අත්ලෙන් හෙළි වන ජීවිත රහස්

මැයි 26, 2023

රවි මණ්ඩලය

රවි මණ්ඩලය පහළ කොටසේ හෘද රේඛාවට ආසන්නයේ සුළි ආකාරයට කෙඳි රේඛා පිහිටා ඇත්නම් හෘදයාබාධ ඇතිවීමට ඉඩ ඇත. එම නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, රවි මණ්ඩලය ඇස් පෙනීම ගැනද උණ රෝග බෝවීමේ ප්‍රවණතාවයද පෙන්වයි

සමාජයේ නොයෙක් අවස්ථාවල අපට විවිධ පුද්ගලයින් මුණ ගැසේ. ඒ අතරින් සමහර කෙනකු දෙස ආයාසයකින් තොරව ඉබේම නැවත හැරී බලන අවස්ථා ද අත්දැකීම් වශයෙන් මට වගේම ඔබටත් ඇති. එසේ වන්නේ එම පුද්ගලයාගේ ආකර්ෂණීය බව නිසාය. තරාතිරමකින් තොරව සමහර පුද්ගලයන් එලෙස වන්නේ රවි බලවත් වූ විටය. ලෝකයේ අඛණ්ඩ පැවත්මට සූර්යා හෙවත් රවි ග්‍රහයා මූලිකත්වය ගන්නා බව අප කවුරුත් දන්නා දෙයකි. ඒ සමානව පුද්ගලයාගේ පැවත්ම, ආකර්ෂණීය බව, ජයග්‍රහණ, ප්‍රසිද්ධිය සහ වාසනාව ආදී සියලු කරුණු සඳහා මූලිකත්වය ගන්නේ ද රවි ග්‍රහයාය.

ඕනෑම පුද්ගලයකුගේ පැවත්ම මූලික වශයෙන් අත්ලේ රවි මණ්ඩලය පරික්ෂාවෙන් දැන ගත හැකියි. රවි ඇඟිල්ලේ ආරම්භය හා හෘද රේඛාව අතර කොටස රවි මණ්ඩලයයි. මණ්ඩල රේඛාව ද සහිතව මනා ලෙසට තරමක් උසට පිහිටා රෝස පැහැයෙන් යුතු නම් යහපත් රවි මණ්ඩලයක් වේ. බුධ, ගුරු මණ්ඩල තරම් රවි මණ්ඩලය උස්ව නොපිහිටන අතර, එවිට දුබල රවි මණ්ඩලයක් යැයි කිව නොහැකිය. රවි ඇඟිල්ල කෙළින් පිහිටා ඉහත කී ලක්ෂණ සහිතව බුධ ඇඟිල්ල සහ ශනි ඇඟිල්ල රවි ඇඟිල්ල දෙසට නැවී මණ්ඩලයේ මුදුන මණ්ඩලයේ මධ්‍යයේ ඇත්නම් මණ්ඩලයේ ප්‍රබල බව වැඩිවේ. මොවුන් ආකර්ෂණීය පෙනුමකින් යුක්තය. අව්‍යාජත්වය මුහුණින් දිස්වේ. දීප්තිමත් ඇස්වේ. ඇසිපිය දිගය. ඇස්, කන්, නාසා නියම ප්‍රමාණයට පිහිටා ඇත. මිහිරි නමුත් නියෝගාත්මක කටහඬක් සහ සිත් ගන්නා සුළු ගමන් විලාසයක් ඇත්තෙකි.

රවි මණ්ඩලය යහපත් නම් පුද්ගලයා සෘජුව අදහස් ප්‍රකාශ කරයි. කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් හා පැවැත්මෙන්ද අවංක පුද්ගලයන් වේ. වැරදි හෝ අඩුපාඩු පෙන්නා දුන් විට පිළිගැනීමට මැළි නොවේ. පෙර සූදානමකින් තොරව ඕනෑම මාතෘකාවක් යටතේ කතා කිරීමේ හැකියාව ඇත. තමන්ගේ චරිතය ගැන වඩාත්ම සැලකිලිමත් වේ. කලා අංශයට නැඹුරු වන අතර, මොවුන්ගේ කටහඬද ගීත ස්වභාවයෙන් යුතුය. කවර සමාජයක වුව සාර්ථක පුද්ගලයකු වන තම දැනුම නියමාකාරයෙන් භාවිත කළ හැකි අයකු නිසා, කවර තැනකදි වුවද ඉදිරිපත් වීමේ ගතිය ඇත්තෙක් ද වේ. එහෙයින් සියල්ලන් අතර කැපී පෙනෙන ජනප්‍රිය විනෝදශීලි අයකු වේ. එම නිසා සතුරන් ද ජය ගත හැකි වේ.

