පුරුෂ දේහ ලක්ෂණ තුළින් හෙළි කරන චරිත ලක්ෂණ

දෙසැම්බර් 18, 2020

අතීතයේ විසූ අපේ පැරණි සෘෂිවරු එක් එක් පුද්ගලයන්ගේ ශරීරයේ පිහිටි විවිධ අංග ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් පිළිබඳව විවිධ අනාවැකි පැවසීමට සමත් වූහ.එබැවින් අපේ පැරණි දේහ ලක්ෂණ විද්‍යා පොත පත කියැවීමෙන් මෙය මනාව පැහැදිලිවනු ඇත.

පිරිමියෙකුගේ දේහ ලක්ෂණ පිළිබඳව සැළකීමේ දී හිසේ හැඩය, හිසකෙස් මුහුණ, නළල, ඇස් දෙක, ඇහිබැමි, නාසය, නිකට, දෙකන්පෙති, රැවුල, උරහිස්, පපු ප්‍රදේශය ආදිය වඩා වැදගත් වෙයි. පිරිමියෙකුට ආවේණික වූ චරිත ස්වභාවයන් ඉහත සඳහන් අංගවලින් විද්‍යමාන වෙයි. තද කළු පැහැති සෘජු කෙස් හිස පුරා ඝනව වැවී ඇත්නම් එම පුද්ගලයා උසස් ගුණධර්මවලින් පිරුණු හැමවිටම නිදහස පි‍්‍රය කරන්නෙක් වෙයි. උසස් අධ්‍යාපනයකට හිමිකම් ලබන ඔහු ප්‍රතාපවත් පුද්ගලයෙකු ලෙස සමාජයේ කැපී පෙනෙයි. සාධාරණත්වය ඉහළින් අගය කරන මොවුහු අසාධාරණය හමුවේ දැඩි ලෙස කෝප සහගත වෙයි. මෙවැන්නෝ වයස් ගතවනවිට මහා උගතුන් ලෙස ප්‍රසිද්ධ වෙති. වාද විවාදවලට වැඩි කැමැත්තක් නොදැක්වූවත් තම අදීන නිවහල් අදහස් ප්‍රකාශ කිරීමට කිසි විටෙකත් මැලි නොවෙති.

රැළි හිසකෙස් ඇති පුරුෂයෝ කලාත්මක අංශයට වැඩි නැඹුරුතාවයක් දක්වති. දැඩි ස්ත්‍රී ලෝලත්වයෙන් හෙබි ඔවුන් පරාර්ථකාමී බවින් යුක්තය. අනුන්ගෙන් තමන්ට යමක් ලැබුණත් තමන්ගෙන් කිසිවක් අන් අයට දීමට මැලිකමක් දක්වති. සිත්ගන්නා කඩවසම් පෙනුමක් උපතින්ම දායාද කර ඇති බැවින් ස්ත්‍රීහු බොහෝ විට මොවුන්ගේ ඇසුරට යොමුවෙති. මේනිසා ඔවුන්ගේ විවාහ ජීවිතය ද බොහෝවිට අවුල් සහගත වෙයි. ඉදිරිපස කෙස් ගැළවී ගොස් තට්ටය පෑදුන එබඳු පුද්ගලයන් ඔබ කොතෙකුත් දැක ඇත. කපටිකමින් අනූන එවන් පුද්ගලයෝ තමන්ගේ සිතැඟි දේවල් හෝ අදහස් තම සමීප හිතවතෙකුට හෝ ප්‍රකාශ නොකරති. සැඟවුන රහස් මොවුන් තුළ පවතී. පිටතට පෙන්වන ගතිලක්ෂණ හදවත තුළ නොමැත. තවද ඊර්ෂ්‍යාවද මොවුන් තුළින් කැපී පෙනෙන අතර, අන් අය තමන් අභිභවා යනවා දැකීමට කැමති නොවේ. තම මිතුරාගේ තබා තම සහෝදරාදීන්ගේ පවා දියුණුව වෙනුවෙන් වෙහෙසීමට අකමැතිය.

