට බිය වූයේත් එම විශ්වාසයයි. මිනිසා ජීවත් කරවන්නේ විශ්වාසය හා ඔහු විසින් කරනු ලබන ඇදහීම්ය. මේ විශ්වාස බෙහෙවින් එදා සමාජ ක්‍රමය එකට බැඳ තැබීම උදෙසා නිර්මාණය වූ කිසියම් මනුතාප විස්තීරණයක් සේ සැලකීමට හැකි බොහෝ සාමාජික ලක්ෂණ එහි ඇත. එය ඉතා උතුම් ලෙස මිනිසාට මිනිස්කමෙන් ගරු කිරීමකි. නඩත්තු කිරීමකි. පවත්වා ගෙන යාමෙකි. එහිදී මූලික වශයෙන් දක්නට ලැබුණේ අන්‍යෝන්‍ය බැඳීම හා විශ්වාසයයි. එම බැඳීම මඟින් ඔවුහු ස්වාභාවික හා වෙනත් සතුරු උපක්‍රමවලින් මිදුණාහ. එය සතුට පවත්වා ගැනීමයි. එය ඇන්ඩ්‍රෘ මැතිව්ස් සිය’ සතුටේ පැවැත්මේ දී මෙසේ ලියයි.

Reality is created by mind. We can change our reality by changing our mind (Being happy 18/2/2024 by Andrew Mathew)
 

(සංවාදයට විවෘතයි.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.