හදවතට හිතකර ඔසුව ගැටතුඹ

සැප්තැම්බර් 9, 2022

 

ශරීරයේ නිරෝගී බව රැක ගැනීමටත් රෝග සමනය සඳහාත් උපකාරී වන ශාකයන් මෙන්ම ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාක අප අවට පරිසරයේ ඉතා විශාල වශයෙන් දක්නට ලැබේ.

 

මේ අතරින් එක් වැදගත් ශාකයක් ලෙස ගැටතුඹ හැඳින්විය හැක. මෙම ‘ගැටතුඹ’ ගැන කථා කිරීමේදී ‘තුඹ’ යන පදය ගැන සැලකිලිමත් විය යුතුය. තුඹ යන පදය මලයාලම් බසින් උදුරා ගත්තේ දැයි විමසීම වැදගත් වේ. දකුණු ඉන්දියානු භාෂා ව්‍යවහාරය හි ද්‍රෝණ පුෂ්පී සඳහා තුඹ ශබ්දය යෙදෙනු පෙනේ. තුඹ ගසේ කොළ ගන්නා තැන්වල ගැට ඇති බැවින් ගැටතුඹ නාමයෙන් හඳුන්වනු ලබයි. මෙම ගැටතුඹ ශාකය ඖෂධීය ශාකයක් මෙන්ම ඉතා රසවත් පලාවක් ලෙස ද හඳුනාගෙන ඇත.

මෙම පැළෑටියේ හට ගනු ලබන ගැටයක් පාසාම මල් හට ගනු ලබන අතර එතැනම බීජ ඇති කොටස ගැටය වේ. තියුණු සුවඳකින් යුතු ගැටතුඹ ආමය පැසවනු ලබන අතර හෘදයට හිතකර වූ ඖෂධයකි. මෙය ඖෂධීය මාත්‍රාවෙන් යෙදීමෙන් ආක්ශෙප සමනය කරන අත් බෙහෙතක් වන අතර මෙහි අධික මාත්‍රාව මොළයේ ලේ ගමන විකෘති භාවයට පමුණුවයි. එබැවින් ලේ ගමන විකෘතිභාවයට පමුණුවයි. එබැවින් භ්‍රමය ඇතිවිය හැකි වන අතර විශේෂයෙන් ගර්භාෂගත දුබලතා සඳහා ප්‍රතිකාර කිරීමේදී දේශීය වෛද්‍යවරුන් යොදනු ලබන විවිධ වූ යෝගයන්හි එක් උපාදානයක් ලෙසද දැක්විය හැකිය.

ගැටතුඹ වැවෙන ප්‍රදේශ

වියළි සහ පහතරට තෙත් ප්‍රදේශවල මාර්ග දෙපස වැලි සහිත අත් හැර දැමූ ඉඩම් වල සහ කඳුකරයේ පහත් බිම් ඇතුළුව අඩි 400 දක්වා සියලු ප්‍රදේශවල වැවේ. එසේම සියලුම ඍතුවල වැවෙන නමුත් වර්ෂා සෘතුව අවසානයේ සහ ශීත සෘතුව තුළ සුලබව වැවේ.

ගැටතුඹ පැළෑටියේ ස්වරූපය

මෙම පැළෑටිය සෙ.මී. 30-65 පමණ උසැති වාර්ෂික පැළෑටියක් වේ. විසිරුණු ශාඛා රාශියකි. තියුණු දාර සහිත චතුරස්‍රාකාර කඳකින් යුතු අතර දෘඩ රෝම සහිතය. දික් වූ කඳේ එක් ස්ථානයකින් වටේම පත්‍ර බෙදී යයි. මෙම පත්‍රවල මද බූවක් සහ මතුපිටට පෙනෙන නාරටිය සහිතයි.

