රජකම දෙපා මුලට ගෙන ආ අෂ්ටම ඒරාෂ්ටකය

මැයි 3, 2024

අද දිනයේ දී බලාපොරොත්තු වන්නේ මෙරට නිදහසින් පසු බිහි වූ ඉතා පින්වන්ත රාජ්‍ය නායකයකු පිළිබඳව කතාබහ කරන්නටය. ඒ අන් කිසිවෙකුත් නොව 1993 වසරෙහි මැයි 7 වනදා කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතූ මොහොතක, කිසිදු මැතිවරණයකින් තොරව මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලත් ඩී.බී. විජේතුංග මහතාය.

ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ උප්පත්ති කේන්ද්‍ර සටහන ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය “මිථුන” වන අතර, ඒ අනුව 1990 වසරෙහි දෙසැම්බර් 15 වනදාත් 1993 වසරෙහි මාර්තු 15 වනදාත් අතර කාල සීමාව තුළ සහ 1993 වසරෙහි ඔක්තෝබර් 15 වනදාත්, 1993 වසරෙහි නොවැම්බර් 9 වනදාත් අතර කාලසීමාව තුළ ඒ මහතාට ඉතා තදබල අෂ්ටම ඒරාෂ්ටක ගතවී ඇති බව පෙනේ. ඒ අනුව විජේතුංග මහතා, කිසිවෙකුත් නොසිතූ මොහොතක මෙරට රාජ්‍ය නායකත්වයට පත්වී ඇත්තේ ඒ මහතා ගත කළ ලග්න අෂ්ටම ඒරාෂ්ටකයේ උණුසුම මැකී යන්නට පෙර බව පෙනේ. මීට අමතර ලෙස විජේතුංග මහතාට කිසිදු පුද්ගලයකු නොසිතූ මොහොතක ලැබුණ අග්‍රාමාත්‍ය ධුරයේ බලතල භුක්ති විඳිද්දී, ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලසීමාව අතර මැදදීද ඒ මහතාට ඇති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකය ගතවී ඇති බව පෙනේ. ඒ අනුව කිසිවෙකුත් නොසිතු මොහොතක රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභාවයෙන් පසු මෙරට රාජ්‍ය නායකයා බවට ඩී.බී. විජේතුංග මහතා පත් වූ පසුබිම තුළ අතිප්‍රබල ඒරාෂ්ටකවල බලපෑම් පෙන්නුම් කෙරේ. මෙහි විශේෂත්වය වන්නේ, මීට කලින් ලිපියකින්ද පෙන්වා දුන් පරිදි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිවෙකුත් නොසිතූ මොහොතක මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විට ඒ මහතාටද , ඉහත කී ආකාරයටම ඉතාම තදබල ඒරාෂ්ටක ගත වීමය. එමෙන්ම මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදිම, රනිල් වික්‍රමසිංහ මහතා රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුව, මෙරට රාජ්‍ය නායකත්වයට පමණක් දෙවැනි අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලබන විටද ඒ මහතා වත්මන් ජනාධිපති ධුරයට පත් වද්දී ගත කළ ආකාරයට, කිසිදු වෙනසක් නොමැතිව, ඉතා තදබල ඒරාෂ්ටක එලෙසම ගත කර තිබීම විස්මිත කාරණයකි.

මා 2004 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටියදී මිතුරෙකුගෙන් ඔහුගේ උත්පත්ති ග්‍රහ සටහන පිළිබඳව විමසුවෙමි. මට හමු වන හිතවතුන්ගෙන් එවැනි ග්‍රහ සටහන් පිළිබඳව විස්තර විමසීම මගේ පුරුද්දක් වූ අතර, පෙර සඳහන් මිතුරාට ඔහුගේ ග්‍රහ සටහන පිළිබඳව මතකයක් නොමැති බවද ඔහුගේ ලග්නය “ධනු” බවද හෙළි විය. ඒ වන විටත් ඒරාෂ්ටක කාලවකවානුවල සිදුවන සිදුවීම් පිළිබඳව අවබෝධයක් ලබා සිටි මා හට, ඔහුගේ ලග්නය ‘ධනු’ නිසා 2004 වසරෙහි සැප්තැම්බර් 12 වනදා සිට ඔහුට අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් උදා වන බව සිහිපත් විය. සැබැවින්ම එම අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය 2005 වසරෙහි ජනවාරි 6 වනදා දක්වාද, 2005 වසරෙහි මැයි 29 වනදා සිට 2006 වසරෙහි නොවැම්බර් 15 වනදා දක්වාද 2006 වසරෙහි දෙසැම්බර් 31 වනදා සිට 2007 වසරෙහි ජූලි 17 වනදා දක්වාද පැවැතිණි.

