කදිර දෙවියන් විසින් දෙව් ලොවට කැඳවාගත් රූමත් මිනිස් දියණිය

පෙබරවාරි 9, 2024

 

මේ වන විට සුප්‍රකට ඇම්බැක්කේ දෙවොල පිහිටා ඇති බිමෙහි කලකට ඉහත පැවතුණේ සෙන් බණ්ඩා නැමැති කුමරියකට අයත් අලංකාර මල් වත්තකි. මේ මල් වත්ත බලා කියා ගැනීමේ යෙදුණු උයන්පල්ලාට එක්තරා දිනෙක උයන කෙළවර වූ කදුරු ගසකින් රුධිරය වෑහෙනු දක්නට ලැබිණි. මේ හේතුවෙන් විමතියටත් ඉමහත් භීතියටත් පත් වූ හෙතෙම තමාගේ හිතවත් බෙර වයන්නෙකුට ඒ බව දැන්වීය.

මහත් පුදුමයකට මෙන් බෙර වයන්නාද ඊට පෙර දින මේ මල් උයන පිහිටි භූමියට අදාළව විස්මය ජනක සිහිනයක් දැක තිබුණේය. එම සිහිනයට අනුව රාත්‍රියේ ඔහු ඉදිරියේ පෙනී සිටි කතරගම ස්කන්ධ කුමරුන්, මේ ස්ථානයේ තමා වෙනුවෙන් දේවාලයක් ඉදිකරන ලෙස දන්වා ඇත. උයන්පල්ලාද, බෙර වයන්නාද, රජ වාසල වෙත ගොස් මෙපුවත දන්වන ලදුව රජ අණින් මෙහි දේවාලයක් ඉදිකරන ලද බව පැවසේ.

අදවන විට ඇම්බැක්කේ නමින් සුප්‍රකටව ඇති දෙවොල ඉදිවීමේ පසුබිම් කතාව ජනප්‍රවාදයේ සඳහන් වන්නේ ඒ ආකාරයෙනි.

සිය මරණින් පසුව මේ දේවාලයට අධිගෘහිත දේවතාවිය බවට පත්ව ඇත්තේ ඊට පෙර මේ මල් උයනෙහි හිමිකාරියව සිටි සෙන් බණ්ඩා කුමරිය බවද, එම ජනප්‍රවාදවලම එන තවත් කතා පුවතකි. සිය මරණින් පසු දේවත්වයට පත් වූ ඇයව හඳුන්වනු ලැබුවේ හෙණ කඳ බිසෝ බණ්ඩාර දේවතාවිය වශයෙනි.

ඉතිහාසයට අනුව හෙණ කඳ බිසෝ බණ්ඩාර හෙවත් සෙන් බණ්ඩා කුමරිය එකල ගම්පොළ රජ බවට පත්ව සිටි තුන්වෙනි වික්‍රමබාහු රජුගේ බිසවය. තම පියාගේ රාජ්‍ය උරුමයට හිමිකම් කීමක් වශයෙන් රජකම බාරගනු ලැබුවද වික්‍රමබාහු රජුගේ වැඩි ඇල්ම තිබුණේ ගම්පොළට නොව, මහනුවරටය. මහනුවර මුල් කොට ගනිමින් සිය රාජධානිය පිහිටුවීමට තීරණය කළ හෙතෙම ඒ සඳහා තම බිරිඳ වූ සෙන් බණ්ඩාර දේවිය ලවා එහි මුල් ගල තබන ලදී. ඇයව සිහිපත්වීම පිණීස මේ අවස්ථාවේදීම එම නව රාජධානිය සෙන්කඩගලපුරය යයි නම් තබන ලද බව පැවසෙතත්, ඒ පිළිබඳව සුප්‍රකට ජනකතාවක ඇත්තේ මීට වෙනස් පුවතකි.

ඇම්බැක්කේ දෙවොල ඉදිවීමේ කතා පුවත තරමට සෙන් බණ්ඩා කුමරියගේ උපත ගැන කතා පුවතද අද්භූත වූවකි. ඒ අනුව ඇයගේ උපත සිදුවී ඇත්තේ මව් කුසක් තුළ නොව බෙලි ගෙඩියක් තුළය. උපන් ගම ලෙස හැඳීන්වෙන්නේ මාන්ගමුව නැමැති ප්‍රදේශයයි. ඕපපාතිකව උපත ලැබුව ද අසීමිත රූශ්‍රීයකින් යුතු වූ බැවින් ඇය හා විවාහප්‍රාප්ත වීමේ බලාපොරොත්තුවෙන් බොහෝ රාජ්‍ය වාංශිකයෝ යෝජනා ඉදිරිපත් කරන්නට වූහ. එහෙත් මේ සියල්ලන් අතරින් ඇයගේ සිත්ගත් පුරුෂයා වූයේ ගම්පොළ රාජධානියේ හිමිකරු වූ තෙවැනි වික්‍රමබාහු රජුය.

විවාහයෙන් පසු ඇයට උපන් දරුවාට අත්තනායක කුමරු යි නම් තබන ලදී. පසු කලෙක අත්තනායක ඈපා කුමරුවන් ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ මොහුය.

ආවසනාවකට මෙන් කුමරුගේ උපතින් ටික දිනකට පසු සෙන් බණ්ඩා කුමරිය අභාවප්‍රාප්ත වූවාය.

