හෙළයන්ගේ දිව ඔසුව කිරිබත

අප්‍රේල් 12, 2024

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංකේතාත්මක වැදගත්කමක් ඇති ආහාරය කුමක්දැයි යමකු විමසුව හොත් එකහෙළා පැවැසිය හැක්කේ කිරිබත් යන්නයි. කිරිබත් යනු සිංහල මෙන්ම හින්දු සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් එනම් පොල් කිරෙන් සැකැසූ බත් යන අරුතින් කිරිබත් ලෙස හඳුන්වන මේ ආහාරය සිංහල අලුත් අවුරුදු දාට නැතිවම බැරි ප්‍රධාන ආහාරය වෙයි.

සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවක අනුභව කරන කිරිබත් ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. සෑම නිවෙසකම කැවුම්, කිරිබත්, අළුවා පිරි අලුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් සිංහල සිරිතයි. එලෙසම කිරිබත් නොපිසන ගෙවල්වල නැකතට කිරි ඉතිරවීම සිදු කරයි.

බොහෝ විට මංගල උත්සව, ආගමික උත්සව සහ වෙනත් උත්සව වැනි විශේෂ අවස්ථාවලදී කිරිබත් පිරිනමනු ලැබේ. එය ජනප්‍රිය උදෑසන ආහාරයක් ද වන අතර එය තනිවම හෝ සම්බෝල, ලුණුමිරිස් හෝ විවිධ ව්‍යංජන සමඟ ආහාරයට ගත හැකිය.

කිරිබත් සැකසීමේ ඉතිහාසය ද ඈත අතීතය දක්වා දිවයයි. හෙළ ආහාරයක් වූ කිරිබත්(කිරිපිඬු) දානයක් එදා සිදුහත් බෝසතාණෝ ඇසතු බෝ රුක මුල බවුන් වඩද්දී බුද්ධත්වයට පත් වීමට පෙර සුජාතා සිටු දේවිය විසින් පූජා කරන ලද බවත් සිදුහත් තාපසතුමා එය පිඬු 49 කට කඩා වැලඳූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එලෙසම දුටුගැමුණු කුමාරයා තම නිවෙසින් බැහැර විත් සිටින කල එක්තරා මහලු මාතාවක් කිරිබත් ආහාරයට ලබා දී, කුමරා කිරිබත් උණු නිසා තැනින් තැන කන අයුරු දැක, පුතුනි, එක් තැනක සිට ටික ටික ඉදිරියට බත් කන්න යැයි අවවාද කළ බවත් පසු කළෙක එම අවවාදය සිහි කර ඒ අනුව එළාර සමඟ යුද වැද ජය ලැබූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

කිරිබත් රසවත් ආහාරයකි. ආගමික හෝ සම්ප්‍රදායික උත්සවවලදී දී කිරිබත් අනුභව කිරීමෙන් වාසනාව හා සමෘද්ධිය ඇතිවන බව සමාජයේ පැවැතෙන විශ්වාසයකි.

එහි ඇති ඉහළ පෝෂණ ගුණය කිරිබත්වල ඇති ප්‍රධානම ප්‍රයෝජනය වෙයි. කාබෝහයිඩ්‍රේට් අඩංගුවීමෙන් සිරුරට ශක්තිය ලැබෙයි. රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වෙයි. බත් පිසීමට භාවිත කරන පොල් කිරි සෞඛ්‍ය සම්පන්න මේදවලින් පොහොසත් වන අතර හදවතේ පැවැත්ම වැඩි දියුණු කිරීමට සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට එය උපකාරී වේ.

ඊට අමතරව විටමින් සහ ඛනිජ ලවණ, යකඩ, ෆෝලික් අම්ලය වැනි විවිධ ක්ෂුද්‍ර පෝෂක ද අඩංගු වේ. පොල් කිරි විටමින් සී ලබා දෙන අතර එය මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සමත්ය. සම්පුර්ණයෙන්ම ශාක ආශ්‍රිත අමුද්‍රව්‍යවලින් සාදා ඇති බැවින් නිර්මාංශකයන් සඳහා වඩාත් සුදුසු ආහාරයක් වේ.

රසවත් කිරි බතක් මෙලෙස සකසමු.

අවශ්‍ය දේ:

සෝදා ගරා ගත් හාල් කෝප්ප 4ට උකු පොල් කිරි කෝප්ප 4 ලුණු තේ හැඳී 2

අතේ මැද ඇඟිල්ලේ දෙවෙනි පුරුක දක්වා වතුර තබා මුලින්ම සුදු කැකුළු බත උයාගත යුතුය. වතුර ගාණට තබා ගැනීම අවශ්‍යය. බත බෙරි කර නොගන්න. එයට හේතුව කොපමණ කිරි දැම්මත් එයින් කිරිබතට දිය රසක් එක් වීමයි. ලුණු ටික පොල් කිරි ටිකට හොඳීන් දිය කරගන්න. බත ඉදුණු පසු ලී හැන්දක මිට පැත්තෙන් බත කූරු ගා ලුණු මිශ්‍ර කරගත් කිරි ටික යොදා නැවත කූරු ගාගෙන කිරි ටික හිඳෙන තුරු බත උයාගන්න. ළිපේ බත් උයනවා නම් ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තබා ගන්න. රයිස් කුකරයක හදනවා නම් කිරි එක් කිරීමට පෙර කලින් කුකර් එක කුක් මෝඩ් එකෙන් වොර්ම් මෝඩ් එකට වැටුණු පසු කිරි යොදා නැවත කුක් මෝඩ් එකට දැමිය යුතුය. ලුණු වල රස වෙනස් වෙන නිසා හදිසියේවත් ලුණු වැඩි වුණොත් තව පොල් කිරි ටිකක් එක් කරගත හැකිය.

පොල් කිරි සමඟ පිස ගෙන කෙසෙල් කොළයකට වඩා කැබලි කපා මේසයට යවන මේ ආහාරය ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් වශයෙන් තමාට අවශ්‍ය ඕනෑම ආකාරයකින් පිසගත හැකිවෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.