යටි පැත්තේ ඝන රෝම සහ ග්‍රන්ථිමය තිත් සහිත වේ. කඳේ එක් ස්ථානයකින් වටේට පත්‍ර බෙදී යන ආකාරයටම නැවත සෙන්ටිමීටර කිහිපයක් උසින් එම ආකාරයටම වටේට පත්‍ර බෙදේ. මෙහි හටගනු ලබන මල් සුදු පැහැ වන අතර මලේ නටුව කොපුවක් මෙන් පිහිටයි. එය වටේට සියුම් කේසර පිහිටන අතර වසර පුරාම මල් පිපෙයි. මෙහි හටගනු ලබන ගෙඩි රළුය.

ගැටතුඹ ශාකයේ පොදු සිංහල නාමය:- ගැටතුඹ වන අතර එහි උද්භිද විද්‍යාත්මක නාම  Leucas Zellanica ( L  සහ phlomis Zeylanica L  වන අතර කුලය  LAMIACEAE  හෙවත් තුලසි කුලය වෙයි.

ගැටතුඹවල ඖෂධීය අංග

සම්පූර්ණ ශාකයම සහ විශේෂයෙන් කොළ, මුල් හා මල් ගැටතුඹ ප්‍රභේද 4ක් දක්වයි.

1. ගැටතුඹ, 2. සුදුතුඹ, 3. මහතුඹ, 4. යොන්තුඹ වශයෙනි.

මේ අතර ශ්‍රී ලංකාවට ආවේණික ගැටතුඹ ප්‍රභේද දෙකකි.

1.Leucas Zeylanica Var Walkeri (Beuth) Hook. 2.Leucas Zeylanica Var Linearis Cramer වෙයි.

ගැටතුඹවල රසායනික උපාදාන

මල්වල එක්තරා සුගන්ද තෛල පදාර්ථයක්ද අපක්ෂාරයක්ද අන්තර්ගත වේ.

ගැටතුඹවල ඖෂධීය ගුණකර්ම

මෙය රසයෙන් කටුක, ලවණ මධුර වන අතර ගුණයෙන්:- ගුරු, රූක්ෂ හා තීක්ෂණ වේ. වීය්‍යීයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් මධුරවෙයි.

දෝෂ අනුව සැලකීමේදී:- මෙය සෙම් වාත සමන ගුණ හා පිත් වඩන ගුණ යුතුය. එනිසා ප්‍රශමනය උදෙසා සෙම්වාත රෝග සඳහා ශෝධනය සඳහා පිත් රෝග සඳහා ද ප්‍රයෝග කරයි.

ශාරීරික ව්‍යූහාගත ක්‍රියා බාහිර වශයෙන්:- මෙය සෙම නසන, විෂ නසන සහ

ජන්තුඝ්න ගුණ යුතුය. එනිසා ප්‍රතිශ්‍යාය හිසරදය ආදියේදී ගැට තුඹ ස්වරසය නස්‍ය ලෙස යෙදිය හැක. මෙහි කහාය වණ සේදීමටද කොළ කල්කය, කටීග්‍රහ, සර්පවිෂ ආදියේදී ද ආලේපයට ගනු ලබන අතර කොළ යුෂ කාමලාවේදී අදුන් දීමටද උපයෝගි වෙයි.

අභ්‍යන්තර වශයෙන් ආහාර ජීරණ පද්ධතියේ:- දීපන, අනුලෝමන, කෘමිග්න

රේචන සහ පිත්ත සාරක ගුණ යුතුයි. එනිසා ආධ්මාන ( බඩ පුරවා දැමීම ) ශුල ( වේදනා ) විබන්ධ (මලබද්දය) කාමලාව, කෘමි රෝග ( පනු රෝග) ආදියේදී යොදනු ලබයි. ග්‍රහණි කල්ගත වූ අතීසාර ගැටතුඹ දලු සියුම්ව අඹරා ව්‍යංජන වශයෙන් යෙදීමෙන් මහඟු ගුණ ලැබේ.

රුධිර සංසරන ව්‍යූහාවේදී:- රක්ත ශෝධක ( ලේ පිරිසිදු කරන) සහ ශෝථහර (ඉදිමුම් නසන) ගුණ යුතුය. මේ නිසා ලේ දූෂිත රෝගවලදී හා ඉදිමුමේදී යොදනු ලබයි.

