කරුණාවයි, කරුණාවයි, සමන් දෙවිඳු කරුණාවයි

උඳුවප් පොහොයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය
ජනවාරි 15, 2021

 ශ්‍රී සම්බුද්ධත්වයෙන් අටවන මස වෙසක් පුර පසළොස්වක පොහෝදින මණි අක්ඛිත නා රජුගේ මැණික් පුටුව නිසා ඇති වූ ආරවුල විසඳන්නට තෙවන වරට මෙරටට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සමනළ කඳු මුදුනේ සිරිපා සටහන් තැබූ බව මහා වංශයේ සඳහන් වේ.

ඒ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. අට තුරා සියක් හෙවත් එක සිය අටක් වූ මංගල ලකුණෙන් ශ්‍රී පාද පද්මය සටහන් තැබූ ශ්‍රී පාද ස්ථානය වැඳ පුදා ගැනීමට ඈත අතීතයේ සිටම සිදුවන්නකි. උඳුවප් පුර පොහෝ දිනය ලබන්නට පෙර ශ්‍රී පාද විහාරස්ථානයේදී පැවැත්වෙන තුන්තිස් පැයේ පරිත්‍රාණ දේශනය ද වේ. පසුගිය ශ්‍රී පාද වන්දනා සමය අවසන්වීමෙන් අනතුරුව සධාතුක කරඬුව සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයේ පිහිටි ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කෙරිණි. එම සධාතුක කරඬුව ඇතුළු දේවාභරණ රැගත් පෙරහර උඳුවප් පෝ දිනට පෙරදින අලුයම යෙදෙන සුබ මොහොතින් ශ්‍රී පාද රාජ මහා විහාරයෙන් පිටත්ව ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

උඳුවප් පුර පොහොයදා සමන් දෙවියන් වැඩම කරවන පෙරහර සිරිපා මළුවට ළඟාවීමෙන් පසු ශ්‍රී පාද පද්මය සුවඳ වර්ග මුසු පැණින් දෝවනය කර සඳුන් පැඟිරි ඉසීමෙන් පවිත්‍ර කිරීම සිදුකෙරේ. සමන්දේව මන්දිරය ද සුවඳ පැණින් පිරිසුදු කෙරේ. ඒ සියල්ලෙන් පසුව සධාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ තැන්පත් කිරීම සිදුකරේ. ඉන් අනතුරුව විශේෂ බුද්ධ පූජාව හා දේව පූජාව පවත්වා දේවාලය අබියසදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනා කොට පින් අනුමෝදන් කරයි. ඉන්පසු කපු මහතා විසින් කරනු ලබන දේව යාතිකාවෙන් පසුව සිරිපා මළුවේ දොළොස්මහේ පහන දැල්වීමෙන් පසු නව සිරිපා වන්දනා සමය ආරම්භ වේ.

සිරිපා කඳුවැටිය, දේවකෑම, සමනළගිරි, සමන්තකූට, ශී‍්‍ර පාද කන්ද, ශ්‍රී පාදස්ථානය ආදී නම් රැසකින් හඳුන්වනු ලබන ශ්‍රී පාද අඩවියට නුවරඑළිය , රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික් තුනට මැදි වී සුන්දරත්වයෙන් යුතුව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ සිවුදිශාවන්ට ගලායන මහවැලි, කැලණි, වළවේ හා කළු යන ගංගාවල පෝෂක ප්‍රදේශවල සලකුණු ලබන්නේ ද ශ්‍රී පාද ස්ථාන අඩවියයි. දඹදෙණියේ රජ කළ දෙවන පැරකුම්බා රජු විසින් ඉදිකරන ලද මහ සමන් දේවාලය හා ශ්‍රී පාදස්ථානය අතර ඇත්තේ මනා සබඳකමකි. සිරිපා සමය ආරම්භ වී මාස හයක්ම බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍රවන මෙම පූජනීය ස්ථානය බෞද්ධ, හින්දු, කතෝලික, හා මුස්ලිම් ආදි සෑම ජන කොටසක්ම වැඳපුදා ගැනීමට පැමිණෙන පූජනීය ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට අඩි හත්දහස් අටසිය හැටක උසකින් පිහිටි සමන්තකූට පර්වතයට අමතරව බෑණාකන්ද, ගොන්මොල්ලිය කන්ද හා දෙවනගල ද වේ. ලොව දීර්ඝතම වන්දනා සමය ඇරඹෙන ශ්‍රී පාද වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වය අන් කිසිඳු වන්දනා මානයකට නොලැබෙන තරම්ය. සුමන සමන් දෙවියන් ශ්‍රී පාදය වන්දනා කරන අයුරු සැළලිහිණි සන්දේශයෙන් මෙසේ වර්ණනා කර ඇත.