මම ඉතා විශ්වාසදායී ලෙස ඔහුට අනාවැකියක් පැවසුවෙමි. එනම්, 2004 වසරෙහි සැප්තැම්බර් 12 වනදායින් පසුව එළඹෙන මාස කිහිපය තුළ ඔහුගේ ජීවිතයෙහි පෙරළිකාර වෙනසක් සිදු වන බවත් අලුත්ම අත්දැකීම් රැසකට කෙටි කාලයක් තුළ මුහුණදීමට සිදු වන බවත්ය. ඡ්‍යොතිෂ්‍ය තඹයකටවත් විශ්වාස නොකළ ඔහු, මා පැවසූ අනාවැකියට මඳක් ඇහුම්කන් දුන්නද ඒ පිළිබඳව වැඩි විස්තර නොවිමසීය. එවකට ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාළිකාවක ඉංජිනේරු අංශයේ සේවය කළේය. මා ඉහත සඳහන් කළ පාඨමාලාව අවසන් වීම නිසා කලකට ඔහු අප ඇසුරින් ඈත් වූ අතර, 2005 වසරේදී මට ඔහු නැවත හමු විය. මා දුටු ඔහුගේ දෑස් දිලිසෙන්නට වූ අතර, මා පැවසූ අනාවැකිය සම්පූර්ණයෙන්ම සත්‍ය වූ බව ඔහු පැවසුවේය. ඔහු ඒ පිළිබඳව මවිතයට පත්ව තිබූ අතර, එම සිදුවීම් පෙළින් පසු ඔහුට ඡ්‍යොතිෂ්‍ය විශ්වාස කරන්නට සිදු වී ඇති බවද පැවැසුවේය. සැබැවින්ම ඔහුට ඔහු සේවය කළ රූපවාහිනී ආයතනයටත් වඩා කීර්තිමත් රූපවාහිනී ආයතනයක සේවය කිරීමට අවස්ථාව ලැබී තිබුණ අතර, ඔහුගේ වැටුප් සහ වෙනත් වරප්‍රසාද කිහිප ගුණයකින් වැඩි වී තිබිණි. මා දන්නා තරමින් ඔහුට ලැබී තිබුණේ ඉංජිනේරු අංශයේ ප්‍රධානම තනතුරය. ඔහුගේ ජීවිතයේ මේ අතිප්‍රබල පරිවර්තනය සිදු වූයේ ඉතා ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකය ගත කරද්දීය.

මා දන්නා කුම්භ ලග්නය දරන මහත්මයකුට ඉතාම හොඳ රැකියාවක් වෙනුවෙන් චීනයට යාමට වාසනාව උදා විය. ඒ වන විට විදෙස් රටක එවැනි රැකියාවක් වෙනුවෙන් වැටුප ලෙස වැඩිම මුදල් ගෙවන ලද්දේ ඔහුටය. මේ විදේශ සංචාරය ඉතා අහම්බෙන් සිදු වු අතර, එම අවස්ථාව ඔහු හට ලැබුණේ 2011 වර්ෂය තුළය. ඔහු කුම්භ ලග්නයෙන් උපත ලබා සිටියකු නිසා 2009 සැප්තැම්බර් 12 වනදාත්, 2011 නොවැම්බර් 12 වනදාත් අතර කාලය තුළ ඔහුට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත විය. එනම් ඔහුට ඉහත කී අනර්ඝ අවස්ථාව ලැබෙන විට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් සිටි බව ඉතාම හොඳින් පැහැදිලිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.