මිනිසුන් ඉබේ ගිනිගෙන මැරෙන්නේ දේව ශාපයකටද? ග්‍රහ බලයකටද?

ජනවාරි 12, 2024

දිනය 1966 දෙසැම්බර් මස 06 වෙනිදාය. ඇමෙරිකානු ජාතික විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකු වූ අර්වින් බෙන්ට්ලි මහතාගේ නිවසට සුපුරුදු රාජකාරිය සඳහා ගෑස් මීටරය සටහන් කරන්නා පැමිණියේය.

ඒ වන විට අනූතුන් වෙනි වියෙහි පසුවුවද, හුදෙකලා දිවිපෙවෙතක් ගත කරමින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට වෛද්‍ය බෙන්ට්ලි සමත්ව සිටියේය. වසරකට පෙර ඇති වූ උකුළු ඇටයේ ආබාධයක් නිසා ඇවිදීමේ ආධාරකයක් භාවිත කරමින් හෙතෙම නිවස තුළ ඇවිදීමේ කටයුතු කර ගත්තේය.

එදින වෛද්‍ය බෙන්ට්ලිගේ නිවසේ දොරගුළු දමා තිබුණේ නැත. දශක ගණනාවක ඇයි හොඳයියක් නිසා. ගෑස් මීටරය ලියන්නා දොර තල්ලු කරමින් විවෘත කර, පහත මාලයේ වූ සුපුරුදු ස්ථානයකට පිය නැඟුවේ ගෑස් මීටරය සවිකර ඇත්තේ එතැන බව දන්නා නිසාය.

එතනදී ඔහු දුටුවේ අමුතු ආකාරයක ගන්ධයක් සහිත නිල් පැහැ දුමාරයක් සිවිලිම දෙසින් පහළට ගලා ගෙන එන අයුරුය. මේ හැරුණු කල තරමක් උසැති අළුගොඩක්ද බිම තිබෙන බව ඔහුට දැක ගත හැකි විය. ගෑස් සටහන්කරු ඊළඟට දුටුවේ ඒ අළු බිමට පතිත වී ඇත්තේ සිවිලිමෙහි වූ සිදුරකින් බවය. මෙම අසාමාන්‍ය සිදුවීම හේතුකොට ගෙන, කුතුහලයට පත් හෙතෙම උඩු මහලට ගොඩ වී වෛද්‍යවරයාගේ කාමරයට ඇතුළු වූයේය. ඔහුගේ නම කියා කතා කළද ප්‍රතිචාරයක් නොවීය. එහි කිසිවක් සිදුවූ බවක්ද පෙනෙන්නට නොතිබිණි. නමුත් එයට යාබද නාන කාමරය දෙස බැලූ ඔහුට දැක ගන්නට ලැබුණේ ඇඟ කිළිපොලා යන දසුනකි.

අළු තට්ටුවක් මධ්‍යයේ වෛද්‍ය බෙන්ට්ලිගේ දණු කකුලේ දණ හිසින් පහළ කොටස එහි තිබෙන බවය. සුපුරුදු ලෙස වෛද්‍යවරයා භාවිත කළ සපත්තුවද එහි විය. ගින්නට හසුවීමෙන් දුඹුරු පැහැයට හැරුණු පාදයේ කොටස හැර ඔහුගේ මුළු සිරුරම අළු බවට පත්ව තිබුණේ සෙසු කිසිම ශාරීරාංගයක් දැක ගත නොහැකි අයුරිනි.

මෙය කෙතරම් සංකීර්ණ මරණයක් වුවද, එයද පිළිස්සීමෙන් සිදුවූ හදිසි මරණයක් යයි තීරණය කරනවා හැරෙන්නට මරණ පරීක්ෂකවරයාට ද කළ හැකි කිසිවක් නොවීය.

තීරණය එසේ වුවද මේ මරණය පිළිබඳ විවිධාකාර මත ප්‍රකාශ වන්නට පටන් ගෙන තිබුණි. ඒ අතර වඩාත් ප්‍රචලිත මතය වූයේ වෛද්‍යවරයා හාන්සි පුටුවක දිගාවී සිය පයිප්පය බොමින් සිටි අතරේ එයින් නිකුත් වූ ගිනි පුළිඟුවක් සිය කබායට වැටීමෙන් මෙම ගින්න ඇතිවී තිබෙන බවය. එහෙත් වෛද්‍යවරයාගේ දුම්කොළ පයිප්පය නිරුපද්‍රිතව හමුවීම නිසා ටික දිනකින් එම මතය නිශ්ප්‍රභ වී ගියේය. නමුත් වඩාත් පුදුම සහගත කාරණය වූයේ වසරක කාලයක් තිස්සේ වෛද්‍යවරයා ඇවිදීමට භාවිත කරන ආධාරකය සිය නිදන කාමරය තුළ තිබීමය. ඒ අනුව වෛද්‍යවරයා එම ආධාරකය නැතිව නාන කාමරයට ගිය ආකාරයත්, තම කබාය ගලවා නාන බාල්දියට විසිකර තිබීමත් ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කළේය. එමෙන්ම කලින් උප කල්පනය කළ පරිදි ඔහුගේ පයිප්පයෙන් ගිනි පුළිඟුවක් කබායට වැටීමේ සලකුණක් හෝ එහි දක්නට තිබී නැත.