සුර රද සමන් සමගින් සුරගන එව ර

පැහැනද මදාරා පරසතු මල් පත ර

කර පුද වදින රැඳි මුණි සිරිපා තඹ ර

සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙණහි ර

මනහර දිය ඇළි සමූහයකින් අගතැන්පත් වූ සමනල අඩවිය තලගම ඇල්ල, මන්නා කැති, ඇල්ල, ඌරාඇල්ල, දියඇල්ල, ලක්ෂපාන ඇල්ල, ඇබර්ඩීන් ඇල්ල, බෝපත් ඇල්ල , පුවක් මල් ඇල්ල ආදී ප්‍රධාන දිය ඇලි සමඟ දිය ඇලි දහයකට වඩා පවතී. අඩවියේ උසම දිය ඇල්ල ලෙස සළකන්නේ මාපලාන හෙවත් මාපානනා දිය ඇල්ලයි. උස මීටර් එකසිය හතළිස් එකක් වන එය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති උසම දිය ඇල්ලයි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර හෝර්ටන් තැන්නට මායිම්ම පිහිටා ඇති සමනල අඩවිය සීත ගඟුල, හැරමිටියාපාන, ඉඳිකටුපාන , ලිහිණිහෙළ, අහස්ගවුව, ගිලීමලේ, මහගිරිදභේ, යන ස්ථාන මෙම ස්ථානයෙහි ඓතිහාසිකත්වය තව තවත් ඔප්නංවන්නකි. වැසි වනාන්තර අතින් ද විශේෂ වන්නේ ශ්‍රී පාදය තෙක් කලාපීය පරිසරයකින් යුත් ජලපෝෂිත කලාපයට අයත්වීමයි. මි.මී. පන්දහස් එකසිය පනස්තුනක පමණ වර්ෂාපතනයක් ඇති මෙහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27.2 සහ සෙන්ටිග්‍රේඩ් 15.4 අතර වේ. නිරිතදිග මෝසමේදී මැයි සහ සැප්තැම්බර් කාලයේදි වැසි ඇතිවන නමුත් කඳුවලින් ඇතිවන සුළං බාධක හේතුවෙන් වැසි ලැබෙන්නේ අන්තර් මෝසම් කාලය වූ මාර්තු, අපේ‍්‍රල් හා මැයි යන මාසවලදීය.

