බක්මහ අසිරිය කියනා ඔසුව එරට මුදලියා

අප්‍රේල් 5, 2024

තම වත්තේ කෙලවර ඇති එරබදු ගසේ මල් පිපී තිබෙනු දුටු ශාන් නිවෙස බලා පැමිණියේ පියාට ඒ බව මෙසේ කියමිනි.

“ තාත්තේ “ අර වත්තෙ කෙලවර තියෙන කටු තියෙන ගහ පිරෙන්න රතුපාට මල් පිපිලා තියෙනවා .

ආයුර්වේද වෛද්‍යවරයෙකු වන සුනෙත් තම පුතාට පිළිතුරු දෙමින්

“පුතා... ඒ කටු තියෙන ගහ තමයි එරබදු කියන්නේ. සාමාන්‍යයෙන් බක් මාසෙ වෙනකොට ඒ කියන්නේ අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට එරබදු මල් පිපෙනවා. ඒ ගැන කියන රබන් පදයකුත් තියෙනවානේ

“එරබදු මල් මොට්ටු මොට්ටු

අවුරුද්දත් කිට්ටු කිට්ටු “ කියල

ඒ විතරක් නෙවෙයි. හැම ගහක්ම වගේ මල්වලින් ගෙඩිවලින් බරවෙලා අලංකාරවත් වන එක බක්මාසෙ වෙනකොට නොවරදවාම සිද්ධ වන දෙයක්. ඒ වගේම පුතා එරබදු ගහ සිංහල සංස්කෘතිය එක්ක බැදුණු දෙයක් . බක් මාසයේ අලුත් අවුරුද්ද අරන් එන සුබ නිමිත්තක් විදියට එරබදු ගැන සාහිත්‍ය ග්‍රන්ථවල දක්වලා තියෙනවා.මනස්කාන්ත රක්ත වර්ණ මල්වලින් සැරසුණු එරබදු ශාකය සුන්දර බක් මාසය වර්ණවත් කරමින් අවුරුදු එන බව කියාපානවා කියලා.

“එතකොට තාත්තේ එරබදු වැදගත් ඒ නිසා විතරද?”

“නෑ පුතා, දේශීය වෙදකමේ වගේම ආයුර්වේද වෙදකමේ දී අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් විදියටත් එරබදු හඳුන්වන්න පුළුවන්. දේශීය වෙදකමේ එරට මුදලියා යන රහස් නාමයෙන් හඳුන්වනු ලබන්නේ එරබදු යි. ඒ වගේම ඉතා ඈත අතීතයේ ඉඳලම එරබදු ඖෂධයක් විදියට ආයුර්වේදයේ යොදා ගෙන තිබෙනවා .ආහාරමය වශයෙනුත් එරබදු ප්‍රයෝජන ගෙන දෙන නිසා බොහෝ දෙනා හොඳින් දන්නා හඳුනන ශාකයක්. මේ එරබදු ශාකය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පාහේ දකින්න පුලුවන්. සමහර ඉඩම්වල වැට මායිම්වලටත් සිටුවනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙ පහතරට සහ වෙරළාසන්න ප්‍රදේශවල බොහෝ සෙයින් දකින්න පුළුවන්. විදේශීය රටවල ගත්තාම උතුරු ඉන්දියාව. දකුණු ඉන්දියාව සහ මලබාර් ආදි රටවල දක්නට ලැබෙනවා.”

“එතකොට තාත්තේ මේ එරබදු ගස් ගොඩක් උසට හැදෙනවද?”