තවද මොවුහු හොඳ ආත්ම විශ්වාසයකින් වැඩ කටයුතු කරන අතර, නිතරම විනෝදයෙන් කල් ගෙවීමට ආශා කරති. අලංකාරව ජීවත්වීම සඳහා ඇත්තේ බලවත් කැමැත්තකි. රවි මණ්ඩලය බලවත් කාන්තාවක් නම් අනුන් වශීකර ගැනීමේ සහ ආකර්ෂණය කරගැනීමේ විශේෂ හැකියාවක් ඇති අතර, ගේ දොර පිළිවෙළට තබා ගන්නා සමාජශීලී තැනත්තියකි. ඇය ඉතාම රූමත්ය. ඇයට ගැළපෙන්නේ ගේ දොර නවීන ක්‍රමයට අලංකාරව තබා ගැනීමට මෙන්ම රූපලාවණ්‍ය කටයුතු සඳහා යහමින් මිල මුදල් වියදම් කළ හැකි සැමියෙකි. විවාහ දිවියේදී පණ සේ තම බිරිඳට ආදරය කරන යහපත් රවි මණ්ඩලයක් ඇති පුද්ගලයෝ ප්‍රති ආදරය නොලැබුණොත් ඉතාම ඉක්මනින් ජීවිතය කලකිරෙති. එම නිසා විවාහයට බුධ, ශනි, චන්ද්‍ර මණ්ඩල ප්‍රබල අත්ල ඇති අය ගැළපෙන්නේ නැත. කෙසේ වෙතත් තම බිරිය වැදගත් සමාජයේ කැපී පෙනෙන කෙනෙක් සේ තබාගැනීමට නිතරම උත්සහ කරයි. දේශපාලකයන්, රජයේ උසස් නිලධාරීන්, නළු නිළියන්, කලාකරුවන්, ලේඛකයින් බොහෝමයක් රවි මණ්ඩලය ප්‍රබල වූවන්ය.

එසේම රවි මණ්ඩලය දුර්වලව පිහිටා ඇත්නම් එම පුද්ගලයා කලාවෙන් බැහැර වූ හිස් මිනිසෙක් වේ. විනෝදය ප්‍රිය කරන්නේ නැත. අනවශ්‍ය දේව විශ්වාසවලට පෙලඹේ. සමාජය තුළ ක්‍රියා කරන්නේ බුද්ධි හීනයකු ලෙසය. සැඟවුණු චරිතයකි. ඉදිරිපත් වීමේ හැකියාව නොමැති අතර, නිතරම විවේචනශීලි වේ. තමන්ගේ ආත්ම වර්ණනාව හා පුරාජේරුව නිසා සමාජයෙන් අපහාස ලබයි. මොවුන් හිතුවක්කාර මෙන්ම තමා ගැන ඉමහත් ඉහළින් සිතා සිටි නිසා තමාගෙත් අන්‍යයන්ගේත් විනාශයට කරුණු යෙදේ.

එමෙන්ම අති ප්‍රබල රවි මණ්ඩලයක් ඇති පුද්ගලයා අහංකාර උඩඟු අයෙක් වෙයි. තමාගේ දක්ෂතාවය ගැන කටමැත දොඩවන සහ වාචාල පුද්ගලයෙක් බිහිකරයි. තමන් කිසිම දෙයක් නොදැන හිටියාට සියලු දේ දන්නා බව පෙන්වයි.

රවි මණ්ඩලය මත තරු සලකුණ පමණක් පිහිටා ඇතිනම් ජීවිතයේ නොයකුත් බාධකවලට මුහුණ දීමට සිදුවුවත් අවසානයේ තමන්ට ජයග්‍රහණය හිමිවේ. නමුත් සෘජු රේඛා හෝ රවි රේඛාව සමඟ තරු සලකුණ පිහිටියේ නම් ඉහළ ප්‍රසිද්ධියක් උසස් තත්වයත් සමඟ ධන සම්පත් ද හිමිවන බවට ඉඟියකි. කතිර සලකුණ ද සෘජු රේඛාවක් හෝ රවි රේඛාවක් සමඟ පිහිටා ඇතිනම් ජීවිතයේ දියුණුව ඇතිවේ. එසේ නොමැතිව කතිරය තනිව පිහිටීම තමාගේ වැරදි නිසා මුදල් පරිහානියට පත් වී දියුණුව නැතිවන බව පෙන්වන සලකුණකි. එමෙන්ම ආචාර ධර්ම පිළිනොගැනීම නිසා දක්ෂතා යටපත් වන පිහිටීමකි. කාන්තාවකගේ අතෙහි පිහිටා ඇත්නම් තෘෂ්ණාධික කාන්තාවක්වේ.

ත්‍රිකෝණය පිහිටීම පුද්ගලයා තම කලාත්මක දක්ෂතා එක් දිශාවකට වර්ධනය කර ගැනීමෙන් දියුණුවන බව පෙන්වන සලකුණකි. චිත්‍ර ශිල්පයේ යෙදෙන්නන්ට සහ සමූහ ව්‍යාපාරවල යෙදෙන්නන්ට ඉතාමත් යහපත් පිහිටීමකි.

