ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේ පාලක ග්‍රහයන්

ඔක්තෝබර් 16, 2020

යම්කිසි වැදගත් සිදුවීමක් සිදු වන අවස්ථාවකදී එම වෙලාවේ එම සිද්ධියට අදාළව උදාවන ග්‍රහයින් පාලක ග්‍රහයින් ලෙස ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේ සඳහන් වෙයි. මෙම පාලක ග්‍රහයින්ගේ න්‍යාය මහාචාර්ය ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමාට සොයාගැනීමට උපකාර වූයේ වෘහත් ජාතකයේ සඳහන් නෂ්ඨ කේන්දර සෑදීම උගන්වන කොටසේදී තත්කාල කේන්දරයේ උදා නවාංශකය ජන්මියාගේ ලග්නය විය හැකි බව සඳහන් කරන ලද ඉගැන්වීම බව පෙන්වා දී ඇත.

මෙම පාලක ග්‍රහ රීතිය වෙනත් කිසිම ජ්‍යෙතිෂ ක්‍රමයක සඳහන් නොවන බවත් මෙය ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමයට පමණක් ආවේණික න්‍යායක් බවත් ක්‍රිෂ්ණ මූර්තිතුමා පෙන්වා දී ඇත. උප්පත්ති වෙලාවක් නිවැරදි කරගෙන හෙවත් ප්‍රතිශෝධනය කරගෙන නිවැරදි ජන්ම පත්‍රයක් සකස් කර ගැනීමටත් ප්‍රශ්න ශාස්ත්‍රයේදී ඕනෑම ඡ්‍යොතිෂ අනාවැකියක් හෝ කටයුත්තක් නිශ්චිතව සැකයෙන් තොරව සිදු වන බව ප්‍රකාශ කිරීමටත් යොදා ගනු ලබන්නේ මෙම ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේ එන පාලක ග්‍රහයන්ය. ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා විසින් මෙම පාලක ග්‍රහයන් පස් දෙනෙක් නම් කර ඇත. එනම්

1.දින අධිපති ග්‍රහයා 2.රාශ්‍යාධිපති ග්‍රහයා 3.චන්ද්‍ර නක්ෂත්‍රාපති ග්‍රහයා 4.ලග්නාධිපති ග්‍රහයා 5. ලග්න නක්ෂත්‍රාපති ග්‍රහයා

1) දින අධිපති ග්‍රහයා

යම්කිසි සිද්ධියක් සිදු වන අවස්ථාවක එම සිද්ධියට අදාළව දිනයට අධිපතිත්වය දරන ග්‍රහයා දින අධිපති ග්‍රහයා ලෙස නම් කර ඇත.

2) රාශ්‍යාධිපති ග්‍රහයා

සිදුවීමකට අදාළ අවස්ථාවේ සඳු ගමන් කරමින් සිටි රාශිය අධිපති ග්‍රහයාය.

උදා – යම් සිදුවීමක් සිදු වන අවස්ථාවේ සඳු ග්‍රහයා වෘෂභ රාශියේ සිටියේ නම් රාශ්‍යාධිපති ග්‍රහයා සිකුරුය.

3.චන්ද්‍ර නක්ෂත්‍රාපති ග්‍රහයා

අදාළ මොහොතේ චන්ද්‍රයා ගමන් කරමින් සිටි නැකත අධිපති ග්‍රහයායි.

උදා – අදාළ මොහොතේ චන්ද්‍රයා අස්විද, මා, මුල නැකතක ගමන් කරමින් සිටියේ නම් චන්ද්‍ර නක්ෂත්‍ර අධිපතියා කේතු වශයෙන් ද මුවසිරස, සිත, දෙනට යන නැකතක ගමන් කරමින් සිටියේ නම් චන්ද්‍ර නක්ෂත්‍රාපතියා කුජ වශයෙන්ද සලකනු ලැබේ.

4.ලග්නාධිපති ග්‍රහයා

යම් සිදුවීමකට අදාළ මොහොතේ උදා වී ඇති ලග්නයේ ලග්නාධිපති ග්‍රහයායි. අදාළ මොහොතේ උදා වී ඇත්තේ ධනු ලග්නය යැයි උපකල්පනය කරමු. මෙහිදී ලග්නාධිපතියා ගුරු ග්‍රහයා වශයෙන් සලකනු ලබයි.

5.ලග්න නක්ෂත්‍රාපති ග්‍රහයා

සිද්ධියකට අදාළ අවස්ථාවේ උදා වූ ලග්න නක්ෂත්‍ර අධිපති ග්‍රහයායි

උදා – සිද්ධියකට අදාළ අවස්ථාවේ මේෂ රාශියේ අංශක 03 50 යැයි සිතමු. මෙය මේෂ රාශියේ අස්විද නැකතට අයත් කොටසයි. එවිට නක්ෂත්‍ර අධිපති ග්‍රහයා වන්නේ කේතු ග්‍රහයායි.