යම් යම් හේතු සාධක මත ඇය තම මරණින් පසුව දේවතාවියක් ලෙස උපත ලබා ඇතැයි යන විශ්වාසය ප්‍රදේශවාසීන් තුළ තහවුරුවන්නට පටන් ගෙන තිබිණි. මේ නිසා ඇයගේ පුත් අත්තනායක කුමරුවන් විසින් ඇය වෙනුවෙන් ඇම්බැක්කේ දෙවොල තනවන ලද බව අම්පිටියේ ශිලා ලිපියේ සඳහන්වේ. ඒ අනුව අප මුලින් සඳහන් කළ සිද්ධියට වඩා ඒ පිළිබඳ පිළිගත හැකි සාධකය මෙය බව පෙනී යයි.

මේ කරුණු දෙකට අමතරව සෙන් බණ්ඩා කුමරිය පිළිබඳව තවත් අද්භූත වෘතාන්තයන් ගණනාවක්ද ජනවහරට එක් වී පවතී.

ඉන් එකක් නම් කතරගම දෙවියන් ඇයගේ රූපශ්‍රීයට වශීවීම හේතුවෙන් ඇයට අකාලයේ මිය යන්නටද සිදු වූ බවය.

මනුෂ්‍යයෙකු වශයෙන් ජීවත් වන කාන්තාවක හා දිව්‍ය ශරීරයකින් එක්වීමට නොහැකිවීම හේතුවෙන් කතරගම දෙවියන් අවසානයට තීරණය කර ඇත්තේ ඇයව ද තමන්ගේ ලෝකයට එක්කර ගැනීමටය. මේ අනුව කුමරියගේ ගෙල මිරිකා දිවි තොර කරන ලදුව ඇයව ස්වකීය දිව්‍ය සභාවට එක්කර ගැනීමට කතරගම දෙවියන් කටයුතු කරන ලදැයි පැවසේ. ජනප්‍රවාදයේ එන මේ කතා පුවතට අනුව එතුමන් විසින් කුමරියගේ ගෙල සිර කර මරා ඇත්තේ ඇය දෝලාවකින් ගමන් කරමින් සිටියදීය. ඉන් තවදුරටත් කියවෙන්නේ ඇයගේ ඝාතනය සිදුවී ඇත්තේ පුහුල් පිටිය නම් ස්ථානයේදී බවය.

ඇයගේ මළ සිරුර භූමිදානය කර ඇත්තේ කහට කොටයක තැන්පත් කිරීමෙන් අනතුරුව බවද, හදිසියේ ඇති වූ ගංවතුරක් හේතුවෙන් නායයාම නිසා එය පහළට ගසාගෙන ගිය බවද තවදුරටත් සඳහන් වේ. මේ වන විට කහටපිටිය නමින් හැඳීන්වෙන්නේ එම ස්ථානය බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. මෙහිදී ගොඩ ගන්නා ලද ඇයගේ සිරුර ගරු බුහුමන් සහිතව ආදාහනය කරන ලද බවත්, බෝතලාපිටියේ ගංගාතිලක විහාරයට අයත් කුඩා දේවාලයක් තනා ඇත්තේ මේ ස්ථානයේ බවත් පැවසේ.

එවැනි තවත් පුවතකට අනුව ඇයගේ මරණය සිදුවූ තැන ලෙස හඳුන්වා දී ඇත්තේ සැවැන්දරා පිටිය නම් ස්ථානයයි. එම පුවත අනුව එතුමියගේ සිරුර සහිත කහට කොටය ගොඩ ගෙන ඇත්තේ පෝරුතොට නැමැති ස්ථානයේදීය.

සෙන් බණ්ඩාර දේවියගේ සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව ගම්වාසීන් ඒ බව වික්‍රමබාහු රජුට දන්වනු ලැබූ බවද, ඔහු පස් දිනක් මුළුල්ලේ අවමඟුල් උත්සවයක් පවත්වන ලදුව බෝතලාපිටිය නම් ස්ථානයේ දී ඇයගේ ආදාහනය සිදුකරන ලද බව මේ කතා ප්‍රවෘත්තියේම සඳහන්වේ. ඇම්බැක්කේ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර අවසානයේ මේ කුඩා දේවාලය අසල නදියෙන් දිය කැපීමට කපුවෝ පුරුදුව සිටිති.

හෙණ කඳ බිසෝ බණ්ඩාර දේවිය ගැන ඇති ජනප්‍රවාද අතර වූ වඩාත් විමතිය දනවන පුවත වන්නේ ඇයගේ සැමියා වික්‍රමබාහු රජතුමා නොව කොත්මලේ බණ්ඩාර නැමැත්තෙකු යයිද ප්‍රචලිතව තිබීමය.

මේ අන්දමට කවරාකාර ජනප්‍රවාදවලට ලක් වුවද බිසෝ බණ්ඩාර දේවිය ගැන අසා ඇති සෑම අයෙකුගේම පොදු අදහස වන්නේ, ඇය සතු හාස්කම් අතිශයින්ම ප්‍රබල බවය.

වරක් බෝතලාපිටියේ කුඩා දේවාලයකට පැමිණි එක් රජතුමෙකු ඇයගේ ඇයගේ සිරුර ගොඩගත් තැනින් ජල දෝතක් රැගෙන පහනකට දැමූ බවත්, ඉක්බිති තෙල් දැමූ කලක මෙන් එය දැල්වෙන්නට වූ බවත් ප්‍රචලිත කරුණක් බවට පත්ව ඇත.

මේ පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන සමාජ විද්‍යාත්මක කරුණක් වන්නේ මේ යුගයේ රජ පවුලක ස්ත්‍රියක මිය ගිය කල්හි ආදාහනය කිරීමක් හෝ භූමදානය කිරීමක් නොකළ බවය. සෙන් බණ්ඩා කුමරියගේ දේහය ගං දියේ පාකර යවන්නට ඇත්තේද ඒ නිසා යයි සිතිය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.