ලිංගික දුබලතා-ශුක්‍ර දුබලතා ඔසප් වේදනා නසන රතුළූණු

මාර්තු 22, 2024

මේ දවස් වල රතුළූණු මිල ගොඩක් අඩුවෙලා. ඒ නිසා මම වැඩිපුර ගෙනාවා. ව්‍යංජන හදල කන්නත් පුළුවන් නේ.” යනුවෙන් වෙළෙඳපොළට ගොස් පැමිණි පියා මවට පවසනු නිවස තුළ පාඩම් කරමින් සිටි මයුරිට ඇසිණි. අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක වූ ඇය මේ දිනවල සිටින්නේ නිවෙසට වී විභාගය සදහා පාඩම් කරමින්ය.

පියාගේ කථාව ඇසුණු මයුරි ද ඔවුන් වෙත පැමිණ කථාවට හවුල් විය. “තාත්තේ රතුළූණු කියන්නේ ඉතා වටිනා ඖෂධාහාරයක්. රතුළූණු ආහාර රසවත් කරන්න යොදා ගන්නවා වගේම රසවත් ව්‍යංජනයක්. ඒ වගේම වටිනා ඖෂධයක්”

“ඔව් දුවේ. මම දන්නව රතුළූණු ගොඩක් ගුණයි කියල. ඒ නිසාමයි මම රතුළූණු වැඩිපුර ගෙනාවෙ.

මම දන්න විදියට දුවේ. රතුළූණු ඉන්දියාවේ මුහුදු බඩ වැලි සහිත ප්‍රදේශවලත්, කොරමැංඩල්, මධ්‍යම භාරතය, සිම්ලා, බෙංගාලය, පංජාබය වගේ ප්‍රදේශවල වැවෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙ තෙත් සහිත ප්‍රදේශවල වැවෙනවා ඒ වගේම යාපනයෙ වෙළෙඳ ව්‍යාපාරයක් විදියටත් වවනවා.”

“ඔව්. තාත්තේ රතුළූණු ඒ ප්‍රදේශවල තමයි වැඩිපුර වවන්නේ ඒ වගේම රතුළූණු කියන්නේ සෙ.මි.15 - 50 දක්වා උස ඕවලාකාර බල්බයක් සහිත පැලෑටියක්. මේ රතුපාට බල්බය සෙ.මි. 1.5 - 4 දක්වා විෂ්කම්භයකින් යුක්තයි. අතිරේක බල්බවලිනුත් යුක්තයි. රතුළූණු පත්‍ර සිලින්ඩරාකාර දුඹුරු මිශ්‍ර කොළ පැහැයෙන් යුක්තයි. එසේම මේවායේ සුදු හෝ ළානිල් පාට මල් තියෙනවා .”

“එතකොට දුවේ, රතුළූණුවලට පලාණ්ඩු කියලත් කියනව නේද? ඔව් පලාණ්ඩු කියල සංස්කෘත භාෂාවෙන් කියනවා .ඒ වගේම යවනේෂ්ට..දුර්ගන්ධ..සුගන්ධ.මුඛදූෂණ...තීක්ෂනගන්ධ......කෘමිග්න......බහුපත්‍ර...විශ්වගන්ධ...රෝචන වගේ නම් ද සංස්කෘත භාෂාවෙන් රතුළූණු වලට හෙහුනව යෙදෙනවා

හින්දි භාෂාවෙන් ප්‍යාජ් කියනව

දෙමළ භාෂාවෙන් වෙංගායම්...ඉරුල්ලි.යනුවෙන් කියනවා

ඉංග්‍රීසි භාෂාවෙන් The Onion සහ bulb onion කියල යෙදෙනවා.

රතුළූණුවල උද්භිද විද්‍යාත්මක නාමය Allium cepa Linn වන අතරම කුලය AMARYLLIDACEAE කුලය යි.

ඒ වගේමයි රතුළූණු වල බල්බය .පත්‍ර සහ මල් ආහාර සදහා මෙන්ම ඖෂධ සදහා යොදා ගනු ලබනවා. ඒ වගේම

1 රක්ත පලාණ්ඩු -කුඩා රතුළූණු

2 රක්ත පලාණ්ඩු -ලොකු රතුළූණු

3 වෘහත් පලාණ්ඩු--බොම්බෙ ළූණූ

යනුවෙන් ප්‍රභේද 3 ක් ද දක්වා තියෙනවා”

“දුවේ එතකොට රතුළූණු කොයි ආකාරයටද ඖෂධීය වශයෙන් වැදගත් වන්නේ?” යනුවෙන් මව ප්‍රශ්නයක් ඇසුවාය.

