ඔබේ අංකය 2 නම්...

මැයි 26, 2023

පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 1 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 2 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 2, 11, 20, 29 යන දිනයක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අංකය අංක 2 ය. සඳු ග්‍රහයා නිරූපණය කරයි. සියලු ගතිගුණවලින් අංක 1ට ප්‍රතිවිරුද්ධ වන නමුත් එම අංක දෙක අතර ඉතා ප්‍රබල සැබැඳියාවක් ඇති බවක් ඔබට වැටහේවි.

 

පෞද්ගලික අංක 2ට අයත්වන පුද්ගලයන් සෞම්‍ය මෙන්ම නිර්මාණශීලීය. අනුන්ගේ කරදරයකදි බොහෝ දුකට පත්වීම මොවුන්ගේ සිරිතය. එම දයාබරත්වය හේතුවෙන් බොහෝ අය ඉතා ක්‍ෂණිකව ඔවුන්ට සමීප වේ. එම නිසා අති විශාල මිත්‍ර සමාගමක් දකින්න ලැබේ. විශේෂයෙන් ඉතාමත් ළාබාල අය සමඟ ද මිතුරු සබඳතා ඇතිවේ. එයට අමතරව බොහෝ ප්‍රබල සබඳකම් ද මෙම පුද්ගලයෝ ඇති කර ගනිති.

මේ අය ඉතා ඉහළ තනතුරුවලටත් ප්‍රසිද්ධියටත් පත්වනු ඇත. සමාජයේ ප්‍රසාදයට සහ අවධානයට පත් නොවී සිටිය නොහැකිය. එනමුත් ඔවුන්ගේ විවාහ ජීවිතය කරදර සාගරයක් මැද ගමන් කරනු ඇත. සමාජයට සාර්ථකත්වය පෙන්වන නමුත් කරදර මැද කටයුතු සිදුවේ.

තමාගේ සාර්ථකත්වය පිළිබද තමා සතුටට පත් නොවන්නේ විශාල සැලසුම් පිළිබඳව සිහින දකින නිසාය. අනිත් අයගේ සුබසිද්ධිය සඳහා ද මොවුන් ගේ සිහින ඇත. නමුත් එම අයගේ විරෝධතා හා විවේචන නිසා මොවුන් මානසික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්වේ. මොවුන්ගේ නිර්මාණ කුසලතාවය ඉතා ඉහළය. අතිදක්ෂ චිත්‍ර ශිල්පීන්, ලේඛකයන්, සංගීතඥයන්, රංග ශිල්පීන් සහ නාට්‍යකරුවන් පෞද්ගලික අංක 2 න් බිහි වේ. උදාහරණයක් ලෙස 19 වන සියවසේ වඩාත් ප්‍රසිද්ධ විකට නළු අමෙරිකානු ජාතික ජෝසෆ් ජෙෆර්සන් ගේ උපත 1829 පෙබරවාරි 20 ය. ජෝහාන් ඉබ්සන් ලෝක ප්‍රකට නාට්‍ය රචකයෙක් සහ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකි. යථාර්ථවාදයේ පියා ලෙස හැඳින්වූ ඔහුගේ උපත 1828 මාර්තු 20 දිනය.

එසේම අංක 2 හිමියෝ බොහෝවිට එකම රැකියාවේ හෝ ස්ථානයක වැඩිකල් රැඳෙන්නේ නැත. මොවුනට යම් දෙයක් එක දිගට කිරීමෙන් මානසික වශයෙන් කලකිරෙන ස්වභාවය ඇතිවේ. නමුත් මේ ස්වභාවය ජයගෙන එක් අරමුණක් ඇතිකොට එය පසුපස හඹා ගියහොත් ජයගත නොහැකි ගැටලුවක් ද නොමැත. මොවුන්ට රට රටවල සංචාරය කිරීමට වාසනාව ඇත. නිතරම තැනින් තැන ඇවිදින රැකියාවක් කිරීමෙන් ජීවිතය සාර්ථකව කර ගත හැකිය.