ශ්වසන ව්‍යූහාවේදී:- සෙම නසන ගුණ යුතු අතර ප්‍රතිශ්‍යාය, කාස , ශ්වාස යන මේවාදී උපයෝගි වෙයි.

ප්‍රජනන ව්‍යූහාවේදී:- ආර්ථව ජනක ගුණ යුතු අතර ඔසප් වීමේ අවරෝධතා සහ ඔසප් වේදනා ආදියේදී යොදනු ලබයි.

තවද සමේ රෝගවලදී ද ප්‍රයෝග කරනු ලබන අතර උණ නසන ගුණය ද ඇත. එනිසා සාමාන්‍යයෙන් උණේදීද විශේෂයෙන් විෂම, ජ්වර, වාත, කළු, ජ්වර ආදියේදී ද යොදනු ලබයි.

මේ අතර විෂ නසන ගුණය ද මෙහි ඇති බැවින් සර්ප විසේදී ප්‍රයෝග කළ හැක.

ගැටතුඹ අඩංගු ඖෂධ යෝග

ඇසේ පටලය:- ගැටතුඹ කොළ හාල් පානුවෙන් අඹරා පෙරා නස්න කිරීම ගුණදායකය.

කුෂ්ඨ, කටී වේදනා, සර්ප විෂ, නිදන්ගත රෝග ආදියට:- රෝගියා ඇඳේ

උඩුබැලි අතට තබා ඔහුගේ වම් අල්ල පිරිසිදු කොට ශෝධනය කළ රසදිය මදටිය 1ක ප්‍රමාණයද ගැටතුඹ කොළ යුෂ ටිකක්ද තබා තම වෙදැඟිල්ලෙන් පිරිමැදිය යුතුය. ටිකකින් රසදිය ටික අතුරුදහන් වේ. පැයකට පසු මීගොම ගෙන දෙපසේ මාපටැඟිලිවල ගා රෙදි පටියෙන් වෙළනු. පැයකට පසු ලිහා බලනු. රෝගය ඇදගත් රසදිය ටික ගොමවල ඇතැයි සඳහන්ය.

උදර වේදනාවට:- සම්පූර්ණ පැළය තම්බා බීම ගුණදායකය.

ආම අජීරණයට:- සම්පූර්ණ පැළෑටියම ගෙන තැම්බුම් හොදි සාදා දීම ගුණදායකය.

හිසේ වේදනාවට:- ගැටතුඹ කොළ හෝ මල් යුස නස්‍ය කිරීම සුදුසුය.

මේ ආදී ඖෂධ රාශියක් ගැටතුඹ අඩංගුව යෙදේ. මේ අතර තුඹ මල් පැණිය ප්‍රතිශ්‍යා, කාස ආදියටද ශ්‍රේෂ්ඨ ඔසුවකි. තවද ග්‍රහණි චූරණයටද ගැටතුඹ එක් උපාදානයක් වන අතර මෙම ඖෂධ යෝගය ග්‍රහණි රෝගයට ශ්‍රේෂ්ඨ වේ.

ගැටතුඹවල ඖෂධීය මාත්‍රා

ස්වරසය:- කර්ෂ 1/2 -1 දක්වා වේ. මේ අනුව පැහැදිලි වන්නේ ගැටතුඹ ඖෂධීය වශයෙන් අතිශයින් වැදගත් බවයි.

මෙයට අමතරව රසවත් පලාවක් ලෙසද බෙහෙවින් යොදාගනු ලබන අතර එනිසා ආහාරමය වශයෙන්ද අතිශයින් ගුණදායක ඖෂධාහරයක් වේ.

මෙනිසා ගැටතුඹ පැළෑටිය ඖෂධීය හා ආහාරමය වශයෙන් ගුණදෙන ඉතා අගනා ඖෂධාහාරයක් බැවින් එහි වටිනාකම මැනවින් හඳුනාගෙන ඉන් නිසි ප්‍රයෝජන ලබා ගැනීම අතිශයින් වැදගත් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.