මෙය 1966 වූ සිද්ධියක් නමුදු මෙවැනි සිදුවීම් පිළිබඳ ශත වර්ෂ දෙකක පමණ කාලයක් තිස්සේ වරින් වර වාර්තා වී තිබේ.

ඒ අනුව මෙවැනි සිද්ධියක් පිළිබඳව අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ 1725 ප්‍රංශයෙනි. එකල මෙවැනි සිදුවීම් පිළිබඳව බොහෝ දෙනා පළකළ මතය වූයේ දෙවියන්ගේ ශාපය නිසා එසේ වන බවය.

මෙහි සඳහන් කළ ප්‍රංශයෙන් වාර්තා වුණු සිද්ධිය වූයේ එක්තරා තානායම් පාලකවරයකුගේ බිරිඳ පිළිස්සී මිය යාමය. ඇයගේ මළ සිරුර නිවස තුළ ගිනි උඳුනට අඩියක පමණ දුරින් වැටී තිබූ අතර, දැවීමෙන් පසු ඉතිරිව තිබුණේ, හිසේ සහ පිටකොන්දේ කොටස් දෙකක් පමණි. මෙහිදී ඇයගේ මරණය පිළිබඳ චෝදනාව එල්ල වූයේ තානායම් පාලකවරයාටය.

මෙකී මිය ගිය කාන්තාව දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි තැනැත්තියක් බැවින් අත්වැරැද්දකින් ගිනි ඇවිලී මිය යන්නට ඉඩ තිබූ බවද පෙනී ගිය කරුණකි. නමුත් ඇයගේ මළ සිරුර වැටී තිබූ ස්ථානයේ වූ කලාලය දැවී යාමට ලක්ව තිබුණේ ඉතා සුළු වශයෙන් වූ හෙයින් ඒ මතයද ඉවත ලෑමට සිදුවිය. අවසානයේ ඉතිරි වූ උපකල්පනය වූයේ තානායම්කරු තම බිරිඳ ඝාතනය කර මෙතැනට ගෙනවිත් දමන්නට ඇතිය යන්නය. තානායම් පාලකයා එහි සේවිකාවක් සමඟ අනියම් සබඳතාවයක් තිබීමද මේ සැකය ඇතිවීමට හේතුවක් විය.

තානායම්කරුට එරෙහි නඩු විභාගයේදී විත්තිකරු වෙනුවෙන් සාක්ෂි දීමට මේ තානායමෙහි නැවතී සිටි වෛද්‍යවරයකු අධිකරණය ඉදිරියට පැමිණියද ඔහු පැවසුවේ කිසිසේත්ම වෛද්‍ය විද්‍යාත්මක ප්‍රකාශයක් නොවේ. එනම් ඒ වන විට සමාජය සිසාරා පැතිරුණු මතයකට අනුව මේ මරණයද බීමත්කම වෙනුවෙන් දෙවියන් විසින් දෙන ලද දඬුවමක් බවය. මේ මතය කොතෙක් සමාජගතව තිබුණේද විනිසුරුවරයා ද වෛද්‍යවරයාගේ සාක්ෂිය පිළිගනිමින් තානායම්පාලකවරයා නිදහස් කළේය.

ඉන් පසුවද මෙවැනි සිදුවිම් විටින් විට වාර්තා වුවද, එකල සිටි ප්‍රධාන පෙළේ රසායන විද්‍යාඥයෙකු වූ බැරෙන් ජූස්ටන් ෆොන් ලයිබෙක් (1803-1873) ඉබේ ගිනි ගැනීමේ කතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.

එහෙත් පසු කාලීනව විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ මෙවැනි සිදුවීම් වසර හතරකට වරක් රටේ කොහේ හෝ තැනකින් වාර්තා වන බවය. මේ පිළිබඳ පරීක්ෂණවල යෙදුණු වෛද්‍ය ඩේවිඩ් ප්‍රයිස් පැවසුවේ එංගලන්තයේ පමණක් වසරකට මෙවැනි සිදුවීම් 200 ක් පමණ සිදුවන බවය.

විද්‍යාඥයන්ගේ තවත් අදහසක් වී ඇත්තේ මිනිස් ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය ක්ෂණිකව ඉහළ යාමත්, සිරුරේ මේදය අධිකවීමත් පරිසරය තුළ ඒ මොහොතේ ඇති විද්‍යුත් තරංග සිරුරෙහි ගැටීමත් මේ දහනයට මුල්වන බවය. එසේම තවත් විද්‍යාඥයකුගේ අදහස වී ඇත්තේ සිරුරේ ඇති හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන දෙවර්ගයම මෙයට බලපාන බවය. අකුණු සැර නිසා සමහරුන්ට ගිනි ඇවිලුණු අවස්ථාද මේ අතර වාර්තා වී තිබේ.

මේ පිළිබඳ පර්යේෂකයකු වූ ජෝන් හෙයිබර් පැවසුවේ පෘථිවියේ කලකට වරක් ඇතිවන අසාමාන්‍ය විද්්‍යුත් තරංග ක්‍රියාකාරිත්වයක් මෙයට හේතු වන බවය. නමුත් මේ ගැන ඇමෙරිකන් ජාතික පර්යේෂකයකු පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවලින් වැඩි සංඛ්‍යාවක් සඳහා තාරකා විද්‍යාව හා ග්‍රහ බලපෑම්ද සම්බන්ධ බවය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.