“ඔව්. ඔව්. සාමාන්‍යයෙන් මීටර් 15ක් 20ක් විතර උසට හැදෙනවා. මේක කටු තියෙන විශාල ගහක්. අළුපාට පොත්තක් සහිත කඳකින් යුක්තයි. කඳේ පොත්තෙ සහ අතු රිකිලිවල කලුපාට කටු සහිතයි. ඒ වගේම කඳේ වට ප්‍රමාණය වැඩිවෙලා කඳ මෝරන විටදි කඳේ පොත්තේ තියෙන කටු හැලී යනවා. ගසේ කදේ අතුරිකිලි බෙදී පවතිනවා. මේවායේ හටගන්නා පත්‍ර 3 බැගින් එකට පවතිනවා. එරබදු ගස්වල හටගන්නා මල් විශාලයි. ඒ වගේම තද රතු පාටයි. මල් පොකුරු විදියට පවතිනවා. මල් හටගන්නේ මාර්තු අප්‍රේල් මාසවලදී‍යි. මෙහි හටගන්නා කරල් සෙ.මි.15 ක් විතර දිගයි. එක කරලක බීජ 8 ක් පමණ තිබෙනවා. සිංහල භාෂාවෙන් එරබදු සහ එරමුදු කියන අතර සංස්කෘත භාෂාවෙන් පාරිභද්‍ර, පාරිජාතක, රක්ත පුෂ්ප, රක්ත කුසුම, රක්ත කේසර, බහුපුෂ්ප, කණ්ඨකී, කෘමිඝ්ණ, ක්‍රිමිශස්ත්‍රෑ ආදී නම් යෙදෙනවා .

හින්දි භාෂාවෙන්

මදර්..එරභද්...දදජ

යන නම් යෙදෙනවා

දෙමළ භාෂාවෙන්

මුල්ලු මරුක්කු සහ කාලියාන මරුක්ක යනුවෙන් ද

ඉංග්‍රීසි භාෂාවෙන්

Indian Coral Tree නාමයද යෙදෙනවා .

එරබදුවල උද්භිද විද්‍යාත්මක නාමය

Erythrina  variegata L  වන අතරම

කුලය

LEGUMINOSAEහෙවත් ශිම්බී කුලයයි.

උප කුලය

PAPILIONOIDEAE හෙවත් අපරාජික කුලයයි.

ඒ වගේම එරබදු ශාකයේ මුල්, පොතු, කොළ, ඇට, දලු ඇතුළු පංචාංගයම ඖෂධ සඳහා ගන්නවා...”

“තාත්තේ එරබදුවල වර්ග කිහිපයක් තියෙනවද?”

ඔව් පුතා එරබදු ප්‍රභේද 2ක් තියෙනවා

1 එරබදු

2 යක් එරබදු වශයෙන්

මේ වර්ග දෙකේම ගස්වල කටු සහිතයි.එයිනුත් යක් එරබදු ගසේ කටු බහුලයි. එතකොට.... ඖෂධීය වශයෙන් ගත්තාම

එරබදු රසයෙන් තික්ත හා කටුක වන අතර ගුණයෙන්

ලඝු යි වීර්‍යයෙන්

උෂ්ණ වන අතර

විපාකයෙන් කටුක යි

මේ නිසා සෙම සහ වාත දෝෂ සමනය කරන හෙයින් සෙම් වාත රෝග සදහා යොදනු ලබනවා.

ඒ වගේම බාහිර වශයෙන් ගත්තාම

ඉදිමුම් නසන, කර්ණ රෝග නසන සහ තුවාල ශෝධන ගුණ යුතුයි .

මේ නිසා කර්ණ රෝගවලදි මද උණුසුම් එරබදු යුෂ කණට දමනු ලබනවා

ඇස් රුදාව..හන්දි ඉදිමුම්.. තුවාල ..ඉදිමුම් වලදීත් එරබදු යුෂ ආලේප කරනු ලබනවා

අභ්‍යන්තර වශයෙන්

ලේ වඩන සහ ඉදිමුම් නසන ගුණ යුතුයි එසේම ලේ නරක් වීම නිසා ඇතිවන රෝග ගොනෝරියා, සිපිලිස් වැනි සමාජ රෝගවලදි යොදනු ලබනවා. වාත සමන ගුණ ඇති නිසා මොළයේ ආබාධ දුරුකරන අතර හොදින් නින්ද ඇති කරනු ලබනවා

එරබදුවල කටුක හා තික්ත රස ඇති නිසා සෙම් පිටකරන ගුණ සහිතයි .එනිසා කාස (කැස්ස ) රෝග අවස්ථා වලදී එරබදු කොළ යුෂ ප්‍රයෝග කරනු ලබනවා.

එසේම එරබදු තික්ත රස සහ උෂ්ණ වීර්‍යයෙන් යුතු නිසා ආහාර අරුචිය. ..බඩගිනි අඩුකම..වේදනා ..පණු අමාරු ..සඳහාත්.. මලබද්ධයේදීත් යොදනු ලබනවා .

