විස නසන අගනා ඔසුව සප්සඳ (සස්සඳ)

ජූලි 10, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේදී බොහෝ සෙයින් රෝග සමනය සඳහා යොදාගනු ලබන්නේ ඖෂධීය ශාකයන්ගෙන් ගනු ලබන ඖෂධ අංගයන්ය. මේ අයුරින් ඖෂධ සඳහා උපයෝගී කර ගනු ලබන තුරුලතා ප්‍රමාණය අතිමහත්ය.

මෙසේ යොදාගනු ලබන ඖෂධ ද්‍රව්‍ය යම් යම් රෝගයන් සඳහා විශේෂ ගුණ පෙන්වනු ලබයි. මේ අයුරින් සියලු සර්ප දෂ්ඨවලදී සහ මී විෂ මෙන්ම පිස්සු බලු විෂටත් අතිශයින් ප්‍රයෝජනවත් ඉතා අගනා ඖෂධ ද්‍රව්‍යයක් ලෙස සප්සඳ පැළෑටිය හැඳීන්විය හැක.

සප්සඳ පිළිබඳව නොයෙක් මතභේද පවතී. සප්සඳ යනු සර්පගන්ධා යන්නෙන් බිඳී ආ වචනයකි. එය පසුව සප්සඳ හා සප්සොඳ යන වචන දෙකට හැරී ගොස් තිබේ. සර්පයාගේ ගන්ධය ඇති දෙය සර්පගන්ධා නම් වේ. එසේ වුවද සප්සඳ වල සර්පගන්ධයක් නැති හෙයින් ද සර්පයන් කෙරෙහි දුර්ගන්ධයක් මුත් ගන්ධයක් නැති හෙයින්ද මෙම නාමය එලෙස යෙදී ඇතැයි සිතිය නොහැකිය. සංස්කෘත භාෂාවේ ගන්ධ ශබ්දය දුර්ගන්ධාර්ථයෙහි නොවැටීම තවත් කරුණකි. මේ අනුව සලකා බැලීමේදී සර්ප විෂ නාශක කර්මය ඇති නිසාද සුළගේ පැතිරෙන ගන්ධය ඇති හෙයින්ද සර්පගන්ධා යනුවෙන් හැඳීන්වේ.

මේ අතර ඊශ්වරයා හෙවත් මහදෙවියා හා සප්සඳ වූ කථාවක් ද ජනප්‍රවාදයේ එයි. එහි දැක්වෙන පරිදි ඊශ්වරයා අවශ්‍යතාවයක් සඳහා සිය මිතුරෙකුගේ නිවසට ගිය විට එම මිතුරා චාරිත්‍රයට අනුව හිඳ ගැනීමට සලස්වා බුලත් හෙප්පුව පිළිගැන්වූ බවද එහි බුලත්විටට ගනු ලබන සස්සඳ කැබලි තිබීම නිසා ඊශ්වරයා ඉණ බඳීන නයි හවඩිය එම සප්සඳ සුවඳ දරාගත නොහැකිව ඉවතට ඇදී ගියේය. එවිට ඊශ්වරයා ඇඳ සිටි සව සළුව බිමට වැටී අතුරුදන් වීමෙන් ඊශ්වරයා එතැන් පටන් නග්න වූ බව කියවේ.

මෙම කථාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද සර්පගන්ධා නාමය යොදා ගැනීමට මෙම කථාව ඉවහල් වන්නට ඇතැයි සිතේ.

මේ අතර සර්පගන්ධා නාකුලි යන නාමයක් ඒකාවේරිය, අරත්ත සහ දත්කැටිය යන වර්ග තුන හැඳීන්වීමටද යෙදි ඇති අතර සස්සඳ ප්‍රතිනිධිය වනුයේ ‘කීටමාරි’ වේ.

වැවෙන ප්‍රදේශ :-
විදේශීය වශයෙන් :-

ඉන්දියාවේ බටහිර ප්‍රදේශවල බොහෝ සෙයින් දක්නට ඇත.

දේශීය වශයෙන් :-

ශ්‍රී ලංකාවේ බෙහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. තෙතමනය ඇති ප්‍රදේශවල මුහුදු මට්ටමේ සිට මීටර් 1000 දක්වා උස් ප්‍රදේශවල විශේෂයෙන් හමුවේ. යාපනය, මාතලේ සහ හන්තානේ යන ප්‍රදේශ වල විශේෂයෙන් දක්නට ලැබේ. පේරාදෙනිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂනායතනය, ගිරාඳුරුකෝට්ටේ බත්ගොඩ පල්ලෙකැලේ ඔසු උයන්වල දක්නට ලැබේ.

සප්සඳ වල ස්වරූපය

ඉතා දිග සිහින් කඳකින් යුතු බහු වාර්ෂික වල්ලිමය පැළෑටියකි. එනම් ගස්වල එතෙමින් වැඩෙන වැලකි. පත්‍ර සරලයි. ඒකාන්තරයි. පත්‍ර ප්‍රමාණයෙන් විවිධත්වයක් දරයි. පලල් පත්‍ර සෙ.මි. 10 ක් පමණ දිගින්ද සෙ.මි. 7.5 ක් පමණ පළලින් ද යුතු වන අතර සිහින් පත්‍ර සෙ.මි. 3-10 පමණ දිගින්ද සෙ.මි. 1.3-2.5 පමණ පළලින්ද යුතුය. පත්‍ර හැඩයෙන් රේඛීය ලන්සාකාර සිට ආයත අණ්ඩාකාර හැඩය දක්වා වෙනස් විය හැකිය. පත්‍ර දාරය සම්පූර්ණ වන අතර කෙලවර උල්වී පිහිටයි. පත්‍ර මතුපිට තද කොළ පැහැතිය. පත්‍ර යටිපැත්ත ලා කොළ පැහැතිය. මෙහි හටගනු ලබන මල් කුඩාවන අතර කොළ පැහැයට හුරු සුදු පාටය. ඒවා කක්‍ෂීය අතුවල පිහිටා ඇත. මල්පෙති දම් පැහැ වන් අතර අණ්ඩාකාරය. ඒවා සෙ.මි.2-4 පමණ දිගින් යුතුය. කපාට 6 කින් යුක්තය. යට සිට උඩට පැලේ බීජ පැතලිය. පියාපත් ආකාරය. මෙම ලතාවේ මල් හටගනු ලබනුයේ සැප්තැම්බර් ජනවාරි කාල සීමාවේදීය.
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ගොකරැල්ල, පොල්ගොල්ල
ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය

වෛද්‍ය
මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.