ග්‍රහයන්ගෙන් කුසල් අකුසල් යෙදෙන හැටි කවියෙන් කියූ පොතක්

මාර්තු 1, 2024

ඡ්‍යොතිර් වර්ණනාව කවි පොත පිළිබඳ පෙරවදනක් ගියවර ලිපිය මඟින් අප ඉදිරිපත් කරන ලදී. මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ ඡ්‍යොතිෂය හා බෞද්ධ කර්ම සිද්ධාන්තය අතර පවත්නා සබැඳියාව මලවැන්නේ කවිධජ හිමියන් විවරණය කොට ඇත්තේ කෙසේද යන්න පිළිබඳව පාඨක ප්‍රජාව දැනුම්වත් කිරීමට ය.

 

කළ කම පෙර බවේ

විඳුවනායුරු මේ බවේ

විමසුමට ලො බවේ

මෙකව එහි පිළිතුරට සුබ වේ

 

පුද්ගලයාගේ ජීවිතයේ විවිධ දුක්කම්කටොළු, වේදනා, පීඩාවන් ඇති වන්නේ පෙර සසර තුළ මෙන්ම මේ භවය තුළ ද තමන් විසින් කරන ලද අකුසල කර්මයන්හි විපාක අවස්ථාවන් ලෙසය. සමහර අකුසල ධර්ම ප්‍රබල කුසල ධර්ම මඟින් විද්වංසහය කළ හැකිය. ඒ සඳහා දසපින් කිරියවත් ධර්ම භාවිත කළ හැකිය. ඡ්‍යොතිෂවේදීන් විසින් වේලපත්කඩය පරික්ෂා කොට උපදෙස් ලබා දෙන්නේ තමන්ගේ ජීවිතය කුසලය තුළ ශක්තිමත් කර ගැනීම සඳහාය.

ඒ සඳහා ප්‍රාථමික පිළියම් ලෙස පුද්ගලයා සරල අභිචාර චාරිත්‍ර ධර්මවල යෙදෙමින් කුසලය පින් උපදවා ගැනීමට වීර්ය ඇති කරවීමක් සිදු කෙරෙයි. එයට බෝධිපූජා ආදිය ප්‍රාථමික වශයෙන් ඉතා අගනේය. පුද්ගලයාගෙන් පුද්ගලයාට අකුසලයන්හි ප්‍රබලත්වය වෙනස් වේ. ප්‍රබල වශයෙන් කායික, මානසික, දුක්පීඩා විඳින අයට ප්‍රබල කුසලකර්ම ජීවිතයේ පුහුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වටිනාම කුසල කර්මය වන්නේ භාවනා කුසලයයි. සමථ – විපස්සනා ආදි වශයෙන් සමාධි, ප්‍රඥා භාවනාවන් වැඩීම තුළින් ප්‍රබල අකුසල කර්ම යටපත් කොට කුසලය තුළ ජීවිතය ශක්තිමක් කරගත හැකිය. ඡ්‍යොතිෂය මඟින් ලබා දෙන වටිනා ආලෝකය වන්නේ තමාගේ ග්‍රහචක්‍රය අනුව පවතින අපලයන්ගේ ප්‍රබලතාව හඳුනා ගැනීමයි. එමඟින් පුද්ගලයා තමන්ගේ අකුසල ධර්මයන් යටපත් කිරීමට කුසල ධර්මයන් සංවර්ධනයට වීර්ය ඇති කරවීම අපේක්ෂිත වෙයි. භාරතීය ඡ්‍යොතිෂවේදයට නොලැබුණු ආලෝකයක් ලක්දිව දී ඡ්‍යොතිෂය වෙත ලැබෙන්නේ බුදුදහම ඡ්‍යොතිෂය හා එක්වී ඡ්‍යොතිෂයේ හඳුනා ගැනීම් සඳහා පිළියම් බෞද්ධ ප්‍රතිපදාව තුළ නිර්දේශ කිරීම සාකල්‍යයෙන්ම පරිපූර්ණ නිර්දේශයන් බවට පත්වන නිසා ය.

ඡ්‍යොතිර් වර්ණනාව කෘතිය මඟින් කවිධජ හිමියෝ උත්සාහගෙන ඇත්තේ ඒ මාර්ගය අප වෙත සන්නිවේදනය කිරීමටය.

