අනුන්ගේ සිත් කියවන්න සමත් බෙරණ නැකැතින් උපන්නෝ

මාර්තු 1, 2024

බෙරණ නැකැතින් උපත ලද්දේ නම් පවුලේ අන් අයට වඩා උසස් ලෙස භෞතිකමය දියුණුවක්ද ලබනු ඇත. තරමක ආත්මාර්ථකාමීය. ඒ අනුව තමාට දියුණුවිය හැකි සියලුම මාර්ග සොයා ගැනීමට ඉතාම බුද්ධිමත්ය. බොහෝ දේවලට තදින්ම ආසාකරන අයෙක් වේ. සමහර විට ලොව තිබෙන සියලුම දේවල් ලබා ගැනීමේ ආසාවන්ගෙන් පිරී තිබේ. ලැබුණ දෙයින් සතුටු නොවේ. ලැබෙන්න ලැබෙන්න තව තවත් දෑ සෙවීමේ ගුප්තමය යටි කැමැත්තකින් සිටී.

තමාට පමණක්ම යැයි සිතන මොහු අන්‍යයන්ට ලැබෙන දේ ගැනද වැඩි ලෝභකමක් ද තිබේ. බලයෙන් හෝ ඒවා ලබා ගැනීමට මාන බලයි. උරුමයෙන් ලැබෙන ඉඩකඩම් දේපළවලට ගිජුකමක්ද තිබේ. ඒවා සමසේ බෙදා ගැනීමට අකමැතිය. වැඩි කොටස තමාටම ලබා ගැනීමට උපක්‍රමශීලී වේ. සමහර විට එවැනි දෙයට වඩාත් නැඹුරුවීම හරහා ගැටුම් ද ඇති කර ගනී. තරගවලට ඉදිරිපත්වීමටද අකමැතිය. තමාට ජය ගැනීමට නොහැකි වුවහොත් එයත් විශාල ලෙස ගැටුමක් බවට පටලවාගනී. නිතර විනෝදයෙන් කල් ගෙවන්නේ තනිවමය. දැඩි ලෝභයි. අන්‍යයන්ට වැඩියෙන් ලැබෙනවාට තරමක් අකමැතියි.

නිතර විනෝදකාමීව සිටීමට උත්සාහ දරයි. තදින්ම කේන්ති නොගියත් සිතයට සඟවාගෙන නිතරම ක්‍රියා කරයි. සාමූහිකව වැඩ කිරීමට අකමැතිය. නිතරම තමාට මුල්තැන අපේක්ෂා කරයි. එය නොලැබුණොත් එයට හේතු සෙවීමට ගොස් නැති ගැටුම් ඇතිකර ගනී. සෑම නිමේෂයකම කිසියම් වැඩක නිරත වේ. තමාගෙන් ප්‍රශ්න අසනවාට අකමැතිය. නිතරම මොහුට මුල් තැනදිය යුතුයි. එසේ නොවුවහොත් යටි සිතින් ප්‍රයෝගකාරීව යත්න දරන්නේ තමාට මුල්තැන ගැනීමටයිී. කිසියම් සමිතියකට සභාවකට ගියවිට තමාට මුල් තැන ගැනීමට උපක්‍රමශීලී වන්නේ ය.

අන්‍යයන් තමා වෙත වශීකර ගැනීමේ ද දක්ෂතා සහජයෙන්ම පිහිටා තිබේ.

බොහෝ බෙරණ නැකැත්කරුවන් සිරුරේ භාෂාව හරහා තමන්ට අවශ්‍ය සියලුම කරුණු ඉටුකර ගැනීමට යත්න දරයි. එය සාර්ථක කර ගනී. වශීකරණ විද්‍යාව හිප්නොටිසම් වැනි ක්‍රමවේදවලට අතිදක්ෂයි. අන්‍යයන්ගේ සිත්කියැවීමේද සහජ දක්ෂතා ඇත්තේ ය. ව්‍යාපාරික කටයුතු ඇරඹීමට අති දක්ෂයි. හොඳම සැලසුම්කරුවෙකි. ඉතාම නිහඬව තමාගේ සියලුම වැඩකටයුතු දියත් කරනු ඇත. සිරුර වෙහෙසා වැඩ නොකරන මොහු මනස වෙහෙසා නිර්මාණශීලීව ක්‍රියා කර අදහස් අලෙවිකරණය කර මුදල් උපයා ගනී. ව්‍යාපාර නාම කරණයට අති දක්ෂයි. ඡ්‍යොතිෂය වාස්තු සහ ගුප්ත විද්‍යාවන්ද යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලටද අති දක්ෂයි.

තමා දන්නා බව අන්‍යයන්ට වැඩිපුර හැඟවීමට කතාබහ කිරීමට අකමැති වූවත් තමාගේ දක්ෂතා එළි දැක්වීමට උපක්‍රමශීලී වැඩකටයුතුවලට අති දක්ෂයි. කෙසේ හෝ එදිනෙදා වැඩකටයුතුවලින් පාඩු නොවිඳිනු ඇත. ලග්නය මකර වී ඇත්නම් තවත් අති දක්ෂයෙක් වන්නේ මුදල් ඉපයීමටය. සමහර විට අන්‍යයන්ට උපදේශනදී තමා වෙතට මූල්‍ය පැත්ත හරවා ගැනීමේ උපක්‍රමශීලී ක්‍රියාවන්ටද පෙලඹේ.

