ඔබ කවුද? ගුරු මණ්ඩලයෙන් දැන ගන්න

අප්‍රේල් 19, 2024

 

හස්ත රේඛා ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමිවේ. එනම් පුද්ගලයෙකුගේ බුද්ධි මහිමය,ශරිර ශක්තිය,සංවිධාන ශක්තිය, මානසික ක්‍රියාකාරිත්වය,සහජ දක්ෂතා, යටි සිත, ආකල්ප ආදි කරුණු පිළිබඳ පූර්ණ අවබෝධයක් අත්ලේ මණ්ඩල පරික්ෂා කිරීමෙන් ලබාගත හැකිය.

එම නිසා අත්ලේ මණ්ඩල පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප තුළ තිබිය යුතුය. අත්ලක රවි, චන්ද්‍ර, ගුරු, කුජ, බුධ, සිකුරු ආදි ග්‍රහයන්ගේ බලපෑම් ලබන සුවිශේෂ වු ස්ථානයන් මණ්ඩල යනුවෙන් ඉතා සරලව හැඳින්විය හැකිය.

මේ අනුව අත්ලේ ප්‍රධාන මණ්ඩල හතක් හඳුනාගත හැකිය. ඒවා ඉහත පරිදි ප්‍රධාන ග්‍රහයන්ගේ නම්වලින් නම් කර ඇත. මේවා අතුරින් කුජ මණ්ඩලය ඉහළ කුජ මණ්ඩලය සහ පහළ කුජ මණ්ඩලය වශයෙන් දෙකකට වෙන්කර ඇත. තවද චන්ද්‍ර මණ්ඩලය ඉහළ පහළ සහ මධ්‍ය චන්ද්‍ර මණ්ඩල වශයෙන් වෙන්ව හඳුනාගත හැකිය. තවද අතිරේක මණ්ඩල වශයෙන් යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන් වෙනුවෙන්ද මණ්ඩල දෙකක් අත්ලේ හඳුනාගත හැකිය.

මේ මණ්ඩල අතුරින් පුද්ගලයෙකුට තමාගේ තත්ත්වය පෙන්නුම් කරන්නේ ගුරු මණ්ඩලය මඟිනි. ජීවන රේඛාව ආරම්භයේ ගුරු ඇඟිල්ලේ සීමාව අතර වු කොටස ගුරු මණ්ඩලයට අයත් වේ. සදාචාරත්මක බව පවිත්‍ර ආදරය පිළිබඳ හැඟීම, කීර්තිය, දයාව, අනුකම්පා සහිතව තීරණය ගැනීමේ හැකියාව, සැමට සෙත සැලසීමේ ගුණය සහ ආගම දහමට ළැදියාව මේ මණ්ඩලය සතු ගුණාංග වේ. විශාල ප්‍රදේශයක මේ මණ්ඩලය පැතිරි ඇත්නම් මනුෂ්‍යත්වය අගය කරන සමාජශීලි පුද්ගලයෙකි. ප්‍රබල ගුරු මණ්ඩලයක් ඇති පුද්ගලයා වසනාවන්ත වන අතර විනිශ්චයකාරවරුන් කායික වෛද්‍යවරුන් මෙන්ම ලෝ පතළ පුජකයන් බවට පත්විය හැකිය. ප්‍රබල ආත්ම විශ්වාසයක් ඇත. සෞඛ්‍ය සම්පන්න වන අතර ශබ්ද නගා කථා කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම ගුරු මණ්ඩලය බලවත් ලෙස ඇති පුද්ගලයන් දිප්තිමත් ඇස් සහිත තේජවන්ත ප්‍රීතිමත් අයවේ.

ඔවුන් ප්‍රමාණාත්මක අඟපසඟකින් යුතු ශරිරයකට හිමිකම් කියයි. ක්‍රිඩා හා බාහිර කටයුතුවලට ඇල්ම හා දක්ෂතාවය ඇති අනාගතය ගැන සිතා බලා වැඩ කරන පරාර්ථකාමී සත්‍යවාදි අවංක පුද්ගලයන් වේ. අනාගත සිදුවීම් ගැන දැනීම ලබයි. යම් දෙයක් ගැන සෑම අංශයෙන්ම සිතා බලන නුවණක් ඇති අන්‍යයන්ගේ දියුණුව අපේක්ෂා කරන ආත්මාභිමානය ඇත්තෙකි.