“අම්මේ රතුළූණුවල ගුණාගුණ සැලකුවාම

රසයෙන් මධුර සහ කටුක යි

ගුණයෙන් ගුරු ..ස්නිග්ධ...සහ තීක්ෂ්ණයි

වීර්‍යයෙන් උෂ්ණයි. විපාකයෙන් මධුරයි

ඒ නිසා වාතය නසන අතරම සෙම සහ පිත වර්ධනය කරනු ලබනවා. එසේම සෙම බුරුල් කර බැහැර කරනු ලබනවා. දූෂිත වූ පිතත් බැහැර කරනු ලබනවා. මේ නිසා වාත රෝග වලට හොඳ ඔසුවක්.

බාහිර වශයෙන් ගත්තම රතුළූණු යුෂ ආලේප කිරීමෙන් වේදනා සහ ඉදිමුම් නසනවා. තුවාල පැසවීමට පත් කරනවා. එසේම හමේ රෝග සදහා හොඳයි.

රතුළූණු යුෂ පෙනීමේ ශක්තිය වර්ධනය කරන අතර කනේ වේදනාවන්ටත් ගුණයි.

මෙනිසාම ස්නායු වේදනා .තුවාල, ඉදිමුම්වලදි රතුළූණු කල්කය රත්කර ආලේප කරනවා. මුඛ රෝගවලදි රතුලූණු යුෂ හෝ කල්කය ආලේප කරනු ලබනවා.

පෙනීමේ දුබලතා සඳහා රතුළූණු යුෂ මී පැණි සමඟ ඇසේ අංජන ලෙස යොදන අතරම කන්කැක්කුමේදී රතුළූණු යුෂ රත්කර කනට හෙළනු ලබනවා.

ඒ වගේම වාත නසන ගුණ ඇති නිසා වේදනා නසනවා. ස්නායු වේදනා කටී වාත සන්ධි වාත ආක්ෂේපක (වලිප්පුව) අපතන්ත්‍රක ( යෝෂාපස්මාර) ජලත්‍රාස. (ජලභීතිකා)ආදි වාත රෝගවලදි ප්‍රයෝග කරනු ලබනවා. වාත වේදනා වලදී රතුලූණු යුෂ අබතෙල් සමභාගව රත්කර ආලේප කරනු ලබනවා .

ඒ වගේම බඩගිනි අඩුකම..මල බද්ධය..අර්ශස්...කාමලාව.. ගුදභ්‍රංශ..සහ බඩවැල් වල ආබාධවලදි රතුළූණු ක්වාථය ලෙස යොදනු ලබනවා.

විදුරු මස ඉදිමීම සහ වේදනාවේදී ලුණු සමඟ කෑමෙන් ගුණදේ. බඩවැල්වල වේදනා වලදීත් ලුණු සමඟ කෑම ඉතා හොඳයි. බඩගිනි වැඩි කිරීමට පොල් විනාකිරි සමඟ ප්‍රයෝගය හොඳයි. ඒ වගේම රතුලූණු උණු අලු යට තම්බා ගිතෙල් සමඟ අඹරා ගෙඩි සුව කරනු ලබනවා ..ඒ වගේම අර්ශස්වලදී රතුළූණු නිතර කෑමත් හොඳයි.

තව.... රතුළූණුවල ලේ නතර කිරීමේ(රක්ත ස්තම්භන)ගුණ ඇති නිසා නාසයෙන් හෝ ගුද මඟින් සිදුවන ලේ ගැලීම් නතර කිරීමට රතුළූණු අඩංගු යෝග යොදනු ලබනවා. රතුළූණු යුෂ නස්‍යය සඳහාත් අතිශයින් ගුණ දායකයි. එසේම ක්ලාන්තය..කරකැවිල්ල ආදියේදී රතුළූණු පොඩිකර නාසයට ඉරීමත් ඉතා හොඳයි” යනුවෙන් මයුරි රතුළූණුවල ගුණා ගුණ ගැන හොඳ විස්තරයක් පියා සහ මවට ඉදිරිපත් කළාය.