ඉහත සඳහන් පාලක ග්‍රහයින්ගෙන් දින අධිපතිට වඩා රාශ්‍යාධිපති ද, රාශ්‍යාධිපතිට වඩා චන්ද්‍ර නක්ෂත්‍රාධිපති ද වන නක්ෂත්‍රාධිපතිට වඩා ලග්නාධිපතිද ලග්නාධිපතිට වඩා ලග්න නක්ෂත්‍රාධිපති ද බලවත් බව ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේ සඳහන් වෙයි. මෙම පාලක ග්‍රහයින්ගේ වැඩි වාර ගණනක් උදා වී ඇති පාලක ග්‍රහයන් ඇත්නම් ඔවුන් අනෙක් ග්‍රහයින්ට වඩා වැඩියෙන් බලවත් වෙයි. එමෙන්ම රාහු සහ කේතුට ද විශේෂ ස්ථානයක් හිමි වෙයි. රාහු සහ කේතු තැන්පත් රාශිවල අධිපතියා වශයෙන් ද මෙම චායා ග්‍රහයින් සමඟ එකම රාශියේ සිටින ග්‍රහයන්ගේ නියෝජිතයෝ ලෙස ද පෙනී සිටී.

අදාළ මොහොතේ අප ලබාගත් පාලක ග්‍රහයන් වක්‍ර ග්‍රහයින්ගේ නැකැත්වල හෝ උපස්ථානවල පිහිටා ඇත්නම් ප්‍රතිඵල නොලැබෙන අතර, ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ ඔවුන් වක්‍රයෙන් බිඳුන පසුවයි.

මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා 2020.09.16 වැනි බුද දින උදේ 09.00 ට අවිස්සාවේල්ල නගරයට උදා වූ පාලක ග්‍රහයින් සොයා බලමු.

2020.09.16 දින බදාදා බැවින් දින අධිපති බුධ වෙයි. මෙහි චන්ද්‍රයා ගමන් කරන රාශිය සිංහ රාශියයි. එම නිසා රාශ්‍යාධිපති රවි ග්‍රහයා වෙයි. චන්ද්‍රයා ගමන් කරන නැකත සිංහ රාශියේ පිහිටා ඇති කේතුගේ නැකතක් වන “මා” නැකතයි. එම නිසා චන්ද්‍ර නක්ෂත්‍ර අධිපති කේතු ග්‍රහයා වේ. ඉහත සඳහන් වේලාවට උදා ඇති ලග්නය තුලා ලග්නයයි. ලග්නාධිපති සිකුරු ග්‍රහයා වේ. උදා ඇති ලග්නයේ ලග්න ස්ඵුටය 14 22 26 පිහිටා ඇති බැවින් එයට අදාළ නැකත තුලා රාශියේ පිහිටා ඇති “ සා” නැකතයි. මෙය රාහුට හිමිය. එම නිසා ලග්න නක්ෂත්‍ර අධිපති වන්නේ රාහු ග්‍රහයායි. 2020.09.16 වැනි දින උදේ 09.00ට අවිස්සාවේල්ල නගරයට උදා වූ පාලක ග්‍රහයින් වන්නේ,

දින අධිපති ග්‍රහයා – බුධ

රාශ්‍යාධිපති ග්‍රහයා – රවි

චන්ද්‍ර නක්ෂත්‍රාධිපති ග්‍රහයා – කේතු

ලග්නාධිපති ග්‍රහයා – සිකුරු

ලග්න නක්ෂත්‍රාධිපති ග්‍රහයා – රාහු වේ

මෙහිදී රාහු ග්‍රහයා බුධගේ රාශියක තැන්පත් වී ඇති බැවින් බුධගේ නියෝජිතයෙකු වශයෙන් රාහු ක්‍රියා කරයි.

ඉහත සඳහන් පාලක ග්‍රහයින් සහ උපස්ථාන සංකල්පය යොදාගෙන පලාපල කථනයේදී දපතත්කාල ප්‍රශ්න ශාස්ත්‍රයේදී ද, කිසියම් කරුණක් සිදුවේද, නැද්ද? යන්නත් සිදුවෙයි නම් කවදාද? කුමන වෙලාවක ද යන්නත් නිශ්චිතව ප්‍රකාශ කළ හැකිය. එමෙන්ම ජන්මියකුගේ ජන්ම පත්‍රයක් සැකසීමට ලබාදුන් වෙලාව නිවැරදි කර ගැනීමේදී මෙම පාලක ග්‍රහයින් යොදා ගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.