වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
දුම්රිය පඩිපෙළ ළඟ ලියැවුණු දෛවය
වේලාව රාත්‍රි 8.00 පසු වී විනාඩි 45 පමණ ගතව තිබිණි. තරුණ ලිපිකරුවා දුම්රිය පොළෙහි පැරැණි පඩි පෙළ බසිමින් සිටියේ ජීවිතයේ අවසාන පියවර කීපය තබන්නකුගේ විලාසයෙනි. තම අත වූ අවසාන රුපියලද ඔට්ටු තබන ලද අශ්වයන් තිදෙනාගේ පරාජය විසින් ඔහුගේ සාක්කුවට අහිමි කර තිබිණි.
ගතවූ පස් වසර තුළ මිය ගිය මව්පියන්ගෙන් උරුම වූ මුළු මහත් ධනස්කන්ධය, දුර රටක දුවන අශ්වයින් වෙනුවෙන් කාබාසීනියා කළා මදිවාට, සිය මහ ගෙදර උගස්කර ලබා ගත් මුදල ද මේ අවසාන තත්පරය වන විට ඔහුට අහිමි වී අවසන්ය. ඒ මදිවාට අනිත් දා වන විට උගසට තැබූ නිවස ද බේරා ගත යුතුය. එසේ නොකළහොත් ඔහු අංග සම්පූර්ණ ලෙසම ඉන්නට, හිටින්නට නැති හිඟන්නකු බවට පත්වීම ඉර හඳ මෙන් විශ්වාසය.
මේ බර කල්පනාව ඔස්සේ පැමිණි ඔහුට දුම්රිය වේදිකාවට බසින්නට ඉතිරිව තිබුණේ පඩි තුන හතරක් පමණි. ඒ ක්ෂණයෙන් පඩි පෙළේ පසෙක සිටි කුඩා මිනිසෙක් ඔහු දෙසට සවස පත්තරයක් දිගු කළේය. දෙඇස් වැසෙන සේ කැප් තොප්පියක් පැලඳ මුහුණ වටා මෆ්ලරයක්ද බැඳ සිටි ඔහු පඩි පෙළෙහි කෙළවර වූ පැරණි පන්නයේ විදුලි ලාම්පුවට පිටුපා සිටි හෙයින් මුහුණ පෙනුණේ නැත. ඔහු දුන් පත්තරය අතට ගත් ලිපිකරුවා පුවත්පත දෙස බලා යළි හැරී බලන තත්පරයටත් අඩු කාලය තුළ පත්තර වෙළෙන්දා අතුරුදන්ව සිටියේය. විමතියට පත් ලිපිකරුවාගේ මතකයේ ඉතිරි වූයේ එම පත්තර වෙළෙන්ඳා අතෙහි වූ කාඩ් බෝඩ් කැබැල්ල මත තිබුණේ එකම පත්තරයක් බවත්, මොහොතකට තම අතැඟිලිවල ගැටුණු ඔහුගේ හස්තයෙන් දැණුනු අයිස් කැටයකට සම කළ හැකි දැඩි සීතලත් ගැන පමණි.
ඔහු තුළ පහළ වූ මේ විස්මය දෙගුණ තෙගුණ වූයේ අසල වූ විදුලි පහන යටට වී පුවත් පත දෙස බැලූ කල්හිය. එසේ වූයේ එය පසු දින සවස නිකුත් කිරීමට ඇති පුවත්පත බව පෙනී යාම නිසාය. සවස් භාගයේ තුරඟ තරග සඳහා ඉදිරිපත් වූ ජයග්‍රාහී අසුන්ගේ නම් පළ කිරීමට පුරුදුව සිටි මේ පුවත්පත එහි පළ කොට තිබුණේ හෙට දිනයේ තරග කොට ජයග්‍රහණය කළ අසුන් තිදෙනකුගේ නම් ය.
ඇති වූ පුදුමය දෙවෙනි තැනට දැමූ හෙතෙම ඊළඟ දිනය උදාවන තෙක් සිටියේ බලවත් නොඉවසිල්ලෙනි. ඒ, මේ පුවත් පතෙහි සඳහන් අසුන්ට කෙසේ හෝ ඔට්ටු ඇල්ලීමේ බලාපොරොත්තුවෙනි. පසුදින කන්තෝරුවේ මුදල් පොලීකරුගෙන් සියයට විස්සේ පොලියට රුපියල් තුන්දහසක් ලබා ගත් ලිපිකරුවා එදින ඔට්ටු ඇල්ලුවේ පෙර කී අසුන් තිදෙනාගේ “ඔළුවටම” ගසමිනි. එදින සවස පැවත් වූ තරගයෙන් අසුන් තිදෙනාම ජය ලබා ගත්තේ ලිපිකාර තරුණයාට නොසිතූ විරූ සතුටක්ද, දිනුමක් ද ලබා දෙමිනි.
එදින ද දුම්රිය පොළෙහි දී සිය බලාපොරොත්තුව ඉටු කරමින් සෙනඟ අතරින් තමා වෙත දික් වූ සුපුරුදු පත්තරය ඔහු නෙත ගැටිණි. පත්තරය අතට ගත් සැණින් මේ පුද්ගලයා දැක බලා ගැනීමට ලිපිකරුවා සැරසුණ නමුදු එක්වරම ඇතිවූ තල්ලුවක් නිසා ඔහු මඳක් ඉවතට වීසි වී ගියේය. හෙතෙම යළි ආපසු බලන සැණින් පත්තර වෙළෙන්දා අතුරුදන්ව සිටියේය.
