දවුල් කුරුඳු ආස්මි කන අයගේ දැනගැනීමටයි!

අප්‍රේල් 12, 2024

 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. බොහෝ දෙනකු අලුත් අවුරුද්දට කැවිලි සෑදීමට මහත් උනන්දුවක් දක්වති.ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ සිසිල් මහත්මාගේ බිරිඳ කාන්ති ද ඒ ගැන මහත් උනන්දුවක් දැක්වීය .

දිනක් සවස ඔවුන් දෙදෙන කතා කරමින් සිටින විට එතැනට ආ ඔවුන්ගේ දියණිය වත්සලා

“ අම්මේ අපි මේ පාර අවුරුද්දට ආස්මී හදමු නේද “ යනුවෙන් ඇසීය.

“ඒක නම් හොඳ අදහස. අපි ආස්මී හදමු. අපේ වත්තේ දවුල් කුරුඳුත් තියෙනවා නේ.”යනුවෙන් සිසිල් කීය. “ඇයි අම්මේ ආස්මී හදනකොට දවුල් කුරුඳු මොනවටද”

“දුවේ.. ආස්මී හදනකොට ඒ මිශ්‍රණය උකු වෙන්න එකතු කරන නානු සාදා ගන්නෙ දවුල් කුරුඳුවලින්. ඒ නිසාම බොහෝ ගම්බද මිනිස්සු දවුල් කුරුඳු ගහ ඉතා හොඳින් අඳුනනවා.” “එතකොට තාත්තේ දවුල් කුරුඳු ප්‍රයෝජනවත් වෙන්නේ ආස්මී හදන්න විතරද?”

“නැහැ ..දවුල් කුරුඳු කියන්නේ තවත් ප්‍රයෝජන රාශියක් ගෙන දෙන ශාකයක්. දේශීය වෛද්‍ය ක්‍රමයේ භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිදුම් වෙදකමේදි බොහෝ සෙයින් යොදා ගනු ලබනවා. ඊට අමතරව මේ කියන ආස්මී හදන විට යොදා ගන්නවා

මේ ගස් පහතරට තෙත් කලාපයේ බහුල වශයෙන් දකින්න පුළුවන් ..විශේෂයෙන් සබරගමු පළාත..කටුගස්තොට ..හෝර්ටන් තැන්න ආදි පළාත් වල බහුල වශයෙන් දක්නට ලැබෙනවා .

මේ දවුල් කුරුඳු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වුණත් ඉන්දියාව..මලයාව ආදි රටවලත් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා.”

“එතකොට තාත්තේ දවුල් කුරුඳු ගහ කුරුඳු ගහ වගේමද?”

“දවුල් කුරුඳු ගහේ කොළ ටිකක් ඒ වගේ තමයි.

මේ දවුල් කුරුඳු ගස් මීටර් 4 ක් විතර උසට වැවෙන මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයක් .මේ ගහේ කඳේ විෂ්කම්භය සෙ.මි.10 ක් විතර වෙනවා. මඳ වශයෙන් කයිරු පාදීයි. මේවායේ කොළ තරමක් විශාල අණ්ඩාකාර ඝණ පත්‍රයි. මේවායේ අග කෙලවර උල්වී තියෙනවා. මේ පත්‍ර දිලිසෙන තද කොළ පාටකින් යුතුයි .පත්‍රයක ප්‍රධාන නාරටි 3 ක් හෝ 4 ක් තියෙනවා. මේ ගස්වල හටගන්නා මල් ඉතා කුඩායි. කහ කොළ පාටයි. සාමාන්‍යයෙන් මල් හටගන්නේ අප්‍රේල් මාසයේයි. මේ ගස්වල ගෙඩි විෂ්කම්භය සෙන්ටි මීටරයක් විතර වන රවුම් ගෙඩියක්. දවුල් කුරුඳු ගස්වල පොතු ..කොළ ..සහ මල්වල හොඳ සුවඳක් තියෙනවා .

ඒ වගේම දවුල් කුරුඳු වල උද්භීද විද්‍යාත්මක නාම ලෙස

1Neolitsea cassia (L) Koster
2Neolitsea involucrata (Vahl.exlam)Als
3Neolitsea zeylanica (C.G.Fr.NeesMerr

 ආදි නාමයන් ගැනෙනවා.

කුලය වෙන්නෙ LAURACEAE  හෙවත් කර්පූර කුලයයි. ඒ වගේම කුරුඳු සහ කපුරු ශාකයන් අයත් වන්නේත් මේ කුලයටමයි.”

“එතකොට තාත්තේ දවුල් කුරුඳුවලින් තියෙන ප්‍රයෝජන මොනවාද?”

“දවුල් කුරුඳුවල බීජ සහ පොතු ඖෂධ සඳහා ගනු ලබනවා .

පත්‍ර වල යුෂ (නානු)ආහාරමය වශයෙන් වැදගත්. මෙය දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු ලබන ශාකයක්. විශේෂයෙන් භග්න චිකිත්සාවෙදි ඒ කියන්නේ කැඩුම් බිඳුම් වෙදකමේදි යොදා ගනු ලබනවා. ඒ වගේම හොරි..දද..ආදිය සඳහාත් විශේෂ ගුණ ගෙන දෙනවා .