සිරිපා වන්දනාවේ යාම වෙනයම් වන්දනාවලට සහ භාවනාවට වඩා පිරිසුදුව පේවීයාමට පැරැන්නන් දැඩි ලෙස කටයුතු කළහ. ජීවිතයේ පළමු වතාවට ශ්‍රී පාද වන්දනාවේ යන අය කෝඩුකාරයා නමිනුත් ප්‍රථම වතාවට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා දඬුකෝඩු නමිනුත් කුඩා දරුවකුගේ දැරියකු කිරිකෝඩු නමිනුත් හැඳින්වූහ. මෙසේ වන්දනා ගමනට යන කෝඩු කාරයින් ඉඳිකටුපානේ සිට ඉඳිකටුව නූල් බෝලයක් අමුනා එය අවසන් වන තෙක් සමනල කඳු මුදුනට රැගෙන යා යුතුය. මෙසේ ඉතිරිවන නූල් සහ ඉඳිකටු තවත් නඩයක ප්‍රයෝජන සඳහා ගෙත්තම්පානේ ගස්වල දවටා යෑම සිරිතකි. ගෙත්තම්පානෙන් පසුව හමුවන්නේ බලන ගලයි. ඉන් අනතුරුව හමුවන්නේ හැරමිටිපානයි. මෙය කෝඩුකාරයින්ට වැදගත්වන ස්ථානයකි. මෙහිදි කෝඩුකාරයන් හැරමිටිපානෙන් එන වන්දනාකරුවන්ට කැළයෙන් සැරමිටියක් කපා පූජා කරයි. ඒ නිරෝගී සැප සම්පත් ප්‍රාර්ථනා කරමිනි. එදින එය පූජා කිරීමට නොහැකිවුවහොත් හැරමිටිය පැමිණෙන අයට ගත හැකි පරිදි තබා යති. ඉන් අනතුරුව ඇහැළ කණුවත් සුළං කපොල්ලත් පසුකර මහගිරිදඹට නැඟ උඩමළුවට ළඟා වේ. උඩ මළුවේදී සිරිපා පද්මයට මල් පූජා කර වන්දනාමාන කරයි. ඉන් අනතුරුව සිදුකරනු ලබන්නේ දොළොස්මහේ පහනට පොල්තෙල්, තැඹිලි තෙල් වත් කරමින් තම වන්දනා නඩයත් ඥාතිනුත් අනෙකු සැමගෙත් ජීවිත ඒකා ලෝක වේවායි ප්‍රාර්ථනා කිරීමයි.

එම කටයුතු නිමා කිරීමෙන් පසුව සමන් දෙවියන්ට පුද පූජා පවත්වති. සිරිපා මළුවේ පූජා අතර දෝතලු සහ රන්දෝතලු පූජාව ද පවත්වයි. ඒ රන් දෝතලු මලක් ශ්‍රී පාදස්ථානයට පූජාකොට කන්නලවු කිරීමයි. ශ්‍රී පාද වන්දනාවට ගිය පැරැන්නන් එයට ආවේණික වු රස කැවිළි ද ගෙන යෑමට අමතක නොකරති. අග්ගලා මෙහිලා ප්‍රධාන රස කැවිල්ලකි. තෙල් බැදුම් වලින් තොරවූ එය ශීතලට ඔරොත්තු දෙන කැවිළි විශේෂයකි. ඊට අමතරව සූකිරි ද ගෙනයයි. දහවල් කාලයේ පවතින හිරු රශ්මිය නිසා සිරිපා කරුණාව කරුණු ලබන්නේ රාත්‍රි කාලයේදීය. බොහෝවිට එලෙස සිදුකරනු ලබන්නේ උදෑසන මළුවේ සිට ඉර සේවය බැලීමේ අවස්ථාව උදාකර ගැනීම සඳහාය. මළුවට පැමිණෙන සියලුම බැතිමතුන් පඬුරු පූජා කරමින් ශ්‍රී පතුලට වැඳ නමස්කාර කරමින් සිපාචාර කරති. මළුවේ පිහිටි ඝණ්ටාරය නාද කිරීමට ද හැම දෙනාම උනන්දු වෙති. එහෙත් කිරිකෝඩු අය ඝාණ්ටාරය නාද කිරීමෙන් වැළකි සිටිති. අනෙකුත් තමන් පැමිණි වාර ගණනට ඝාණ්ඨාරය නාද කිරීමට අමතක නොකරති.

නගින්න යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි

නැඟල බහින මේ නඩේට –බුද්ධං සරණේ සරණයි

 

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.