ඉක්බිති තවත් දින ගණනාවක් මේ අයුරින් පත්තර වෙළෙන්දා කවුරුන්දැයි හඳුනා ගැනීමට ලිපිකාර තරුණයා ගත් උත්සාහය ව්‍යවර්ථ වීමත් සමඟ ඔහු ඒ අදහස සිතින් අත්හැර දැම්මේය. එසේ වුවද, සෑම රාත්‍රි භාගයකම නියමිත වේලාවට දුම්රිය පොළට විත් පඩිපෙළ මතදී අත්භූත පත්තර වෙළෙන්දාගෙන් ඊළඟ දිනයේ සවස පත්තරය අතට ගැනීම ඔහු කිසි විටකත් අත් නොහළේය.
මේ ලැබූ අවස්ථාව නිසා ඔහු තෙමසක් ගතවීමටත් පෙර අසීමිත ධනස්කන්ධයක් උපයා ගන්නට සමත් වූ අතර, සිය රටෙහි වූ ප්‍රධාන පෙළේ රේස් ඔට්ටු ආයතන හිමියන් පොළවටම සමතලා කර දැමීය. මේ වන විට ඔහු ඔට්ටු අල්ලන්නට පුරුදුව සිටියේ විදේශයන්හි පිහිටි තුරඟ තරග ආයතන හා සම්බන්ධ වෙමිනි.
නමුත් මේ සිදුවීමෙන් හරියටම තෙමසක් පිරෙන දින සවස පුවත් පතෙහි තුරඟ තරග ප්‍රතිඵල තීරුව අසල පැරණි ආප්තෝපදේශයක් ද පළ වී තිබිණි. “අසීමිත තෘෂ්ණාව බරපතළ විනාශයකට මුල් විය හැකිය” යන මෙය තමාටම ලියූ අනතුරු හැඟවීමක් යයි සිතට තදින් දැනුණද, තරුණ ලිපිකරුවා පැය කිහිපයකින් එය අමතක කර දැම්මේය. මේ කාලය තුළ මිනිසෙකුට ජීවිතයේ ලබා ගත හැකි උපරිම සැප සම්පත් භූක්තිවි¼දීමේ අවස්ථාව ඔහු විසින් මස්තකප්‍රාප්ත කරගනු ලැබූවද, සිය අතීතයේ තමා මුහුණ දුන් කටුක ජීවිතයට යළි නොවැටීම පිණිස එම ධනය යහපත්ව ආයෝජනය කර තිබුණේය. ඒ සිය අනාගත පරම්පරා ගණනාවකටද සෑහෙන පරිද්දෙනි. හරියටම හය මසක් ගත විය.
එදින පුවත්පතෙහි ද සුපුරුදු ලෙසම දිනන අසුන්ගේ නම් පළ වී තිබුණද, ඒ අසළින්ම වාගේ සුප්‍රකට උපදේශාත්මක කතාවක් ද පළ වී තිබුණි. ලැබී ඇති දෙයින් තෘප්තිමත්ව ජීවත් වන්නේ නම් මිනිසාට සැනසීමෙන් සිටිය හැකි බව ඉන් කියවිණි. මෙය ද පෙර පරිදිම තමා උදෙසාම කෙරුණු අනතුරු හැඟවීමක් යයි ලිපිකරුවාගේ සිතට දැනුණ නමුදු ඔහු මේ වන විට පත්ව සිටියේ තමාගේ දෙපා මුලට දෛනිකව ඇද හැලෙන මහා කාසි කන්දරාව නවතා දැමීමට සිත එකඟ කරගත නොහැකි තත්ත්වයකටය.
නවවෙනි මාසයද උදා වූයේය. එදා පුවත් පතේ පළ වී තිබුණේ පෙරට වඩා තීරණාත්මක අනතුරු හැඟවීමකි.
“දැන් ඇති නවතිනු” යන මාතෘකාව ඔස්සේ ලියා තිබූ එම ලිපියෙන් ඉදිරිපත් කෙරුණේ මුදල් පසුපස තෘෂ්ණාවෙන් දිව යන සමස්ත මිනිස් සංහතියටම කෙරුණු අවවාදයකි. මෙය ලිපිකරුවාගේ සිතට කෙතරම් තදින් බලපානු ලැබූවද පෙර පරිදිම දින කීපයක් තුළ එය ඔහුගේ මතකයෙන් ගිලිහී ගියේය. තවත් කාලයත් ගෙවී ගියේ ලිපිකරුවාගේ විවාහ මංගල්‍යයට දින නියම කර ගනිමිනි. හරියට එම දිනය වූයේ ඔහුට අත්භූත පත්තර වෙළෙන්දා හමු වී වසරක් පිරෙනදාය. කාර්යය බහුලත්වය නිසා පසුගිය දින ගණනාවක් මුළුල්ලේ ඔහුට දුම්රිය පොළට යා නොහැකි විය. එහෙත් විවාහයට පෙර දින රාත්‍රියේ යළිත් එතැනට යාමේ ගුප්ත හැඟීමකින් ලිපිකරුවා පෙළෙන්නට විය.
සුපුරුදු පරිදි එදිනද අත්භූත වෙළෙනදාගෙන් ඔහු අතට පුවත්පත ලැබිණි. එහෙත් වෙනදා මෙන් නොව, එදින පුවත්පතේ මුල් පිටුවෙන් දැක ගත හැකි වූයේ ඔහුගේ ම විශාල ඡායාරූපයකි.
ඒ සමඟම ප්‍රධාන පෙළේ ප්‍රවෘත්තියක් ලෙස පළව තිබුණේ මෙවැන්නකි.
“කෝටිපති මනාලයා පෙර දින රාත්‍රියේ හෘදයාබාධයකින් මරුට”
(ජෝන් මාර්ස්ගේ කතාවක් ඇසුරිනි)