“එතකොට දුවේ, සෙමට පීනසට රතුළූණු ගුණයි නේද?”

“ඔව් තාත්තේ කැස්ස, ඇදුම, කල්ගත වුණු ශ්වාසනාල ප්‍රදාහය, කක්කල් කැස්ස වගේ අවස්ථාවල රතුළූණු ආහාර සමඟ ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. ඒ වගේම මහලු අයගෙ සහ බාලයන්ගෙ උණ නොමැති සෙම්‍ රෝගවලදි විශේෂයි .

බාලයන්ට අමු රතුළූණු යුෂ සූකිරි සමඟ ලේහ කිරීමත් වැඩිහිටියන්ට තම්බා දීමත් හොඳයි. ඒ වගේම ලිංගික දුබලතා, ශුක්‍ර දුබලතා, ඔසප් වේදනා ආදියේදීත් රතුළූණු ඉතා ගුණයි.

ඒ සඳහා රතුළූණු යුෂ මීපැණි සහ ගිතෙල් උණුකර බීමෙන් වාජීකරණ ගුණ ලබාදෙනවා.රතුළූණු ඇට විශේෂයෙන් වාජීකරණයි.

අනෙක ශාරීරික දුබලතාවලදී රතුළූණු අමුවෙන් කෑම ගුණයි. ඒ වගේම ගෝනුසු ආදි රටවල සතුන් දෂ්ඨ කළවිට රතුළූණු යුෂ ආලේප කිරීමත් හොඳයි.

රතුළූණු අඩංගු කෂාය සැලකුවාම

1. කලු අරලු, සෙනෙහෙ කොළ, කොහිල අල සහ රතුළූණු කෂාය අර්ශස් වලට හොඳයි.

2. කොහිල අල, ගොටුදඩු, රතුළූණු කෂාය ලේ යන අර්ශස් වලට හොඳයි .

3. ගොටුදඩු, රතුළූණු, අමුකහ කෂාය පීනසට හොඳයි. ඒ වගේම රතුළූණු අඩංගු සංස්කාරික ඖෂධ තමයි

1. රතුළූණු තෙල. (පීනස් තෙල)

2. ග්‍රහණි චන්ද්‍රකාන්ති තෛලය(මාන්දමට)

3. නිශාදී තෛලය (පීනස් රෝගයට )

4. කප්පරවල්ලිය පැණිය(කක්කල් කැස්සට )

ඔය ආකාරයට රතුළූණු ඖෂධීය වශයෙන් අතිශයින් වැදගත් වෙනවා .” යනුවෙන් මයුරි කියා සිටියේය.

ඒ වගේම තාත්තේ රතුළූණු ආහාරමය වශයෙනුත් බොහෝ සෙයින් ප්‍රයෝජනවත්. ව්‍යංජන, සම්බෝල රසවත් කිරීමට නැතිවම බැරි දෙයක්. ඒ වගේම කොළ කැඳ සකස් කිරීමේදිත් රතුළූණු වැදගත්.

රතුළූණු කොළත් රසවත් ව්‍යංජනයක් ඒ වගේම රතුළූණුවල විෂබීජ උරා ගැනීමේ ශක්තියත් පවතිනවා. රතුළූණු පෙති කපා තැබූ විට විෂබීජ උරා ගැනීම නිසා තික්ත රස වෙනවා. ඒ වගේම සරම්ප, පැපොල, කම්මුල් ගාය වැනි බෝවෙන රෝගියකු සිටින කාමරයක පෙති කැපූ රතුළූණු පීරිසියක් තැබූවිට විෂබීජ පැතිරීම වැළකෙනවා” යනුවෙන් මයුරී විස්තර කළාය.

“ඒ කියන්නේ දුවේ, රතුළූණු කියන්නේ හොඳ බේතක්. වගේම හොඳ ආහාරයක් නේද? “ යනුවෙන් පැවසූ පියා අද අපි රතුළූණු ව්‍යංජනයක් හදලා කමු කියමින් මවට උදව් කිරීමට මුළුතැන් ගෙට ගියේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.