බාහිර පෙනුමින් ද ආකර්ෂණියත්වයක් ඇති හෙයින් ජනප්‍රියත්වයට පත්වන්නෙකි. ධාර්මික කාර්යයන්හි නියුතු වන ප්‍රභූන් ඇසුරු කරන්නෙකුද වේ. අවශ්‍ය අවස්ථාවේදී නොමසුරුව මුදල් වියදම් කරන පාලන ශක්තිය ඇති බුද්ධිමත් අයෙකු වේ. විවාහයට අපේක්ෂා කරන්නේ ද තමාගේ තත්ත්වයට ගැළපෙන්නකි. ගුරු හෝ සිකුරු මණ්ඩල බලවත් කාන්තාවක් මොවුන්ට හොඳින් ගැළපේ. එසේ නැතිවුවහොත් දෙදෙනා අතර සිත් බිදිම් හා කළකිරීමට හේතුවේ.

ගුරු මණ්ඩලය බලවත් දැරිවියක් නම් ඉක්මනින් වැඩිවියට පත් වී සුදුසු වයසේදි විවාහ දිවියට ඇතුළු වේ. ගුරුමණ්ඩලය යටට ගිලි පිහිටි අත්ල සහිත පුද්ගලයා දුබල ගුරු මණ්ඩලයක් හිමි අය ලෙස නම් කළ හැකි අතර මොවුන් අනෙකා පාලනය කිරීමේ ආශාව ඇති නමුත් ඒ සඳහා හැකියාවක් නැති පුදගලයන්ය. සිත් ඇද ගන්නා සුළු පෞරුෂයක් නොමැති අයවේ. අශිෂ්ඨ උඩඟු කුහක නිශ්පල ක්‍රියාකරන පසුව පසුතැවිලි වන අරපිරිමැස්මක් නැති කළ නොකළ සෑම දෙයක් කෙරෙහිම පසුතැවිලි වන කෙනෙකි. ආත්ම ගෞරවයක් නැති ඉක්මනින් කෝපයට පත්වන පුද්ගලයන්ය. කපටි වංචා සහගත සිත නිසා කලහාකාරි ක්‍රියාවන්ට මැදිවේ.

ගුරු මණ්ඩලය මත සමචතුරශ්‍රයක් පිහිටීමෙන් පුද්ගලයා අනතුරුවලින් ආරක්ෂා වේ. තමාගේ පෞද්ගලික සහ වෙළෙඳ කටයුතු හොඳින් තේරුම් ගෙන සැලසුම් සහගතව පවත්වා ගැනීමට හැකියාව ලැබේ. මනා සංවිධාන ශක්තියක් ඇති රජයේ උසස් නිලධාරීන්, හොඳ දේශපාලනඥයන් බවට පත් වන්නේ ගුරු මණ්ඩලය මත ත්‍රිකෝණ සලකුණක් පිහිටීම නිසාය. තරු සලකුණද ගුරු මණ්ඩලයට යහපත් සලකුණකි. එහෙත් එය පිහිටීම අනුවය.

ගුරු මණ්ඩලයේ තරු සලකුණ ප්‍රබල ශීර්ෂ රේඛාවක් සමග පිහිටීම වේගවත් ප්‍රසිද්ධියක් ලැබිමට හේතුවේ. තමාගේ දියුණුව තරු ලකුණ පිහිටි ස්ථාන අනුව තීරණය කලහැකිය. මණ්ඩලයේ යට කොටසේ තරු සලකුණ මුල් කාලයේද මැද ඇති විට මැද කාලයේද ඉහළ ඇති විට අවසාන කාලයේද දියුණුව ඇතිවේ. ජීවන රේඛාව තරු ලකුණක් මේ මණ්ඩලයේදි ආරම්භ වුණොත් අදාළ පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් නැදෑයින් දියුණු වේ.