 

පල අපලැයි දෙකෙ ක

එදෙක මුසුවී කොටසෙ ක

මෙම කුණෙහි විතරෙ ක

මෙ දෝවණ සෙහි රැඳෙයි ටික ටික

 

මෙ සතර සකු බ සේ

රැඳුණේ බඩු කී ලෙ සේ

එබස රුත නිසි සේ

නොදන්නා පල ලබනු කෙලෙ සේ

 

ඉන්දීය සාහිත්‍යයේ ඡ්‍යොතිෂය උපවේදාංගයක් ලෙස ඡ්‍යොතිර්වේදය යනුවෙන් හඳුන්වනු ලැබේ. එයට හේතුව ප්‍රධාන චතුර්වේදය මෙන් ඡ්‍යොතිර්වේදය ද මහාබ්‍රාහ්මාදීන්ගේ දායාදයක් ලෙස සලකන බැවිනි. භාරත දේශයේ හින්දු හා බ්‍රාහ්මණ ආගමික සංකල්ප සමඟ පෝෂණය වූ ඡ්‍යොතිෂය ලක්දිව දී ශ්‍රී ලාංකේය අනන්‍යතා සමඟ සම්මිශ්‍රණය වී අපටම සුවිශේෂී වූ අංගයක් බවට පත්වන්නේ බුදුසමය නිසාවෙනි. සැබවින්ම බුදුසමය ඡ්‍යොතිෂයට ආලෝකයක් සම්ප්‍රදානය කළ බව හඳුනාගත හැකිය.

ඡ්‍යොතිෂය ශාස්ත්‍රය (ඒඵබපධතධඨර) යනු භූගෝල විද්‍යාව හා තාරකා විද්‍යාව පදනම් කරගෙන ගණිත විද්‍යාවේ ආධාරයෙන් සකස් කර ගත් අපූර්ව ශාස්ත්‍රයකි.

ඡ්‍යොතිර් විද්‍යාව යනුවෙන් ද ව්‍යවහාර කරති. ලොව පැවැත්ම මුළුමනින්ම ග්‍රහ ශක්තීන්ගේ බලපෑමට අනුව සිදුවන බව ඡ්‍යොතිෂ මතයයි. එයට අනුව ලොව ප්‍රාණය, දේශගුණය, දිවා රෑ ඇතිවීම ආදිය සූර්යයා කරණකොට ගෙන සිදුවෙයි. චන්ද්‍ර සූර්ය ආදී නවග්‍රහ මණ්ඩලයකින් යුක්ත රාශි චක්‍රය මත හා ඔවුන්ගේ සංචරණයට අනුව ලොව හා මිනිසුන් පිළිබඳ සිදුවන සම්පත් හා විපත් දෙක මෙම ශාස්ත්‍රයෙන් කියැවේ. ඒ අනුව මිනිසකු මෙලොව බිහිවන මොහොතේ ග්‍රහ ලෝකයන් පෘථිවියට දරන කෝණයන් අනුව මිනිසාගේ ජීවිතය ගත වන ආකාරය පැවැසීමට

ඡ්‍යොතිෂය සමත් වෙයි. සෑම ග්‍රහයකුගේම ශක්තීන් හා බලපෑම සමාන නොවේ.

ඡ්‍යොතිෂයට අනුව ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයින් අතරින් වැඩිම බලපෑමක් කළ හැකි ග්‍රහයින් දොළොස් දෙනෙකි. එනම් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයින් ද රාහු, කේතු යන ඡායා ග්‍රහයින් හෙවත් කල්පිත ග්‍රහයින් හා පසුකාලීනව එක්වූ යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයින් ද වශයෙනි. මේ ග්‍රහයින්ගේ ක්‍රියාකාරිත්වය, ශක්තිය, බලපෑම මෙන්ම රාශි චක්‍රයේ එක් එක් තැන්වලදී එහි තත්ත්වය වෙනස් වෙයි.

රාශි චක්‍රය සමීපයේ ඇති ග්‍රහයින්ගේ සමීප හෝ දුරස් බව දෘශ්‍යමාන බව හෝ අදෘශ්‍යමාන බව ආදී තත්ත්වයන් තුළ ද ඉන් ඇති කෙරෙන බලපෑම වෙනස් වෙයි. මේ ආදි කරුණු සැලකිල්ලට ගෙන ඡ්‍යොතිෂ විවරණය සිදු කෙරෙයි.

කවිධජ හිමිපාණන් වහන්සේ නිහතමානීත්වයෙන් පෙන්වා දෙන්නේ ඡ්‍යොතිර් වර්ණනාව රචනා කිරීමේ අරමුණ මහජනතාවගේ යහපත පිණිසම පවතින බවයි.