විශාල දැනුම් සම්භාරයක් මනසේ රදවා පවත්වා ගැනීමට හැකියාව ඇත. එසේම විශාල ව්‍යාපෘති හා ව්‍යාපාර සංවිධානය කිරීමේ හැකියාව ඇත. එසේම ඔවුන්ට මානසික ශක්තීන් සහ ගුප්ත විද්‍යාව ආගම පිළිබඳ හැදැරීම දර්ශනවාදය උත්පත්තියෙන්ම උරුම වේ.

තම හිතවතුන්ගේ සේම සමකාලීනයන්ගේ බලපෑම් මත සියලු දේ සැලසුම් කරනු ලබයි. සියලු තීරණයන් සඳහා අන්‍යයන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය වේ. මේ පුද්ගලයන්ගේ ජීවිත කාලය තුළ දී බොහෝ වෙනස්කම් සුබවාදීව සිදුවෙයි. සියලු සැලසුම් බොහෝ ස්ථිරය. බොරු පුරසාරම් දෙඩීම සේම අනවශ්‍ය ප්‍රචාරයක් ලැබීම ඔවුහු ප්‍රිය නොකරති. ආදර සබඳකම් කිහිපයකට ඔවුන් තම ජීවිත කාලයේදි හිමිකම් කියනු ලැබේ.

ආර්ථිකමය තත්ත්වය රඳා පවතින්නේ තමන් වෙහෙසන තරමටය. එකාකාරීව මුදල් ඉපැයීම් රඳා පවත්නේ නැත. එක් කාලයකට යහමින් මුදල් උපයන්නත්, තවත් කාලයකදී මුදල් ඉපැයීම දුර්වල මට්ටමකට පහත වැටේ. එහෙත් ඉතාම උනන්දුවෙන්, කැපවීමකින් මෙන්ම ආත්ම විශ්වාසයකින් කටයුතු කළොත් මේ තත්වය මඟහැර හොඳ ආර්ථික මට්ටමක් ගොඩනඟා ගත හැකි වේ. නිර්මාණාත්මක දේ අලෙවියෙන් හෝ නිෂ්පාදනයෙන් මුදල් ඉපැයිය හැකි වේ. විශේෂයෙන් රෙදිපිළි කර්මාන්තය, විසිතුරු බඩු අලෙවිය, කාන්තා ආයිත්තම් වෙළෙඳාම, ගෘහ අලංකරණ ශිල්පය, සූප ශාස්ත්‍රය, සංගීතය, චිත්‍ර ශිල්පය ආදිය,ආනයන හෝ අපනයන කටයුතුවලින් මුදල් ඉපැයිය හැකි වේ.

බොහෝ ආවේගශීලි හැඟීම්බර පුද්ගලයන් බැවින් මානසික ආතතිය ඇති විය හැකිය. මේ නිසා ස්නායු සම්බන්ධ රෝගාබාධයන්ට ගොදුරු වීමේ ඉඩකඩක් පවතී. එමෙන්ම සෙම් රෝග, උගුර ආශ්‍රිත රෝගයන්, වකුගඩු, මුත්‍රාශය ආශ්‍රිත රෝගයන්, ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝගාබාධ, ගැස්ට්‍රයිටීස් තත්ත්වයන්, ආහාර මාර්ගයේ ගෙඩි හා පිළිකා තත්ත්වයන් පිළිබදව අවදානමක් පවතී. සඳුගේ කාල පරිච්ජේද මේ අයට ප්‍රබලව බලපායි.මොවුන්ගේ ශාරීරික ශක්තිමත් භාවය සෑම විටම මානසික තත්ත්වය මත බලපායි. එම නිසා අනාගතය පිළිබඳ බිය වීම, කරදර වීම සහ මානසික ආතතිය වළක්වා ගත යුතුය. තවද මොවුන් පුද්ගලයන් ඇසුරු කිරීමේදී පරිස්සම් විය යුතුය. මෙම අයට ඉතාම ඉක්මනින් ස්පර්ශයෙන් වැලඳෙන රෝගවලට ලක්වේ. එහෙයින් බෝවන රෝග සේම ලිංගික සබඳකම්වලින් වැලඳෙන රෝග පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙයි.

