පුද්ගලයකු අකාලයේ මිය යෑමේ ග්‍රහයෝග

පෙබරවාරි 25, 2022

 

මේ දිනවල ජන සමාජය තුළ නිතර කතාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්‍රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වාභාවික විපත් හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබීමයි.

 

විශේෂයෙන් යුද්ධය පැවති පසුගිය කාලයටත් වඩා වැඩි අගයකින් අද වන විට හදිසි අනතුරු වලින් මිය යාම මෙන්ම විවිධාකාරයේ අබාධයන්ට ලක්වන ප්‍රමාණය අති මහත්ය. මෙම කාරණය වත්මන් සමාජය තුළ කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම මෙම අනතුරු හේතුවෙන් වැඩි වශයෙන් අපට අහිමි වනුයේ අපේ රටේ සම්පතවන දරුවන්, තරුණ තරුණියන් හා වැඩිහිටි ජනතාවයි. මේ පවතින ගැටලුවට තිරසාර විසඳුමක් සොයා ගත යුතු කාලය දැන් උදාව ඇත. ඉහත සඳහන් ආකාරයට හදිසි අනතුරු ස්වාභාවික විපත් හෝ රෝගාබාධ හේතුවෙන් අකාලයේ මිය යන පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර තුළ මෙම අල්පායුෂ යෝග හා ග්‍රහ පිහිටීමි සඳහන්ව ඇත්තේ ද යන්න පිළිබඳව මෙම ලිපියෙන් අද අපි විමසා බැලීමට අදහස් කරන්නෙමු. යම් ජන්මියකු මෙලොව උපදින විට හා ළමා කාලයේදී තද බල ලෙස අපල අති කරන බාලාරිෂ්ට යෝග නැතහොත් ආයුෂයට පීඩා ගෙන එන ග්‍රහ පිහිටීමි රාශියක් මෙන්ම එක් එක් වයස් සීමාවලදි මෙන්ම තමන් උපන් දිනයේම මියයෑමට ලක්වන ග්‍රහ යෝග හා ග්‍රහ පිහිටීම් උසස් ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් ඉපැරණි පොත් පත්වල දක්වා ඇත. ඒ අනුව මෙම ලිපිය මගින් අප අද සාකච්ඡා කරන්නේ ඉන් කීපයකි. පහත තත්ත්වයන් උදා වීමට ජන්මියාගේ උත්පත්ති ග්‍රහචාරයේ මීට සම්බන්ධ ග්‍රහයින්ගේ බල දුබලතා බෙහෙවින්ම බලපානු ලබයි.

වත්මන් සමාජයේ වැඩි වශයෙන් අනතුරු සිදුවන්නේ රථවාහන හේතුවෙන් මහමඟ අතරමඟදී හදිසි අනතුරකින් මියයෑම කෙරෙහි පිහිටන ග්‍රහ යෝග වීමසා බැලීමේදී පස් වැන්නාධිපති හා දොළොස්වැන්නාධිපති නීච වී අඩු නැතිවම නීච ග්‍රහයන් දුටුවහොත් එම ග්‍රහයන් පස් වැන්නාධිපති නොදුටුවහොත් එම තැනැත්තා මිය යන්නේ මහමඟ සිදුවන හදිසි අනතුරුවලින්ය. ඡ්‍යොතිෂයෙන් ඉගැන්වෙන අන්දමට යම් තැනැත්තකු හදිසි අනතුරුවලට ලක්වී මියයෑමට බලපානු ලබන ග්‍රහ පිහිටීම් එකක් දෙකක් නොව සිය ගණනක්ම වෙයි. හදිසි අනතුරු වශයෙන් හඳුන්වනු ලබන්නේ වාහනවලින්ම සිදුවන අනතුරු පමණක් නොවේ.

ජන්ම පත්‍ර තුළ හදිසි අනතුරුවලට ලක්විය හැකි ග්‍රහ යෝග අපට හඳහන් පරීක්ෂාවෙිදී දැක ගත හැකිය කෙසේ වෙතත් ඔබේ ලග්නයේ ලග්නය, ලග්නාධිපති, චන්ද්‍රයා හා රවි යන ග්‍රහයන් හතර දෙනාගෙන් තුන් දෙනෙකුවත් දුබල වී ඔවුන් පාපී ග්‍රහයන්ට මැදිවී අශුභ ග්‍රහයන් සිටීමකට හෝ දැකීමකට ලක්වේ නම් ඔබේ කේන්දරයේ හදිසි අනතුරු යෝගයක් ඇති බව වටහා ගන්න. යම් ජන්මියකු උත්පත්ති අවස්ථාවෙිදී රවි හා කුජ යන ග්‍රහයින් දෙදෙනා සංයෝග වී සඳුගෙන් 7 වැන්නේත් රාහු ලග්නයේත් තැන්පත්ව සිටිය හොත් එම ජන්මියා දින 10කින් මිය යාමට හැකියාව ඇත.