අස්ථි බිඳුණු සහ කැඩුණු අවස්ථා වලදී

දවුල් කුරුඳු පොතු ..අඹ පොතු ..මී ඇට ..යන මේවා කොටා අඹරා ඇඹුල් දොඩම් යුෂයෙන් කකාරා භග්න වූ ස්ථානවල ගැල්වීම කරනු ලබනවා

හොරි.. දද ආදියට දවුල් කුරුඳු ඇටවලින් ලබාගත් තෙල් බාහිර ආලේප ලෙස යොදා ගනු ලබනවා

ස්ත්‍රීන්ට ඔසප් නොවීම නිසා ඇතිවන රෝග තත්ත්වයට දේශීය වෛද්‍ය ක්‍රමයේ එන සුප්‍රකට යෝගයක් නම්

දවුල් කුරුඳු පොතු චූර්ණය කලං 12 යි.

දවුල් කුරුඳු කොළ චූර්ණය කලං 12 යි

සිවිය මුලේ ලෙලි කල්ං 12 යි.

යවකර ලුණු කලං 6යි

සහිඳ ලුණු කලං 6යි.

හීනටි හාල් මාත්‍රාවයි.

පොල් හකුරු රාත්තල් 2යි.

හීනටි හාල් සෝදා වැලි ඉවත් කර මඳක් කබලේ බැද කුඩුකර හලාගෙන එයට අනෙකුත් ද්‍රව්‍ය කුඩුකර දමා පොල් හකුරු රාත්තල් 2 ට වතුර පත 2 ක් පමණ දමා ලිප තබා උණුකර නූල් ඇදෙන පදමට එන වෙලාවට පෙර කියන ලද චූර්ණය දමා හැඳිගා ගුලි කර තබා ගෙන වරකට ගුලි 1ක් බැගින් දවසට දෙවරක් ගැනීම ඉතා ගුණදායක වන අතර ඔසප් වීම නැවත ඇති කරනවා.

මේ ආදි විශිෂ්ට ඖෂධ යෝග කිහිපයක්ම දවුල් කුරුඳු අඩංගුව යෙදෙනවා”

යනුවෙන් සිසිල් විස්තර කර සිටියේය .

“ඒ වගේම දුවේ දවුල් කුරුඳුවල ආහාරමය වටිනාකම සැලකුවාම

දවුල් කුරුඳු ගහේ කොළවල යුෂ (නානු)ආස්මී ආදි රසකැවිලි සෑදීමට ගනු ලබනවා

මේ අතර ඉන්දියාවේ වාසය කරන ආයුර්වේද වෛද්‍යවරුන් තමාල (තේජ පත්‍ර ) නමින් හඳුන්වනු ලබන කුරුඳු වර්ගය Cinnamomum tamala Nees & Ebern  උද්භිද විද්‍යාත්මක නාමයෙන් යුක්ත වන අතර මේ කුරුඳු වර්ගයේ කොළවල යුෂයේද නානූ ගතිය සහිතයි . මේ කුරුඳු ගස ඉන්දියාව...මියැන්මාරය..ආදි කඳුකර බිම් ඇසුරේ වැවෙන ශාකයක්. මේ ශාකය වෙනුවට ශ්‍රී ලංකාවෙ භාවිතා කරන්නේ දවුල් කුරුඳු හෙවත් කුඩු දවුලා ශාකයයි.

ඒ වගේම දවුල් කුරුඳු ශාකයෙන් ලැබෙන තවත් ප්‍රයෝජන කිහිපයක්ම තියෙනවා .

පොල් මල් කැපීමේදී එම පොල් මලේ කැපූ පෘෂ්ඨයට මේ දවුල් කුරුඳු කොළ වියළා ඉසිනු ලබනවා. ඒ වගේම උළුවහු...ජනෙල් ..යටලී...කැටයම් ලෑලි ..සිවිලිම් ලෑලි වශයෙන් මෙන්ම දර වශයෙන් ද යොදා ගනු ලබනවා. එසේම කෘමීන් මර්දනය සදහා කුඹුරුවල මේ දවුල් කුරුඳු ශාකයේ අතු සිටවනු ලබනවා. මේ අනුව සැලකුවාම දවුල් කුරුඳු කියන්නේ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙන් ප්‍රයෝජන අතුළු තවත් ප්‍රයෝජන රාශියක් ලබා දෙන ශාකයක්

මේ නිසා මෙවන් අගනා ශාකයක් වගා කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම ඉතා වැදගත්. දවුල් කුරුඳු ස්වභාවිකව ඉතා හොදින් ප්‍රචාරණය වන ශාක විශේෂයක් නිසා මෙය වගා කර ගැනීම පහසු කටයුත්තක් .මේ ප්‍රචාරණය බීජ මගින් සිදුවන නිසා බීජ හොඳින් සෝදා ජලයේ පැය 12 ක් විතර තිබෙන්න හැරලා වැලි තවානක තවන් කිරීමෙන් පැල ලබා ගන්න පුළුවන්.

මේ පැල සෙ.මි. 10 ක් විතර වැඩුණාට පසු පොලිතීන් බඳුන්වලට මාරු කිරීම කළ යුතු වෙනවා. ඊට පස්සෙ හොඳින් වැඩුණු පැල මීටර් 3 ක් පරතරය තියෙන්න සිටුවිම කළ යුතුයි .

මේ විදියට වගා කරන්න පහසු ශාකයක් තමයි දවුල් කුරුඳු කියන්නේ.

ඒ නිසා දුවේ දවුල් කුරුඳු කියන්නේ ආස්මී හදන්න යොදා ගන්නව වගේම රෝග රැසකට ගුණ ගෙන දෙන අගනා ඔසුවක්.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.