විවාහය සඳහා සහකරුවා හෝ සහකාරිය පෞද්ගලික අංක 1 හිමි අයෙක් නම් ඉතාම සුදුසුය. සෑමවිටම අංක 2 හිමි අය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් උනන්දු නොවීම මෙන්ම වගකීම් නොගැනීම වැනි කරණා නිසා අංක 2 ට අංක 2 අයකු විවාහයට සුදුසු නොවේ. මන්ද එවිට තීන්දු තීරණ ගැනීමට කිසිම කෙනකු නොමැති වීම පවුල් ජීවිතයේ අසාර්ථකත්වයට බලපායි.නමුත් පෞද්ගලික අංක 1,2,4,7,5 හිමි සහකරුවෙක් හො සහකාරියක් වුවද විවාහයට යෝජනා කළ හැකිය. ඉතා අවංක හෘදයාංගම තත්ත්වයක් පැවතුණද කෙනකුට දැනෙන්න ඔවුන් ආදරය ප්‍රකාශ කරන්නේ කලාතුරකිනි. මේ නිසා අනිත් පාර්ශ්වය හැඟීම් නොමැති අයකු ලෙස හෝ උපේක්ෂාවෙන් හැඟීම් සමඟ ක්‍රියා කරන අයකු ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත. ඉහත කී ස්වභාවයන් ජුනි 21 සිට ජුලි 27 දක්වා අංක දෙකට අදාළ දිනයක උපත ලද අයගේ බලවත් වේ.

මොවුන්ගේ ප්‍රධාන දුර්වලතාවය වන්නේ සැලසුම් දිගටම කරගෙන නොයාමයි. එම නිසා සිතේ චංචල ස්වභාවය මැඬගෙන ඉක්මනින් කෝප වන බව අධිෂ්ඨාන ශක්තිය අඩුකම වැනි මානසික දුර්වලතා ජය ගත යුතුය. නිතරම මානසික ශක්තිය දියුණු කර ගත යුතුයි. ඒ සඳහා උත්සාහ කළ යුතුයි. මොවුන්ට වෙනස් වන සුලු ආර්ථික තත්ත්වයක් ඇති හෙයින් කල්පනාකාරීව ආර්ථික තත්ත්වයන් දියුණු කරගත යුතුයි.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 2ට යෙදෙන 02,11,20,29 දිනයන්ය. මේ දිනයන් ඕනෑම මාසයකට පොදු නමුත් ඉතාම වැදගත් කටයුතු සඳහා ජුනි 21 සිට ජුලි 21 අතර කාලය තෝරා ගන්න. මිතුරන් ලෙස පෞද්ගලික අංක 2ට අමතරව පෞද්ගලික අංක 1,4,7,5 පුද්ගලයින් ද සුදුසු වේ. එහෙත් අනෙකුත් පෞද්ගලික අංක හිමි අය ද සතුරන් නොවේ. ජීවිතයේ සාර්ථකත්වය සඳහා කොළ පාට ප්‍රභේද, ක්‍රීම් පාට සහ සුදු වර්ණයන් භාවිතා කරන්න. කළු දම් පැහැති හෝ කළු මිශ්‍ර රතු ආකාරයේ වර්ණ බැහැර කළ යුතුය. අංක 2 හි විකල්ප අංක ය අංක 7 වේ. ඔවුන්ගේ වසනාවන්ත මැණික් ගල් සහ ආභරණ වනුයේ මුතු, චන්ද්‍ර කාන්ත සහ ළා කොළ පැහැති ගල්ය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.