සිරස් රේඛාවක් රවි මණ්ඩලයේ පිහිටීම ගෘහ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින යහපත් ශරීර සෞඛ්‍යයකින් යුතු ප්‍රසිද්ධ පුද්ගලයන් බිහිකරන පිහිටීමකි. සිරස් රේඛා දෙකක් නම් දක්ෂතා දෙකක් හෝ ආදායම් මාර්ග දෙකකින් දියුණුවට පත්වේ.

ලප හෝ තිත රවි මණ්ඩලයට අයහපත් ලක්ෂණයක් වේ. කිසියම් ආකාරයක කරදරයකට පත් කෙරේ. සතුරු බලපෑම් ඇතිවන අතර, යහළුවන් ආශ්‍රයේදීත්, කතාබහේදීත් පරිස්සම් වීම අවශ්‍ය වේ. දූපත ද ප්‍රධාන අශුභ ලක්ෂණයක් වන අතර, ශරීර සෞඛ්‍යයට හානි කරන බව පෙන්වන සලකුණක් හෙයින් සෞඛ්‍ය ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. දැල් සලකුණ ද මෙම මණ්ඩලයට ඉතාමත් අශුභ ලක්ෂණයකි. අහංකාර පුද්ගලයකුගේ ලක්ෂණයකි.

රවි මණ්ඩලය පහළ කොටසේ හෘද රේඛාවට ආසන්නයේ සුළි ආකාරයට කෙඳි රේඛා පිහිටා ඇත්නම් හෘදයාබාධ ඇතිවීමට ඉඩ ඇත. එම නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, රවි මණ්ඩලය ඇස් පෙනීම ගැනද උණ රෝග බෝවීමේ ප්‍රවණතාවයද පෙන්වයි.

යම් අයකුගේ ශනි මණ්ඩලය සහ රවි ප්‍රබල නම් මණ්ඩල දෙකේ එකිනෙකට වෙනස්වූ ගුණාංගයන් සමබර වී ශනි මණ්ඩලයෙන් පෙන්වන අඳුරු ස්වභාවය අඩුකර රවි මණ්ඩලයෙන් පෙන්වන දීප්තිමත්භාවය එකතු කරගෙන කලාත්මක දෙයට ළැදි විනෝදයට බර පුද්ගලයකු බිහි කරයි. හොඳ කළමනාකරුවන් සහ විනිශ්චයකාරවරුන්, චිත්‍ර ශිල්පීන් ලෙස බිහිවන්නේ ගුරු සහ රවි මණ්ඩල බලවත් පුද්ගලයන්ය.රවි මණ්ඩලය සහ බුධ මණ්ඩලය බලවත් වූ විට කලා දක්ෂතා, ව්‍යාපාරික ඥානය මඟින් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට පත් කරගනී.

රවි සහ සිකුරු මණ්ඩලය ප්‍රබල වූ විට කලාවට ළැදි හැඩකාර කාන්තාවන්ගේ ආශ්‍රය වඩාත් ඇලුම්කරන්නෙක් බිහිවේ. ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්වන පිහිටීමකි. නමුත් පිරිමියෙක් නම් ස්ත්‍රී ගතිගුණ විදහාපායි. එමෙන්ම මොවුන් සමාජයෙන් ඉවත්වූ විට අනිකුත් පුද්ගලයන්ට අඩුව දැනේ. රවි සහ චන්ද්‍ර මණ්ඩල යහපත් නම් නිර්මාණාත්මක කලා නිර්මාණයන් ඔවුන් අතින් බිහිවේ. සංචාරක ගමන් වැඩිවේ.

කරුණු එසේ වෙතත් තමන්ගේ අනාගත ජීවිතය කෙසේ වේද කියා දැන ගැනීමට අප විවිධ ශාස්ත්‍ර ක්‍රම උපයෝගි කර ගනි. ඒ මොන හෝ ශාස්ත්‍ර ක්‍රමයක් උපයෝගි කර ගත්තත් අවසාන ප්‍රතිඵලය සඳහා බලපාන්නෙ අප ජීවිතවල පවත්නා භීතිය, කුතුහලය, සැකය වැනි සහජ ගති ලක්ෂණය. නමුත් එම සහජ ගති ලක්ෂණ පසෙකලා යහපත් සහ සමාජයට වැඩදායි පුද්ගලයකු ලෙස ජීවිතය ජය ගැනීමට තමාගේ දුර්වලතා මඟහැර යහපත් ගතිගුණ සහ දක්ෂතා වර්ධනය කර ගැනීමට හස්ත රේඛා ශාස්ත්‍රය විශිෂ්ට උපයෝගිතාවයක් ලබාදේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.