ඔලිම්පික් පදක්කමක් හිමිකර දුන් ඒරාෂ්ටකය

අප්‍රේල් 26, 2024

මෙරට මලල ක්‍රීඩාවේ ප්‍රතිරූපය නවමු අගයක් කරා ගෙන ගිය ඉතා සුවිශේෂී දිනයක් ලෙස 2000 වසරේ සැප්තැම්බර් 28 වන දිනය ලක්දිව ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව “ආසියාවේ කළු වෙළඹ” ලෙස විරුදාවලි ලත් “සුසන්තිකා ජයසිංහ” නම් වූ කීර්තිමත් ක්‍රීඩිකාව විසින් දශක පහකටත් අධික කාලවකවානුවකට පසු මෙරටට ඔලිම්පික් පදක්කමක් උරුම කර දෙන්නේ එදින නිසාය.

සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උපන්දිනය වන්නේ 1975 වසරෙහි දෙසැම්බර් 17 වැනිදාය. ඒ අනුව ඇය එම දිනයෙහි කුමන මොහොතක උත්පත්තිය ලැබුවද චන්ද්‍රයා වෘෂභ රාශිය තුළ උච්චව සිටිය යුතු බව, ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සුළු දැනුමක් ඇති අයෙකුට වුවද ඉතාම පහසුවෙන් නිගමනය කළ හැකි වනු ඇත. එමෙන්ම ඇය විසින් මේ, ලොවක් වටිනා ඔලිම්පික් පදක්කම උරුම කර ගත් 2000 වසරේ සැප්තැම්බර් 28 වැනි දිනය වන විට ශනි ග්‍රහයා වෘෂභ රාශිය තුළ ගෝචර වී ඇති බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සුළු දැනුමක් ඇති අයෙකුට පවා ඉතාම පහසුවෙන් හඳුනා ගත හැකි වනු ඇත. ඒ අනුව සුසන්තිකා ජයසිංහයන් විසින් 2000 වසරේ සැප්තැම්බර් 28 වැනි දින සියවසේ ඔලිම්පික් පදක්කම හිමි කර ගන්නා මොහොත වන විට ඇයගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා සිටින රාශිය මතින් ශනි ගමන් ගන්නා බව ඡ්‍යොතිෂ්‍යය පිළිබඳව ආධුනික දැනුමක් ඇති අයෙකුට වුවද ඉතා පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. ඒ අනුව ඇය විජයග්‍රාහී ඔලිම්පික් පදක්කම හිමි කර ගන්නා විට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇති බව සක්සුදක් සේ පැහැදිලි වෙයි. 1948 වසරෙහි ඩන්කන් වයිට් මහතා විසින් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමෙන් පසු 2024 දක්වා වූ වසර 76ක කාලසීමාව තුළ මෙරටට ලැබුණු එකම ඔලිම්පික් පදක්කම් උරුමකාරියට එය ලැබී ඇත්තේ අතිප්‍රබල ඒරාෂ්ටක කාලයක වීමෙන් පැහැදිලි වන්නේ ඒරාෂ්ටක කාලසීමාවන්වලදී සිහිනෙන්වත් නොසිතන ආකාරයේ හාස්කම් පවා සිදු විය හැකි බවය.

සුසන්තිකා ජයසිංහ මහත්මියට එදින ලැබුණු ඔලිම්පික් ලෝකඩ පදක්කම අපට රන් පදක්කම් දහසක් වැනිය. කෙසේ වෙතත් එම ඔලිම්පික් උලෙළේදී මේරියන් ජෝන්ස් විසින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා සුසන්තිකා ජයසිංහයන්ට හිමිවීමට තිබූ රිදී පදක්කම එදින නොලැබී එය ලැබෙන්නට කල් ගත වූයේ ඇය ඒ වන විට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටීම නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එමෙන්ම ඔලිම්පික් පදක්කම දිනා ගැනීමෙන් පසුව ඇයට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූයේද බෙහෙවින් ආන්දෝලනාත්මක කාලවකවානුවක් ගත කිරීමට සිදු වූයේද ඇය ඒ වන විටත් ඒරාෂ්ටකය ගත කරමින් සිටි නිසා යැයිද කෙනෙකුට තර්ක කළ හැකිය. කෙසේ වෙතත් මේ කුමන සිද්ධියක් නිසාවත් ඇයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවේදී ලැබුණු වටිනා ඔලිම්පික් පදක්කම සුළු කොට තැකිය නොහැකිය.

මීළඟට බලාපොරොත්තු වන්නේ මෑතකදී අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටක කාලයකදී බලාපොරොත්තු රහිත ලෙස සුබ ප්‍රතිඵල ලැබුණු මා හොඳින්ම දන්නා පෞද්ගලික උදාහරණයක් පිළිබඳව සාකච්ඡා කිරීමටය. මගේ සමීපතම පාසල් මිතුරෙකුගේ මව සහ පියා යන දෙදෙනාගේම ලග්න “කටක” වන අතර ඒ අනුව ඔවුන්ට 2023 වසරෙහි ජනවාරි මාසයෙහි ආරම්භ වූ අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකය මේ වන විටද පවතියි. මෑතක දිනයකදී තම මවුපියන්ට හදිසියේ උරුම වූ ඉඩමකින් රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ලැබුණ බව මගේ මිතුරාගෙන් දැන ගන්නට ලැබුණි.

ඒ අනුව ඔහුගේ මවුපියන් දෙපළට රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් හමු වී ඇත්තේ ඔවුන් දෙදෙනාම ලග්න අෂ්ටම ඒරාෂ්ටකය ගත කරද්දී බව පෙනේ.

මා ඒරාෂ්ටක කාල වකවානු තදබල ලෙස ගත කරද්දී මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලද අතර මා ඒරාෂ්ටක කාලවකවානුවලදි මුහුණ දුන් තවත් සුබදායක සිදුවීම් කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට අද දිනයේදී බලාපොරොත්තු වෙමි. මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදි මාගේ ලග්නය “මීන” වන අතර උත්පත්ති කේන්ද්‍ර සටහනේ 7 වැනි භාවය තුළ චන්ද්‍රයා තැන්පත්ව ඇත. මෙහි විශේෂත්වය වන්නේ මා 2012 වසරෙහි අගෝස්තු 29 වැනිදා වෛද්‍යවරියක සමඟ විවාහ වන විට මගේ “මීන” ලග්නය දරන උත්පත්ති කේන්ද්‍ර සටහනේ 8 වැනි භාවය තුළ, ශනි ග්‍රහයා ගෝචර වෙමින් තිබීමය. එනම් මගේ ජීවිතයේ ඉතාම වැදගත් සිදුවීමක් වූ විවාහය සිදු වෙද්දී අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් තිබුණි. මීට අමතර ලෙස 2014 වසරෙහිදී මා ජීවිතයේ මුල් වරට ඉඩමක් මිලදී ගනිද්දීද මා හට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් තිබුණි. එමෙන්ම 2013 වසරෙහිදි මගේ ජීවිතයේ ප්‍රථම විදේශ සංචාරය ලෙස තායිලන්තය බලා පිටත්වෙද්දී මා හට අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් තිබිණි. තවත් විස්මිත කාරණයක් වන්නේ 2014 වසරෙහි පෙබරවාරි මාසයේදී, මා උපාධිධාරින් අතරින්ද අතළොස්සකට පමණක් වාසනා ගුණය ලැබෙන විධායක මට්ටමේ තනතුරකින් පිදුම් ලබන විටද ශනි ග්‍රහයා තුලා රාශිය තුළ ගෝචර වෙමින් මා හට අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් පැවතීමය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.