එමෙන්ම සෙනසුරු ලග්නයේම වී චන්ද්‍ර හෝ රවි හත්වැන්න වී යමකු උපත ලැබුවහොත් 4 වැන්න පඨවි රාශියක් වී එහි පාපී ග්‍රහයන් වේ නම් එය ද හදිසි අනතුරු ගෙන දෙන තත්ත්වයකි. එවැනි අය මිය යන්නේ වාහන වලින් සිදුවන හදිසි අනතුරුවලින් නොව තාප්ප, කඳු, ගොඩනැඟිලි, යකඩ සුන්බුන් ආදියට යටවීමෙනි.

චන්ද්‍රයා ලග්න භාවයේ ද රවි 9 වන භාවයේ ද කුජ හෙවත් අඟහරු 8 වන භාවයේ ද සෙනසුරු 12 වන භාවයේ ද ජන්ම පත්‍රයක පිහිටා සිටිය කල එම ග්‍රහයින් සුබවාදී ගුරු හෙවත් බ්‍රහස්පතිට නොපෙනෙන්නේ ද එම ජන්මියා ඉපදුණු වහා මරුවට පත් විය හැකිය. නමුත් ගුරු 5 වැන්නේ ප්‍රබලව සිටිය හොත් පමණක් ඔහු ජීවත් වනු ඇත.

ඉහත ආකාරයටම ග්‍රහයන් තැන්පත් වී 4 වැන්නේ ජල රාශියක් යෙදුණහොත් ඔහු නියත වශයෙන්ම මියයන්නේ ජලයේ ගිලීමෙනි. එමෙන්ම කේන්දරයක 8 වැන්නෙහි සඳු සිට ශනි, කුජ යන ග්‍රහයන් සංයෝග වුවහොත් හෝ එම ග්‍රහයන් දකින්නේ නම් එම තැනැත්තා මියයන්නේ ජලයේ ගිලීමෙනි.

ඡ්‍යොතිෂ මතයන්ට හා නියමයන්ට අනුව ඔහු වයස අවුරුදු 32 දී හෝ 39 දී මියයයි. පාප ග්‍රහයන්ගෙන් පීඩිත වූ සඳු 12 වැන්නට පැමිණ ජන්මයක් ලැබුවහොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයක් පැමිණි විට එම තැනැත්තා දියේ ගිලී මිය යන්නේය. එසේම යම් අයකුගේ කේන්දරයේ 6 වැන්න කටක, මීන වැනි ජල රාශියක් වී හතර වැන්න දුබල වී නිම වූ අවස්ථාවක් වේ නම් ඔහු මියයන්නේ දියේ ගිලීමෙනි.

කේන්දරයේ 5 වැන්නාධිපති, 9 වැන්නාධිපති සමඟ පාප ග්‍රහයන් සමඟ සංයෝග වුවහොත් අටවැන්නාධිපති අටෙහි චන්ද්‍රයා නොදුටු යෝගයකින් උපත ලැබූවකු වේ නම් ඔහු නියත වශයෙන්ම මියයන්නේ නැව්, පාරුව හෝ ඔරුවෙන් ජලයට වැටීමෙනි.