මහා භාරතීය ඡ්‍යොතිෂමය මූල ධර්මය අනුව බෙරණ නැකත් හිමියන්ට සුවිශේෂී තැනක් හිමිවේ. නායකත්වය දැරීමේ අවස්ථාව පෑදේ. එම තනතුරෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකි අති දක්ෂ පුද්ගලයෙකු ලෙස ද ජනතාව අතර ප්‍රකට වේ. තර්ක විද්‍යාවට ඉතාම සමත්ය. බෙරණ නැකත් හිමියකු සමඟ වාද විවාද කරන්නට යෑම මිරිඟුවක් පසුපස දිවීමක් වැනිය. ඔහුගෙන් ජය ගැනීමට නොහැකිවේ. සමහර විට තමා ගන්නා තීරණ පාරාවල්ලක් වන අවස්ථාද නැත්තේම නොවේ.

ජලය ආශි‍්‍රතව ඇති ව්‍යාපාරවලට දක්ෂ වන අතර ඕනෑම ව්‍යාපාරයකින් වැඩිලාභ අත්කර ගැනීමේ වාසනා ගුණයද ඇත්තේ ය. කොපමණ ලැබුණත් තෘප්තියට පත්නොවන මානසිකත්වයකින් හෙබිය. සමහරවිට ඕනෑවට වඩා මනස වෙහෙසවීමේ ප්‍රතිඵලයක් ලෙස මානසිකව දුක් විඳීමටද සිදුවන අවස්ථා උදාවේ. සමහරවිට නැති ලෙඩට බෙහෙත් ගන්නා කෙනෙකි. පණ්ඩිතකම වැඩි නිසාත් ලෝභකමත් හරිහරියට ඇති බැවින් ගොඩවෙදකම් කරන තැනට පත්වීම නිසා තමාට වැලඳෙන රෝග වැඩිකර ගනී.

හැම දෙයක්ම ලබාගැනීමේ අභිලාෂයෙන් පිරුණු සිතක් ඇත්තේ ය. එසේම බොහෝ දේ අන්‍යයන්ට හුවා දැක්වීමට කැමතිය. අන් අයට වඩා තමා ඉතාම බුද්ධිමත් බවක් පිටතට ප්‍රදර්ශනය නොකළත් යටි සිතේ තදින්ම කිඳා බැස ඇත. තරමක ආඩම්බරකාරකමක් ද තිබේ. දියුණුවීමේ අභිලාෂයෙන් පිරී ඇත. නොපසුබට උත්සාහයක යෙදේ. මේ අතර ප්‍රභාමත් පෞරුෂයක්ද තිබේ. සමහර විට සමාජයේ උසස් තැනක් නොලැබී යන තැනට පත්වන්නේ නම් ඒ ගැන උපක්‍රමශීලීව ලබා ගැනීමට වැඩකටයුතු ගුප්තව කරයි.

ඕනෑම කෙනෙකු වසඟකර ගැනීමටද හැකිවේ. වයස අවුරුදු 25න් පසු සුවිශේෂී දියුණුවක් ලබයි. සහකරු හෝ සහකාරිය වෘෂභ, කන්‍යා, තුලා හෝ මිථුන නම් වඩාත් යහපත් වේ. බෙරණ නැකතින් උපන් කාන්තාව තරමක ආඩම්බරකමකින්ද යුක්ත වේ. සමහර විට අධිකතර කාමය නිසා වරදේද බැඳෙන සුලුය. ඇය ස්ත්‍රී සයනෙ වෛශ්‍යානම් වැනි කතකි.

මිල මුදල් පසු පසම ලුහුබඳින බැවින් තරමක ගැටලුද ඇතිකර ගන්නීය. බෙරණ නැකතින් උපත ලත් කාන්තාවකගේ යුගදිවිය සාර්ථක වන්නේ සැමියාගේ උත්පත්ති ග්‍රහ බලය ඉතාම ශක්තිමත් නම් පමණි.

බෙරණ නැකතින් මල්වරවීමේ දී එතරම් අසුබවාදී නොවේ. තරමක ශාරීරික වැඩීමේ අඩුවක් තිබේ. තවද සෞඛ්‍යමය දාරක සම්පත් ලැබීමේ වාසනාව ඇත්තේ විවාහයට පත්වන සැමියාගේ ග්‍රහ ශක්තිය මතයි.

බෙරණ නැකතේ පළමු පාදයෙන් උපත ලද්දේ නම් තේජවන්තයි. බලවත් කෙනෙක් වේ. යටපත් නොවන අයෙකි. තරමකට ආත්මාර්ථකාමීය. ජීවිතය ජය ගනී.

දෙවැනි පාදය තරමක දුර්වල තත්ත්වයක්ද ඇත. ආත්මාර්ථකාමීකමද වැඩිය. බුද්ධිමත් වේ.

තුන්වැනි පාදය පි‍්‍රය මනාපවේ. අන්‍යයන්ගේ සිත් ගනී. ධනය උපයයි. විනෝදකාමීය.

හතරවන පාදය තරමක ආවේගශීලීය. ජීවිතයේ ගැටලු ඇතිකරගනී. යුග දිවියේ රස හීනයි.

බෙරණ නැකතට උත්‍රපල් සම්පත් මුවසිරස ක්ෂේම පුනාවස සාර්ථක දෙට මෛත්‍රී අස්විද පරම මෛත්‍රී වනු ඇත.

රෙහෙණ විපත් අද ප්‍රත්‍යාරී පුෂ විපත් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.