හිසේ පසුපස කෙස් ගැලවී ඇති අය මෝඩ බවක් පෙන්නුම් කරති. මෙවැනි පුද්ගලයෝ කීර්තිය හා නම්බුනාමවලට ඇලුම් කරති. ඔවුන් ගත කරන්නේ ද නිහඬ ජීවිතයකි. මොවුන්ගේ විවාහයද පමා වෙන අතර එයින් අවුල් සහගත වෙයි. බෙහෙවින්ම මෙම පුද්ගලයන්ගේ භාර්යාවෝ අනාචාරයට පෙළඹෙති. නෑදෑ හිත මිතුරන්ට ලැදි නමුත් ඔවුන්ගෙන් තමන්ට ලැබෙන ප්‍රයෝජන අඩු වේ. දියවැඩියාව, හෘදයාබාධ, අංශභාග වැනි රෝග ජීවිතයේ අවසාන භාගය තුළදී වැලඳිය හැකි ය.

කන් දෙක පිහිටා ඇති ආකාරය අනුව ද අනාවරණය කරගත හැකි තොරතුරු අපමණය. උසස් තනතුරු, ගෞරව සම්මානයන්ගෙන් පුද ලබන පුද්ගලයන්ට පස්සට පැනගිය ආකාරයේ කන් පිහිටන බව කියැවේ. හැසිරීමෙන් හා කතාවෙන් අන් අය තමන් වෙත නම්මවා ගැනීමේ පුදුම හැකියාවක් ඔවුන් තුළ සහජයෙන්ම පිහිටා ඇත. නිදසුනක් ලෙස සම්භාවනීය රාජ්‍ය නායකයින් දැක්විය හැකි ය. මොවුන් තුළින් එවැනි කර්ණ ලක්ෂණයන් දැකිය හැකි ය. ඉදිරියට නෙරාවිත් පිහිටන කන් දෙකින් පෙන්නුම් කරන්නේ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන තම බඩ වඩා ගන්නා පුද්ගලයෙකු බවය. වහා වෙනස් වෙන සුළු අදහස් දරන මෙවැන්නෝ තම එල්බගෙන සිටින මතයේම එල්බගෙන සිටිති. මෙවැනි අය ප්‍රවේශමෙන් ඇසුරු කළ යුතු ය.

යම් පුරුෂයෙකුගේ කන් මත රෝම පිහිටා තිබේ නම් එයද සුබ ලක්ෂණයක් ලෙස දේහ ලක්ෂණ විද්‍යාවේ සඳහන් ය. අයුක්තිය, අසාධාරණය හමුවේ නැඟී සිටින මෙවැනි පුද්ගලයින් නීතිය අකුරටම පිළිපදියි. අනුන්ගේ දුකෙහි දී මහත්සේ කම්පාවට පත්වෙන මොවුහු මනා හැදියාවකින් සහ ඉතා සංවර විනීත ගති පැවතුම්වලින් යුතු අය වෙති. එල්ලෙන්නාවූ මස් සහිත කර්ණයන් ඇතිවීමද රාජ ලක්ෂණයක් ලෙස කියැවේ.

ගිරා හොටයක් හා සමාන වූ නාසයක් ඇති වටකුරු මුහුණක් සහ දෙතොල ලස්සන මහතින්ද යුක්ත වූයේ නම් එම පුරුෂයා ද මහා භාග්‍යවන්තයෙකු බව සඳහන් කර ඇත. මෙවැන්නන්ට ජන්මභූමියේ රාජ්‍යත්වයට (අගමැති, ජනාධිපති වැනි) පවා පත්වීමට ඉඩ ඇත. පැවිදි වුවහොත් මාර්ගඵල ලබන්නා වූ අයෙක් වෙයි.