 

හෙළු කව් ගෙතී මේ

සුපුරුදු නැකැත් කී මේ

කෙනෙක් මේ මැණී මේ

මිසක් අනිකෙක් නොපැහැදී මේ

 

මෙම ග්‍රන්ථයේ ග්‍රන්ථ දෝෂයක් වෙතොත් එය විෂ වන්නේ සංස්කෘත භාෂාගත ඡ්‍යොතිෂ ග්‍රන්ථ පරිශීලනය කළ පඬිවරුන්ට මිස අන්‍ය අයට නොවේ. එබැවින් කුකවින් හෙවත් කාව්‍ය බන්ධන රීති ජන්දෝලංකාර නොදත් අයට එය ගෝචර නොවනු ඇත.

 

දොසද රස දෙතැ නේ

ම දැනුමෙනි මෙහි යෙදුනේ

කු කවිනට නොදැනේ

පඬින් හට එහි වෙසෙස හැඟෙනේ

 

මෙහි වටිනාකම පඬිවරුන්ට විෂය වන කරුණක් බැව් කවියා දක්වා ඇත්තේ ඡ්‍යොතිර්වේදය පණ්ඩිතමානී විෂය ක්ෂේත්‍රයක් වනු බැවිනි. මලවැන්නේ කවිධජ හිමියන් ද පාලි, සංස්කෘත ප්‍රාකෘත ආදි භාෂා සාහිත්‍ය විෂයයෙහි පණ්ඩිත භාවයක් විශද කළ පණ්ඩිත තෙරපාණ කෙනෙකුන් බව උන්වහන්සේ රචිත කෘති මඟින් හඳුනාගත හැකිය.

ඡ්‍යොතිෂය විටෙක ගුප්ත විද්‍යාවක් ලෙස ද බෞද්ධ ආගමික ව්‍යවහාරය තුළ එය තිරශ්චීන විද්‍යාවක් ලෙස ද හඳුන්වා ඇත. එවැනි විෂයයක් පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය භික්ෂූ චරිතයකට කොතරම් ආජීවය සඳහා බලපාන්නේ දැයි වර්තමානයේ බොහෝ දෙනා නඟනා ප්‍රශ්නයකි. තවද තිරශ්චීන විද්‍යාවක් ලෙස එය හඳුන්වා ඇත්තේ එම ආගමික පරමාර්ථයට සාපේක්ෂව බව තේරුම් ගත යුතු ය.

යථෝක්ත වටිනා ශාස්ත්‍රය විශේෂයෙන් ඉන්දියාවේ හා ලංකාවේ සංස්කෘතිය පෝෂණය කළ ප්‍රධාන අංගයක් බවට පත් විය. උපතේ සිට මරණය දක්වා සියලු ජීවිත කටයුතු සඳහා ඡ්‍යොතිෂය සම්බන්ධ කර ගැනීමෙන් එහි බලපෑම වටහා ගත හැකිය.

විමුක්ති දර්ශනයක් වන බුදුසමය ලෞකික විද්‍යාවක් වන ඡ්‍යොතිෂය සමඟ කෙසේ ගැළපේ ද යන්න විමසිය යුතුය. බුද්ධ දේශනාවල එන ඇතැම් කරුණු පිළිබඳ ඉක්මන් නිගමනවලට බැස ගන්නා ඇතැමෙක් බුදුසමය ඡ්‍යොතිෂ ප්‍රතික්ෂේප කළ බව දක්වයි. (කිං කරිස්සන්ති තාරකා) පැහැදිලි ලෙසම බුදුන් වහන්සේ වෙනත් විෂයයන් ගැන මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන ද නියම වශයෙන් කිසිඳු ප්‍රකාශයක් නැති සේ ය. උන්වහන්සේ පළකරන ලද්දේ මෙවැනි ලෞකික

විෂයයන් පිළිබඳ ව සාකච්ඡා ඍජු ලෙස ම ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළ නොවන බවයි. ඇතැම් වෙනත් ආගම් මෙන් බුදුසමය ඡ්‍යොතිෂය

ප්‍රතික්ෂේප කර නැත. බෞද්ධ ඉගැන්වීම හා එය පදනම් කරගෙන විකාශය වූ සංස්කෘතින් දෙස බැලීමෙන් මේ දෙඅංශය තුළ පරස්පර නොවන ඉගැන්වීම් අන්තර්ත බව හඳුනාගත හැකිය. එබැවින් එම විෂයය අධ්‍යයනය කර ලබන දැනුමෙන් ජීවිතය අර්ථවත් කර ගැනීමට නිදහස තිබේ.

කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී, රාජකීය පණ්ඩිත ශාසන කීර්ති ශ්‍රී

රත්මලානේ රතනසිරි හිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.