ඖෂධීය ගුණයෙන් යුත් කුළු බඩු

අගෝස්තු 18, 2023

ෂානි - අපි තුන්දෙනා යමුද වෙද මහත්තය හම්බවෙන්න. කියා ඇසුවේ මල්ලිකාය. ශ්‍රීමා එයට පිළිතුරු දෙමින් කීවේ අන්න හරි යමු ගිහිල්ල අහමු කුළු බඩුවල ඖෂධීය ගුණය ගැන. එසේ කතා කරගත් ෂානි අනෙක් දෙදෙනා සමඟ වෙද මහතා හමුවන්න ගියේ වෙද මැදුරටය.

මල්ලිකා - අපි බෙහෙත් ගන්නෙ නැති නිසා වෙද මහත්තයට බුලත් අතක් දීල ප්‍රශ්නය අහමු. අන්න හරි, ඒක හොඳ අදහසක් යැයි කීවේ ෂානිය. ඒ අනුව බුලත් අතක් ද රැගෙන තිදෙනාම වෙද මැඳුරට ගියහ. අන්න ඉන්නව කවුරුවත් මේ වෙලාවෙ නැහැ. අපි යමුයි කියමින් වෙද මහතා ළඟට ගිය ඔවුහු බුලත් අත දී පසෙකට වූහ.

වෙද මහතා - මොකද මේ තුන් දෙනා ආවේ...?

මල්ලිකා - ප්‍රශ්නයක් දැනගන්න

වෙදමහතා - හා මොකද්ද ප්‍රශ්නෙ

ශ්‍රීමා - අපිට දැන ගන්න ඕන කුළුබඩුවල ඖෂධීය ගුණය හා එළවළු ගැන. මාළුපිනිවලට ටික ටික යොදන කුළු බඩුවල තත්ත්වය,

ෂානි - වෙද මහත්තයෝ ඔය සමහර එළවළුවලට දමන කුළු බඩු රෝගාබාධවලටත් ගුණයි කියනවනේ, ඒ ගැනත් දැනගන්නයි ආවේ.

වෙද මහතා - හා හොඳයි. ඔය ළමයි ලියාගන්නවද.

මල්ලිකා - නැහැ අපි ෆෝන්වලට ගන්නවා.

වෙද මහතා - එහෙම නම් මුලින්ම කොත්තමල්ලි ගැන කතා කරමු. කොත්තමල්ලි යෙදීමෙන් ශරීරයේ දැවිල්ල, උණට, සෙමට, පීනස් තත්ත්වය, හතිය ආදී රෝග රැසකටම වගේම උෂ්ණ ගුණයෙන්ද යුක්තයි. ආහාර රුචිය ඇති කරන අතර, බඩගින්න වඩවයි. මුඛයේ දුර්ගන්ධයට පිපාසය, දාහය නැති කරයි. හෘදයටත් හිතකර කොත්තමල්ලි ප්‍රබල ඖෂධයකි.

ගම්මිරිස්

ආහාර දිරවීමේ ශක්තියක් ඇති ගම්මිරිස් වාතය, සෙම, නසයි. ශ්වසන ආබාධවලට ගුණ වේ. දත් මුල් දියවීමට හා පණුගෙඩි ආදියට ගුණ වේ. ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම ආදී රෝගවලට බෙහෙවින් ගන්නා ඖෂධයකි. විශේෂයෙන් මස් මාළුවලට යොදනු ලබයි. සෙම් රෝගවලටද ගුණදායකය.

ෂානි - වෙද මහත්තයෝ, කුළු බඩු ගත්තම කරපිංචා හැම ව්‍යාංජනයකටම වගේ දමනව. කැඳටත් ගන්නව. ඒ ගැන ටිකක් පැහැදිලි කළොත් හොඳයි.

වෙද මහතා - කරපිංචාවල විශේෂයක් වන්නේ ශරීරගත විෂ නැසීමේ බලයකුත් කරපිංචාවල තියෙනවා. එමෙන්ම මිනිස් සිරුරේ පවතින අහිතකර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ බලයකුත් පවතිනවා. කෑම අරුචිය නැති කරන අතර බඩගින්න ඇති කරයි. ආම අජීර්ණ නසන අතර, මේදය ඉවත් කරයි. එළවළු ව්‍යාංජන සුවඳවත් කරයි. හිසකෙස් කැඩී යාම වගේම හිස කෙස්පැසීම ද අවම කරයි. ඖෂධීය කැඳට ගන්නා මහඟු ඖෂධයකි.

කහ

විෂබීජ නාශකයකි. සමේ වර්ණය ඇති කරයි. රෝග නිවාරණ බලයක්ද ඇත. ප්‍රති ඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇත. වාතාශි‍්‍රත රෝග මැඬලීමේ ගතියක් පවතී. වෑංජන වර්ණවත් කිරීමට බෙහෙවින් යොදා ගනියි. චර්ම රෝගවලදී මෙන්ම තුවාල, වණ, පිරිසුදු කිරීමටද බෙහෙවින් එක්කර ගනී. කහ ඉදිමුම් නසන වේදනා සමනය කරන කුෂ්ඨ නසන ගුණයෙන්ද යුක්ත වේ. ආමාශගත රෝග රැසකටම ගුණදායක වේ.

මල්ලිකා - වෙද මහත්තයෝ ගොරකත් බෙහෙවින් ගන්නවා නේද?