තවද අත්ලෙහි දුර්වල ශීර්ෂ රේඛාවක් ඇති පුද්ගලයෙකුගේ ගුරු මණ්ඩලය මත තරු සලකුණක් පිහිටිය හොත් හිසට තුවාල සිදුවීම, උගුර ආශ්‍රිතව ශල්‍යකර්ම සිදුකිරිමට සිදුවීම හෝ මහලු වියේදි දික්කසාද වීම සිදුවිය හැකිය. එමෙන්ම ගුරු මණ්ඩලයේ පිට දාරය ප්‍රදේශයට ආසන්නව තරු ලකුණක් ඇතිවිට ගින්නෙන් අනතුරු සිදුවීමට වැඩි ඉඩ කඩක් තිබේ. කතිරයද ගුරු මණ්ඩලයට යහපත් වන අතර ප්‍රීතිමත් වාසනා වන්ත විවාහයකට හිමිකම් ලබයි.

කාන්තාවන්ගෙන් උදව් උපකාර නිරතුරුව ලැබෙන කාන්තාවන් අතර ජනප්‍රිය පුද්ගලයෙකි. දූපත ප්‍රබල ගුරු මණ්ඩලයේ බලය දුබල කරයි උසස් වීමේ ආශාව නැති කරන පිහිටිමකි. විවාහ ජීවිතයේ කරදරකාරි තත්ත්වයන් ඇතිවන බව පෙන්වන තවත් සලකුණක් වන්නේ ගුරු මණ්ඩලය මත දැල් ලකුණක් පිහිටීමය. එසේම මොනයම් කටයුක්තක් සම්බන්ධයෙන් වුව උනන්දුව දක්වන්නේ හැසිරිමෙන් සහ කථාවෙන් පමණි. ගුරු මණ්ඩලය මත සෘජු රේඛා දේශපාලනික හමුදා ආගමික යන අංශවලින් ප්‍රධාන තැනක් ලබන බවට ලකුණකි. ගුරු මණ්ඩලය මත හරස් ඉර නායකත්වයට බාධාවක් වන අතර නායකක්වයක් ගැන ආශා නැත්තකු බව ද හඟවයි.

ගුරු මණ්ඩලය සමග ශනි මණ්ඩලය ප්‍රබල වු විට ඛණිජ විද්‍යාව සහ ආහාර පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවලින් සාර්ථක පතිපල ලබා ගත හැකිය.

කර්මාන්ත ශාලා ප්‍රධානීන් දර්ශනය සහ සාහිත්‍යය පිළිබද දක්ෂ ගුරුවරුන් වැන්නන්ගේ අත්වල ගුරු සහ ශනි මණ්ඩල ප්‍රබල වේ. හොඳ කළමනාකරුවන් සහ විනිශ්චයකාරවරුන් චිත්‍ර ශිල්පීන් බවට පත් වන්නේ ගුරු සහ රවි මණ්ඩල බලවත් පුද්ගලයන්ය. ගුරු සහ බුධ මණ්ඩල බලවත් අය ව්‍යාපාරිකයන්, නිතිඥයන්, රක්ෂණ බැංකු ආශ්‍රිත විධායක ශ්‍රේණියේ රැකියා කරන්නන් අතරින් හමුවේ. හමුදා නිලධාරීන් ගවේෂකයන් ගුරු සහ කුජ මණ්ඩල බලවත් වීමෙන් ද ලේඛකයන් පුවත්පත් කලාවේදීන් ගුරු සහ චන්ද්‍ර මණ්ඩල බලවත් වීමෙන් ද බිහිවේ.

හස්ත රේඛා ශාස්ත්‍රයේ දී මණ්ඩලවල ස්වභාවය හඳුනා ගැනිම නිවැරැදි පලාපල කථනය සඳහා ඉතාම වැදගත් වන බව ඉහත කරුණුවලින් තහවුරු වන අතර එමඟින් අපගේ අනාගත සිදුවීම් කල් තියා දැනගත හැකි මෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් විපුල පල නෙලා ගත හැකිය. හොඳ දේවල් දියුණු කර ගැනීමටත්, දුෂ්චරිතය බැහැර කිරීමටත්, බාධකවලින් ආරක්ෂා වීමටත්, බාධක දුරු කර ගැනීමටත් බුද්ධිමත්ව ක්‍රියාමාර්ග ගත ගැනීමට මෙය මහඟු උපකාරයක් වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.