උස් වූ විශාල සක් බෙල්ලකු ආකාර කර්කෂ වූ නළල්තලය දිළිඳු භාවය ප්‍රකාශ කෙරෙන අතර වැඩී යන ස්වභාව ඇත්තාවූ නළල ධනවත් බව පෙන්නුම් කරයි. යමෙකුගේ නළල් තලයේ රේඛා තුනක් පිහිටියේ නම් හේ වඩාත්ම වාසනාවන්ත වේ. පුත්‍රයන් හා ධනයෙන් පරිපූර්ණව හේ අනූ වර්ෂයක් පමණ ආයුෂ හිමි වීමට හේතු වේ. වටවූ නළල් තලය අවාසනාවන්ත හා දුක්ඛිත භාවය පෙන්නුම් කෙරේ. ඇහි බැමි එකට යාවී ඇති පුරුෂයෝ නිහඬ ජීවිත ගත කරන අය වෙති. බොහෝ දේවල් රහසිගතව කිරීමට උත්සාහ කරන මොවුන් තමන් ළඟ ඇතිදේට වඩා වැඩි දෙයක් ඇති බව හුවා දැක්වීම සිරිතය. සාමාන්‍යයෙන් ඇහිබැමි දෙක වෙන් වෙන්ව පිහිටන පිරිමි ද කලාතුරකින් දැකිය හැකි ය. මොවුන් ඉගෙනීමට අදක්ෂවන අතර ඉගෙනීම අතරමඟදී අතහැර ව්‍යාපාර අංශයට නැඹුරු වෙති. ස්ත්‍රී පක්ෂයට වැඩි ලැදියාවක් දක්වන ඔවුන් රහසිගතව කාමුක ක්‍රියාවන්හි යෙදෙනු ඇත.

මුහුණෙහි රැවුල වැවෙන සෑම ස්ථානයකම ඝන ලෙස රැවුල වැවෙන පිරිමි බොහෝ විට කරුණාවන්තයෝ වෙති. ගොරෝසු රළු පුද්ගලයන් ලෙස පිටතට පෙනුණත් මොවුන් උණුවෙන හදවතක් ඇති අඹු දරුවන්ටද ඉතාමත් ආදරයක් දක්වන අය වෙති. වචනයෙන් දරුණුකමක් පෙන්නුවද ක්‍රියාකාරී නොවේ. යුතු අයුතුකම් හොඳින් දන්නා මොවුන් ඇසුරු කිරීමට යෝග්‍ය යහපත් මිතුරෝ වෙති.

දෙකට බෙදී ගිය නිකට ඇති පිරිමින්ද ඔබ බොහෝවිට දැක ඇති අතර පරෙස්සමින් යුතුව ජීවත්වෙන මොවුහු කුමන ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත්වන්නාහ. කීර්තිමත් ව්‍යාපාරිකයන්ට බොහෝවිට එවන් නිකටක් පිහිටනු ඇත. පළල් නිකටින් ප්‍රදර්ශනය වන්නේ ද ධෛර්යමත් පුරුෂයෙකි. ආත්ම විශ්වාසයකින් යුතුව ක්ෂණික තීරණ ගන්නා ඔහු අටලෝදහමින් කම්පාවන්නෙක්ද නොවේ. ඉක්මනින් කෝප සහගත වීම ඔහුගේ චරිතයෙහි දැකිය හැකි දුර්වලකමකි. චතුරස්‍රාකාර හැඩයෙන් යුත් දිගටි නිකටක් පිහිටන්නේ නිර්භීත පුරුෂයන් වෙතය. මුහුකුරා ගිය බුද්ධි බලයක් ඇති එවැන්නෝ ජීවිතය දෙස සර්ව සුබවාදී ලෙස බලන්නෝ ය. හතරැස් හැඩයක් ගන්නා උඩට නෙරන ලද නිකට සුබ නොවේ. දරදඬු පුද්ගලයෙකු එවන් නිකටින් පෙන්නුම් කෙරේ. අනවශ්‍ය දේවලට බාධා කිරීම ඔහුගේ දුර්වලකමක් ලෙස දැකිය හැකි ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.