වෙද මහතා - ඔව් ගොරක විෂබීජ නාශක ගුණයෙන් ඉහළයි. මස්, මාළු පිළියෙල කිරීමේදී අනිවාර්යෙන්ම ගොරකා යොදා ගන්නවා. සිරුරේ පවතින තෙල් ගතිය හෙවත් කොලෙස්ටරෝල් අවමයටත් ගොරකා හොඳ ඖෂධයක්. හෘද රෝග, බඩගිනි අඩුකමට, අර්ශස්, උදර වේදනාවන් දාහ, ක්ෂය, අර්ශස්, මුත්‍රා දෝෂ, අජීර්ණ, වමන හා සෙම් රෝගවලටත් ගුණදායකයි. ඒ වගේම උගුරේ වේදනාවට තැල්මට යටිපතුල් පැළීමටත් මලබද්ධයටත් ගුණදායකය.

වෙදමහතා - කුරුඳුවලත් විශේෂත්වයක් තියෙනවා. කුරුඳු ප්‍රබල සුවඳකින් යුක්ත වන අතර සෙම් හා පිත් නැසීමේ ගුණයක්ද පවතී. විෂබීජ නාශකයක් වන අතර ස්නායු පද්ධතියේ රෝගවලට මෙන්ම ආහාර ජීර්ණවලට, බඩගින්න අඩු බවට, බඩේ කැක්කුමට, ආහාර අරුචියට ග්‍රහණි රෝගවලට, දියවැඩියා පාලනයට, කොලෙස්ටරෝල් අවම කිරීමට ගුණදායකය. විටමින් සී, විටමින් ඊ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, යකඩ හා ඛනිජ පදාර්ථ අන්තර්ගතය.

සූදුරු

බඩගින්න ඇති කරවන සූදුරු ආහාර දිරවීමටද පහසු කරයි. මතකය අඩු වීම හා වයස්ගත වීම පමා කරයි. සිරුර ප්‍රාණවත් කිරීමේ හා උදර රෝග සමනය කිරීමේ බලයක් පවතී. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ සූදුරුවල ප්‍රෝටීන්, මේද, කාබොහයිඩ්ඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස් ඇතුළු විටමින් රැසක්ම අන්තර්ගතයි. සූදුරු ශරීරය උත්තේජනය කරන අතර මහන්සිය දුරලා සිරුර ප්‍රාණවත් කරයි.

අබ

ආහාර රස ගැන්වීමට යොදන අබ රෝග රැසකකටම ගුණ දෙන ඖෂධයකි. හුස්ම ගැනීමේ අපහසුකම, ක්ලාන්තය, කැරකැවිල්ල, සිහිමඳ ගතිය, කක්කල් කැස්ස, විෂ නසාලීම සිදු කරන අතර, ශක්ති ඇති කරයි. බී විටමින් මෙන්ම ඛනිජ වර්ගද අන්තර්ගතය. බඩගින්න වඩවන අතර, සෙම සමනය කරයි.

සියඹලා

කෑමට රුචිකත්වය ඇති කරයි. හෘද රෝගීන්ට ගුණදායකයි. කැස්සට, ඇදුමට, මලබද්ධයට ගුණදායකයි. රුධිරයේ කොලෙස්ටරෝල් නැති කරයි. අර්ශස්, මලබද්ධය සුව කරයි. සියඹලාවල විටමින් ඊ සමඟ යකඩ හා කැල්සියම් ද පවතී.

මල්ලිකා - වෙද මහත්තයෝ උළුහාල් ගුණාත්මක කුළු බඩුවක් නේද?

වෙද මහතා - උළුහාල් අධික තරබාරුව අඩු කරන ඖෂධයක් ශරීරගත සන්ධිවල වේදනාව ද අඩු කරන අතර, හිස්සොරිවලටත් හොඳ ඖෂධයක් ආහාර රසය වැඩි කරලීමෙන් සුවඳවත් කිරීමටත් උළුහාල් යොදාගන්නවා. රුධිරගතව පවතින කොලෙස්ටරොල් වැඩි ප්‍රමාණයක් අඩු කිරීමේ බලයක් පවතිනවා. අධික රුධිර පීඩනයටත් ගුණදායකයි.

සුදුලූනු

සුදුලූනුවල සිරුරට අවශ්‍ය ඛනිජ වර්ග රැසක්ම පවතින අතර, අහිතකර විෂ ද්‍රව්‍යයන් ඉවත් කිරීමේ බලයක්ද පවතී. එමෙන්ම එය විෂ බීජ නාශකයකි. සුදුලූනු ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය වේ. තරුණ ශක්තිය ද ඇති කරලයි. රුධිරයේ පවතින කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරලයි. බුද්ධි වර්ධනය කරන වේදනා දුරු කරන මහඟු ඖෂධයකි.

ෂානි - වෙද මහත්තය අපට හොඳට තේරුම් කරලා දුන්න. ගොඩාක් ස්තූතියි.

මල්ලිකා - වෙද මහත්තයෝ අනික් ඒව ගැන දැනගන්න අපි වෙන දවසක එන්නම් වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්න රෝගීන් ඉන්න නිසා අපි යනවා. හොඳමයි කී වෙද මහතා රෝගීන් බැලීමට සූදානම් විය.

 

උපදෙස්

ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.