රාහු හා ලග්නාධිපති ග්‍රහයා දුර්වලව සංයෝග වී 7 වන රාශියේ තැන්පත්ව සිටි කල 21 මසකින් හෝ 21 දිනකින් එම ජන්මියාට විපතක් සිදු වනු ඇත. එම විපත හදිසි අනතුරකින් හෝ හදිසි රෝගාබාධයකින් සිදුවීමට ඉඩ ඇති අතර එය බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය දා සිදු වූ අවස්ථා අප දැක ඇත. 8 වැන්නෙහි චන්ද්‍රයා හා රාහු යෙදී ලග්නයේ කෲර ග්‍රහයන් දුටුවහොත් ඒ රුදුරු :නපුරු ග්‍රහයන් හෝ දශා කාලයේදී එම තැනැත්තා මිය යන්නේ ඔළුව හෝ බෙල්ල කැපීමකිනි. කුජ ග්‍රහයා , දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයෙක් දුටු විට ඔහු මිය යන්නේ ගින්නෙට හසු වීමෙනි. එසේම ඔහුගේ බිරිඳගේ කේන්දරයේ කුජ වැනි නපුරු ග්‍රහයෙක් 7 වැන්නේ සිටියහොත් විවාහ වී වසර 7කින් ස්වාමියා මිය යන්නේ ගින්නට හසුවීමෙනි. මෙම යෝගය වැන්ඳඹු යෝගයක් ලෙස ඡ්‍යොතිෂයේ ඉගැන්වෙයි. අකුණු සර වැදී හදිසි අනතුරකින් මියයන පුද්ගලයාගේ කේන්දරයේ කුජ, යුරේනස් 7 වැන්නාධිපතිව 12හි සිටියි. සුබ ග්‍රහයන් එම ස්ථානවල නොසිටීම අකුණු සර වැදී මිය යෑමට හේතුවකි. කුජ අට වැන්නේ සිටියදී රවි, කුජ ග්‍රහයන් මේෂ, සිංහ, ධනු වැනි රාශියේ තැන්පත් වූ විට ඔහු මියයන්නේ අකුණු සර වැදී හෝ වෙඩි බෝම්බ වැනි කර්මයකට ගොදුරු වීමෙනි.

චන්ද්‍රයා සමඟ පාපී ග්‍රහයෙකු යෝගව සිටිය විටදී 7 වැන්නේ හෝ ලග්නයේ පාපී ග්‍රහයෙකු සිටි කල්හි හා එම වන්ද්‍රයා සුබ ග්‍රහයෙක් විසින් නොදකින ලද්දේ නම් එම යෝගයෙන් උපන් ජන්මියා ඔහුගේ හෝ ඇයගේ උපන් දිනයෙන් දින කීපයකින් මිය යනු ඇත. එය බොහෝ විට සතියකට අඩු කාලයකිනි.

කුජ ලග්නයෙහි යෙදී රවි ග්‍රහයා ශනිගෙන් පීඩා වුවහොත් ඔහු මියයන්නේ ගිනි අවි, බෝම්බ හෝ ගින්නට හසුවීමෙනි. කුජ දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයන් දුටුවහොත් හා දෙවැන්නේ සුබ ග්‍රහයන් නැත්තේ නම් ඔහු මිය යන්නේ ගිනි බියෙනි.

මෙවැනි ග්‍රහ පිහිටීම දුම්රියට පැන වාහනයට පැන තමන් විසින්ම මරණයට පත්වීමට හේතුවේ.

සූර්යයා හා චන්ද්‍රයා යන ආලෝක ග්‍රහයින් දෙදෙනාම උත්පත්ති අවස්ථාවේදී කෲර පාපී ග්‍රහයින් සමඟ සංයෝග වී ලග්නයෙන් 3 වන භාවයේ තැන්පත්ව සිටිත් නම් ජන්මියා ප්‍රබල රෝගියෙකු වී වසර 3ක් ඇතුළත මිය යාමට හැකියාව ඇත.

කේන්දරයේ පස් වැන්නාධිපති 1, 5, 9 යන ති‍්‍රකෝණ ස්ථානවල යෙදී ශනි හෝ රාහු

සමඟ සංයෝග වුවහොත් ඔහුගේ මරණය ක්ෂණික මරණයකි. 9 වැන්නෙහි කුජ, ශනි,රාහු යන ග්‍රහයන් තුන් දෙනා සමඟ රවි යෙදී උපත ලැබුවහොත් අශුභ ග්‍රහයන්ගේ මහ දශා කාලයෙදී ඔහු මියයන්නේ අවි ආයුධවලින් කැපුම් කෙටීම්වලින්, තුවාල හේතුවෙනි.