ඒ වගේම එරබදු වල මූත්‍ර ඇති කරන ගුණ යුක්ත නිසා මූත්‍ර කෘච්ජ රෝගයේ දී යොදනු ලබනවා

එසේම කාන්තාවන්ගේ ඔසප් දෝෂවලට සහ පුරුෂයන් ගේ ලිංගික බෙලහීනතාවලටත් එරබදු ගුණයි.

ඒ වගේම කුෂ්ඨ රෝග නාශක ගුණයද එරබදු වල අඩංගු නිසා සියලුම කුෂ්ඨ රෝගයන් සඳහාත් යොදා ගනු ලබනවා” යනුවෙන් එරබදුවල ගුණාගුණ රැසක් පියා විසින් විස්තර කර දුන්නේය.

“එතකොට තාත්තේ එරබදු අඩංගු අත්බේත් වර්ග මොනවාද?”

අභිෂ්‍යන්දි (ඇස් රුදාව) රෝගයට එරබදු ගසේ සෙවෙල සහිත ඇතුළු පොත්ත රත්කර පිරිසුදු එළඟි තෙලින් අනා අඳුන් වශයෙන් ඇසේ ආලේප කරනවා.

පණුරෝග සඳහා

අලුත් එරබදු කොළ යුෂ අවුන්ස 2 ක් මීපැණි දමා බීම සුදුසුයි.

මව්කිරි වැඩීමට

එරබදු කොළ යුෂ හෝ පොල්කිරි සමඟ පිසගත් එරබදු ළපටි කොළ මැල්ලුම ආහාරයට ගැනීමෙන් මව්කිරි වැඩෙනවා.

තැල්මට එරබදු කොළ යුෂ ..බිත්තර සුදු මදය ..අරක්කු සමඟ මිශ්‍ර කර බීමට දීම ඉතා හොඳයි .

තිස් පෑ හන්දියට

එරබදු පොතු ..හික් පොතු ..කහ ..ලුණු දමා කොටා මලවා බදිනු ලබයි.

රතගායට

එරබදු කොළ ..රත්මල්..අරළු..කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සූකිරි රාත්තල් 1/2 ක්දමා නැවුම් වළඳක දමා කකාරා තේ හැදි 2 බැගින් උදේ සවස දෙනු ලබනවා

ගෝනුසු විෂට

එරබදු කොළ යුෂ ආලේපය ඉතා සුදුසුයි

පණු දදවලට

‍එරබදු දලු..අමුකහ මීපැණියෙන් අඹරා කොහොඹ තෙල් දමා කකාරා ගෑම ඉතාමත් හොඳයි.

ඒ වගේම එරබදු අඩංගු සංස්කාරික ඖෂධත් කිහිපයක් තියෙනවා...

පාරිභද්‍රාව ලේහය ඒ අතුරින් ප්‍රධාන වෙනවා.

එසේම එරබදු ඇට චූර්ණය සහ එරබදු මුලේ පොතු කෂායත් තවත් යෝග 2 ක්

එසේම රෝගාබාධ රාශියකට ගුණ දෙන අගනා තෙලක් වන සර්ව විෂාදී තෛලය සෑදීම සඳහාත් එරබදු පොතු යොදාගනු ලබනවා.

මේ ආදි වශයෙන් ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙන් එරබදු ඉතා වැදගත් ද්‍රව්‍යයක්. ඒ වගේම පුතා අපේ ජාතික මහෝත්සවය වශයෙන් සලකනු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැන මුළු ලෝකයටම හඬගා කියන පෙර ගමන් කරුවන් අතුරින් කොහා හැරුණාම මුල් තැන ගනු ලබන්නේ එරබදු මලයි”

බලාගෙන ගියාම තාත්තේ එරබදු කියන්නේ ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් ශාකයක් වගේම අපේ සංස්කෘතිය එක්කත් බැඳුණු ශාකයක් කියල කියන්න පුළුවන්”

මෙසේ කියමින් එරබදු ගැන පියපුතු දෙදෙනාගේ සංවාදය නිමා කළේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.