තුන්වැනි භාවය

පෙබරවාරි 10, 2023

 

ජන්ම කේන්ද්‍රයේ තුන්වන කොටුව හෙවත් තෙවන භාවය සහෝදරස්ථානය, වික්‍රමස්ථානය යන නම්වලින් හැඳින්වේ. සාමාන්‍යයෙන් ජන්මියාගේ සහෝදර සහෝදරියෝ, අසල් වැසියෝ, අන් අයගෙන් ලැබෙන සහයෝගය වික්‍රමය, ධෛර්යය හෙවත් සටන්කාමි බව, සුළු ගමන් බිමන්, පියාගේ නෑදෑයෝ, තමන්ගේ කුසලතාවය, ධාරණ ශක්තිය, ලිවීම, කියවීම ආදිය තුනෙන් බැලිය යුතු ය. ශරීරයේ බාහු දෙක හා පපුවේ උඩ කොටස තුන්වැන්නට අයත් වේ.

ජන්මියාගේ බාල සහෝදරයා පිළිබඳව තුන්වැන්නෙන් බැලිය යුතු වේ. ජන්මියාගේ ලග්නාධිපති හා තුන්වැන්නාධිපති ශුභ ග්‍රහයන් වී එයින් තුන් වැන්නට බලපෑමක් සිදු වේ නම් ජන්මියාගේ බාල සහෝදරයන් කෙරෙහි ඉතා සමීප සබඳතාවක් ඇතිවේ. ඒ වගේම ලග්නාධිපති ග්‍රහයා සහ තුන්වැන්නාධිපති ග්‍රහයා පාපීන් වූයේ නම් එයින් තුන්වැන්නට බලපෑමක් සිදුවේ නම් එවිට බාල සහෝදරයන් සමඟ විරෝධයක් ඇති කෙනෙක් වේ.

සහෝදර කාරකයා කුජ ග්‍රහයා වේ. සහෝදර කාරක කුජ හා තුන අධිපති ග්‍රහයා 8 වැන්නේ සිටිවිට සහෝදරයන්ට එතරම් ශුභ නොවේ. එම ග්‍රහයන් දෙදෙනා පාපීන් සමඟ සිටි විටත් සහෝදරයන්ට එතරම් ශුභ නොවේ. තුන්වැන්නේ ශුභ ග්‍රහයන් සිටි විට සහෝදරයන්ට ශුභ තත්ත්වයක් උදාවේ. සහජ ස්ථානය හෙවත් තුන්වැන්නෙන් ජන්මියාගේ දෑත නියෝජනය වේ. ජන්මියා කරනු ලබන සෑම කටයුත්තකදීම තම දෑතේ ශක්තිය අවශ්‍ය වේ.

මවගේ වියදම පිළිබඳවද තුන්වැන්නෙන් කියැ වේ. හතරවැන්නෙන් දොළොස්වැන්න තුන්වැන්න වන බැවින් මවගේ වියදම ද ධන හානි පිළිබඳව ද තුන්වැන්නෙන් කියැවේ. ඒ වගේම මාමාගේ රැකියාව හා තනතුරු පිළිබඳවද තුන්වැන්නෙන් කියැ වේ. 6 වැන්නෙන් 10 වැන්න තුන්වැන්න වන බැවින් මාමාගේ රැකියාව මාමාට ලැබෙන තනතුරු පිළිබඳව ද තුන්වැන්නෙන් කියවේ.

එකොළොස් වැන්නෙන් පස්වැන්න තුන්වැන්න වන බැවින් වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ දරු උපත් ගැනද තුන්වැන්නෙන් කියැවේ. තවද ලග්නාධිපති හා තුන්වැන්නාධිපති යන ග්‍රහයන් ශුභ ග්‍රහයන් වූයේ නම් එයින් එකළොස්වැන්න හා සම්බන්ධතාවක් පවතී නම් තම සහෝදර සහෝදරියන් තුළ ඉතා කිට්ටු ළෙන්ගතුකමක් ඇති වේ. ලග්නාධිපති හා තුන්වැන්නාධිපති යන ග්‍රහයන් පාපී ග්‍රහයන් වූයේ නම් තම වැඩිමහල් සොයුරා සමඟ තරහක් වෛරයක් උපදී.

සහජ ස්ථාන හෙවත් තුන්වැන්න යනු ජන්මියාගේ සහජ කුසලතාවයන් පෙන්නුම් කරන රාශියයි. කේන්ද්‍රයක කොටු 12 න් තුන්වැන්නට වැඩි අවධානයක් යොමු නොවුණ ද තුන්වැන්න ජන්ම කේන්ද්‍රයේ අත්‍යවශ්‍යම භාවයක් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.