මේ ආදී වශයෙන් හදිසි අනතුරුවලට බලපානු ලබන ග්‍රහ පිහිටීම් ,යෝග හා යෙදී

ඡ්‍යොතිෂයට අනුව ඉතා විශාල සංඛ්‍යාවක් පිහිටයි. රවි හා ශනි යන ග්‍රහයින් දෙදෙනා කේන්ද්‍ර ගතව හෝ සංයෝග වී හෝ වෙනත් රාශියක පිහිටා සුබ ග්‍රහයින්ගේ සුබ දෘෂ්ටි නොලබයි ද එසේ වූ කල්හි දෙවියන් බැලූව ද එම ජන්ම පත හිමි ජන්මියා ඔහුට වයස අවුරුදු 11 වන වියේදී මරණයට පත් විය හැකිය. මෙම මරණයට පත්වීම හදිසි අනතුරක් හෝ හදිසි අසනීපයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. සෙනසුරු හෙවත් ශනි අඟහරු හෙවත් කුජ චන්ද්‍රයා හා රාහු යන ග්‍රහයින් එක්ව 7 හෝ 9 තැන්පත්ව සිටියේ නම් මෙන්ම එම ග්‍රහයින් ලග්නයේ මෙන්ම නවාංශකයේ ද දුර්වලව පාප පීඩිත නම් එම ජන්මියා ඉපදී දින 4කින් බොහෝ දුරට මිය යා හැකිය.

සඳු හෙවත් චන්ද්‍රයා කිසියම් වූ ලග්නයක් සියලුම පාපී ග්‍රහයින් 4, 7, 10 යන ක්න්ද්‍රස්ථානවල තැන්පත්ව සිටියේදී උපන්නා බොහෝ දුරට එවලේම මිය යාමට හැකියාව ඇත. විශේෂයෙන් ඉහත ආකාරයේ ග්‍රහ පිහිටීම් ඉතාම විරල ගනයේ වන අතර නවාංශකයේ ද ග්‍රහ ශක්තිය දුර්වල විය යුතු අතර ඉහත මිය යෑම උපන්දාම මිය යෑමට තවත් උදාහරණයකි.

චන්ද්‍ර හෝරාවට සම්බන්ධ සඳු ජන්ම පතෙහි කේන්ද්‍ර ස්ථානයක අට වැන්න අධිපතියා ද සමඟ සිටියදී 8 වැනි රාශියෙහි වෙනත් ග්‍රහයෙක් සිටී ද මෙසේ වූ කල්හි එම ජන්මියා උපන් අවස්ථාවේදීම මිය යාමට හැකිය. රවි ග්‍රහයා ග්‍රහණය වී පාපී ග්‍රහයන් සමඟ ලග්නයේ පිහිටි කල කුජ හෙවත් අඟහරු ග්‍රහයා 8 වැන්නේ පිහිටියහොත් අයුධ පාවිච්චිය හේතු කොට ගෙන දරුවා හා මව යන දෙදෙනාම මරණයට පත් විය හැකිය.

යම්කිසි ජන්මියකු උපදින අවස්ථාවෙි සඳු ග්‍රහයා ලග්න ගතව පාපී ග්‍රහයින්ට මැදිව සුබ ග්‍රහයන්ට නොපෙනෙන්නේ ද එසේම 7 හා 8 යන ස්ථාන දෙකෙහි පාපී ග්‍රහයින් සිටියේ ද එම අවස්ථාවේ උපදින දරුවා හා මව යන දෙදෙනාම එවලේම මිය යාමට හැකියාව පවතී. රවි හා සඳු යන ග්‍රහ දෙපල සංයෝගව තැන්පත් රාශියෙන් කේන්ද්‍ර ස්ථානයක 9 වැන්නේ පාපී ග්‍රහයෙකු ඉතාම දුර්වලව තැන්පත්ව සිටියේ නම් එම ජන්මියා දියේ ගිලීමෙන් හෝ වස විස පානයෙන් මරුමුවට පත් විය හැකිය. ඉහත සඳහන් කර ඇත්තේ හදිසි අනතුරු ස්වාභාවික විපත් වැනි උපද්‍රව හේතුවෙන් අඩු වයසින් විශේෂයෙන්ම තමන්ගේ උපත සිදු වූ දිනයේදීම මරණයට පත්වන හා තවත් ඒ අකාරයට රථවාහන හෝ වෙනත් අයුරකින් මරුමුවට පත්වන ජන්මීන්ගේ හඳහන් තුළ දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම්ය. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ඉහත සඳහන් අකාරයට හදිසි අනතුරු වලින් මිය ගිය ජන්මීන්ගේ ජන්ම පත්‍ර විමසීමේදී මෙම තත්ත්වය අපට දැක ගත හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.